ඒකාබද්ධ විපක්‍ෂය සංඝයා වහන්සේට විරුද්ධ ද?
ඒකාබද්ධ විපක්‍ෂයට තීරණයක් ගන්න බැරුව. වෙන මොකකටවත් නොවෙයි අර ව්‍යවස්ථා
මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් අයින් වෙනව ද නැද්ද කියන එක ගැන. ඒ මෙහෙයුම් කමිටුවෙන්
අයින් වෙන්න අකමැති පක්‍ෂත් ඒකාබද්ධ විපක්‍ෂයෙ තියෙනවා. ඒ පක්‍ෂ මොනව ද කියල මා
දන්නෙ නැහැ. ඒත් එසේ අකමැති වීම රටට කරන ද්‍රෝහිවීමක් ලෙසයි සලකන්න වෙන්නෙ.
මෙහෙයුම් කමිටුවෙන් හා අනුකාරක කමිටු හයෙන් පමණක් නො වෙයි ව්‍යස්ථා සම්පාදන ක්‍රියාවලියෙන්
ම ඉවත් විය යුතුය කියලා මා කියන්නෙ බොහෝ කලක ඉඳලා. අප ඒ ගැන සම්මන්ත්‍රණ මාධ්‍ය
සාකච්ඡා පැවැත්තුවත් ඒ ගැන ප්‍රචාරයක් නොදීමට ජනමාධ්‍ය වගබලාගත්ත.
ඊයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු ය යන ලිපිය පළ වූවාට පසු එක්
අයකු අසා තිබුණා ඒ ලිපි ජනමාධ්‍යයෙහි පළ නොවන්නේ ඇයි කියලා. ඒකට දෙන්න පුළුවන්
උත්තරයක් තමයි ඒ ලිපි හා එහි අඩංගු අදහස් ජනමාධ්‍යට වැදගත් නොවීම කියන එක. මටත්
හිතන්න වෙන්නෙ එහෙමයි. මා මේ ලිපි දැන් ලියන්නෙ කාටවත් උගන්වන්න නො වෙයි. මට අවශ්‍ය
ප්‍රමාණයටත් වඩා මූසිලයන් ඉන්නවා. මේ ලිපි ලිවීමේ එක් අරමුණක් තමයි මගේ අදහස් තවත්
නිරවුල් කර ගැනීම.
සෑම අදහසක් ම ටික කලක් යන විට සමාජයේ යම් පිරිසක් වැළඳ ගන්නවා.
අදහස්වල අයිතියක් ලංකාවේ නැහැ. අදහසක නිර්මාතෘ කවුද යන්න ලංකාවේ එතරම් වැදගත්
නැහැ. අද බොහෝ දෙනා ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවෙන් ඉවත් විය යුතු යැයි
කියනවා. එය හොඳයි. මා නම් කලකට ඉහත කිව්වේත් දැන් කියන්නේත් ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම්
කමිටුවෙන් පමණක් නොවෙයි මුළු මහත් ව්‍යවස්ථා මණ්ඩලයෙන් ම අස්විය යුතු ය කියා.
ඒකාබද්ධ විපක්‍ෂය (හා එහි පූර්වගාමින්) 2009 නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු වැරදි රාශියක් කර තිබෙනවා. 2010 මැතිවරණ ජයග්‍රහණවලින් පස්සෙ දහතුන්වැනි ව්‍යවස්ථා
සංශෝධනය ඉවත් නොකිරීම ප්‍රධානයි. එයටත් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රශ්න තිබූ බව කියනවා.
කොහොමටත් 2010 ජයග්‍රහණයෙන් පස්සෙ සංධානය ජාතිකත්ව
මත එතරම් ගණන් ගත්තේ නැහැ. 2015 පරාජයට එය ප්‍රධාන හේතුවක්. ඒ මිස
මුස්ලිම් ඡන්ද නැතිවීමක් නො වෙයි. 2015න්
පස්සෙ තව තවත් වැරදි කළා. ශ්‍රී ල නි ප සභාපතිත්වය මෛත්‍රිපාලට භාර දීම, දහනවවැනි
ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂ වීම හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් පිහිටුවීම පක්‍ෂ වීම
ඉන් ප්‍රධානයි.
2015 ජනාධිපතිවරණයෙන් නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට ජනවරමක් ලැබී තිබුණෙ
නැහැ. එහෙත් සංධානය අදාළ යෝජනාවට ඒකමතික ව පක්‍ෂ වුණා. ඒ අවස්ථාවෙ එයට විරුද්ධ
වෙන්න තිබුණා. ඒ විරුද්ධ වීම යුක්තියුක්ත කරන්න පුළුවන්කම තිබුණා. එහෙත් සංධානය
එසේ කළේ නැහැ. ඒ යෝජනාව සම්මත වූයේ 2015
අගෝස්තු මැතිවරණයට කලින්. ඒක පිටුපස හිටියෙ රනිල් චන්ද්‍රිකා සුමන්තිරන් ජයම්පති
වික්‍රමරත්න ලාල් විජේනායක වැනි සිංහල බෞද්ධ විරෝධීන්. ඒ යෝජනාවට පක්‍ෂ වීමේ රඟ
ඉදිරියේ දී තවත් දැක ගනීමට හැකි වේවි.
රනිල් හා පිරිස සූදානම් වන්නේ අසම්මත ක්‍රමයකින් නව ව්‍යවස්ථාවක්
සම්මත කර ගැනීමට. ඒකෙ මුල් පියවර වුණෙ ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීම. ඒකාබද්ධ විපක්‍ෂය
ඒ කටයුතුවලට සහභාගි වුණා. මෙහෙයුම් කමිටුවට හා අනුකාකරක කමිටුවලට නියෝජිතයන් පත්
කළා. මේ සියල්ලෙන් ඉවත් වීමට මා කළ යෝජනාවට මුල දී කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ.
ජනමාධ්‍ය එයට ප්‍රචාරයක් නොදීම නිසා කවුරුන්වත් ඒ ගැන දැනගත්තේ නැහැ. පසුව කිහිප දෙනකු එයට පක්‍ෂවීමෙන් පසු ඒ පිරිස
මහින්ද රාජපක්‍ෂ හමුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ විපක්‍ෂය අනුකාරක කමිටු
හයෙන් ඉවත් වුණා. මා මේ කරුණු කියන්නේ ලකුණු දමා ගැනීමට නො වෙයි. පරලොව යෑමට
මෙවැනි ලකුණු අවශ්‍ය නැහැ. ඒත් ජනතාව දැන් මා කිසිවක් කරන්නේ නැහැ කියන විට මගේ
සසර ගමන තරමක් දික් වෙනවා.
ඒකාබද්ධ විපක්‍ෂය මේ සමස්ත ක්‍රියාවලියෙන් ම ඉවත් විය යුතුයි. එහි ව්‍යවස්ථා
මණ්ඩලයේ කටයුතුවලට සහභාගි වීමෙන් ඒකාබද්ධ විපක්‍ෂය නව ව්‍යවස්ථාවක් සම්පාදනය
කිරීමට ආධාර කරනවා. අවසානයේ දී රනිල්ගේ අසම්මත ක්‍රියාවලියට වලංගුභාවයක් ලබා
දෙනවා. මෛත්‍රිපාලත් මේ කරුණ ගැන අවධානය යොමු කරන්නේ නම් හොඳයි. මෛත්‍රිපාලගේ
කණ්ඩායමත් ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලින් ඉවත් වුවහොත් රනිල් තනි වෙනවා. ඔහුට
බටහිරයන්ගේ සරණයි. මහා සංඝයා වහන්සේ ප්‍රකාශ කරන්නේත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති
බවයි. එසේ නම් මෛත්‍රිපාල හා මහින්ද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට
සහභාගි වන්නේ කෙසේ ද?
මහා සංඝායා වහන්සේගේ බලය මනින්නේ ඔළු ගෙඩි ගණනින් නොවන බව මතක් කර
දිය යුතුයි. උන්වහන්සේ වෙන ම රාජ්‍යයක් ද කියලා ලක්සිරි ප්‍රනාන්දු කියන පරණ ට්‍රොට්ස්කිවාදියාත්
වියන්ගොඩත් වෙන වෙන වචනවලින් අහනවා. ඔවුන්ටත්
ඔළුගෙඩි ගණන් කරන සමහර ජාතිකවාදීන්ටත් කියන්න තියෙන්නෙ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය
මෙරට ඒ අයුරින් ම ක්‍රියාත්මක නොවිය යුතු බවයි. සත්තකින්ම භික්‍ෂූන් වහන්සේ වෙන ම
රාජ්‍යයක් කෙසේ වෙතත් රාජ්‍යයේ රජු (පාර්ලිමේන්තුව හා ජනාධිපති) හා සමාන බලයක්. එය
සිංහල බෞද්ධ රාජ්‍යයේ අංගයක්. අප බටහිර ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය
කළ යුතු යැයි කියන්නේ යටත්විජිතවාදීන්.
ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරුන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහභාගි
වීම යුක්තියුක්ත කරන්නේ තොරතුරු ලබා ගැනීමට කියමින්. මෙය ඉතාමත් බොළඳ හා ද්‍රෝහි
කියමනක්. මේ පඬියන්ට තොරතුරු ලබා ගැනීමට ඒ ක්‍රියාවලියට සහභාගි විය යුතු ම ද?
ඔවුන් අමාත්‍ය මණ්ඩලයේ සිදුවන දේ දැනගන්නේ ඒ
රැස්වීම්වලට සහභාගි වීමෙන් ද? ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් බොරු
සමාජවාදීන් වී දොස්තරලා සමග සයිටම් විරෝධි වී පැකේජ්වාදී අවස්ථාවාදී කාලෝ වෙනුවෙන් පෙනී සිටීම පැත්තකට දමා නව ව්‍යවස්ථාවක්
සම්පාදනය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් නොවීම තරමක ප්‍රශ්නයක්.
මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජූලි 10