Main Logo

Thursday 27 July 2017

අනාගතය සුබ නැහැ  


අනාගතය සුබ නැහැ


බැඳුම්කර වංචාව පිළිබඳ ව බොහෝ දෙනා කතා නොකරපු කාලෙ, ඩිව් ගුණසේකර කෝප් කමිටු සභාපති කාලෙ ඉඳල ම ඒ ගැන කතා කරපු එයට විරුද්ධව නඩු කියපු අයකු ලෙස මට බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු ගැන යම් සතුටක් ඇති වුවත් එහි අවසානය කෙසේ වේවි ද යන්න පිළිබඳ සැකයක් ඇති වෙනවා. ඒ කොමිසම ගැන තියෙන අවිශ්වාසයක් නිසා නො වෙයි. රනිල් හා රවි කෙසේ ක්‍රියා කරාවි ද යන්න ප්‍රශ්නයක් නිසා. රවි බදාදා කොමිසම හමුවට පැමිණියත් නැතත් කොමිසම කෙසේ කෙළවර වේවි ද? මෛත්‍රිපාලට රවි අස් කරන්න පුළුවන් ද? අප පටන් ගන්න දේ අප අයින් කර ඒ තමන්ගේ කර ගනිමින්  අසාර්ථක ව අවසන් කිරීමේ දක්‍ෂයන් මෙරට ඉන්නවා.



මෛත්‍රිපාල හා රනිල් අතර ගැටුම් ඇති බව පැහැදිලියි. මෛත්‍රිපාල බැඳුම්කර කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරලා. ඒත් මෛත්‍රිපාලට රනිල්ට විරුද්ධ ව කළ හැක්කේ කුමක් ද? මෛත්‍රිපාලගේ දුර්වලකම උතුරු මැද පළාත් සභා අවුලෙන් පැහැදිලි වුණා. ඒ දුර්වල කමේ මුල ඇත්තේ මෛත්‍රිපාලගේ මහින්ද හා බැසිල් විරෝධයයි. මහින්දට හා බැසිල්ටත් මෛත්‍රිපාලට එවැනි ම වූ විරෝධයක් තියෙනවා. උතුරු මැද පළාත් සභාවේ මහින්ද කණ්ඩායමට විරුද්ධව මෛත්‍රිපාලට  එ ජා ප කණ්ඩායමේ ආධාර ලබා ගැනීමට සිදුවුණා. මෛත්‍රිපාල මහින්දට විරුද්ධ වන තාක් ඔහු රනිල්ගේ සිරකරුවෙක්. ඔහුට එයින් ගැලවීමක් නැහැ. අනෙක් අතට මහින්දගේ කණ්ඩායම මෛත්‍රිපාල සමග යම් එකඟත්වයකට පැමිණෙන තාක් මේ ආණ්ඩුව පළවා හරින්නත් බැහැ. මේ සියල්ල මැද රනිල් රවි කණ්ඩායම ඔවනොවුන් අතර මොන මතභේද තිබුණත් බලයේ රැඳී සිටීවි. 


මහින්ද මේ රට බේරාගත් වීරයායි. ඔහුට ගෝඨාභයගෙන් අනගි සහායක් ලැබුණා. සරත් ෆොන්සේකා අවසන් මොහොතේ දී සුදු කොඩි කතාවක් කියා රාජපක්‍ෂලාට හා රටට ද්‍රෝහි වුණා. එහෙත් මෛත්‍රිපාල හා තවත් අය මහින්දට ද්‍රෝහි වුණේ වෙනත් රාජපක්‍ෂලාගේ ක්‍රියාකාරකම් නිසයි. මේ ගැටුම අවසන් වන පාටක් නැහැ. එයින් වැටහෙන්නේ දෙපිරිස ම අවසාන විග්‍රහයේ දී රටට ජාතියට නොව තම තමන්ට ඇලුම් කරන බවයි. රනිල් අගමැති කමෙන් ඉවත් නොකර රටට ගැලවුමක් නැහැ. නීත්‍යානුකුල ව එය කළ හැක්කේ මෛත්‍රිපාලටයි. එහෙත් ඔහු ඒ සඳහා මහින්ද කණ්ඩායමේ සහාය ලබා ගත යුතුයි. ඔහු ඒ ලබා ගන්නේවත්, මහින්ද ඒ ලබා දෙන්නේවත් නැහැ.  රනිල් දිගට ම බලයේ ඉන්නවා.


අද ඇතැමුන් සිතා සිටින්නේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවලින් ආණ්ඩුව පළවා හැරීමටයි. එහෙත් අද වෘත්තීය සමිති නායකයන් දේශපාලනඥයන් වගේ ම එදාට වඩා වෙනස්. වෘත්තීය සමිති නායකයන් අතර එ ජා ප හිතවතුන් ද ඉන්නවා. ඔවුන් වෘත්තීය සමිති ව්‍යාජ ආණ්ඩු විරෝධී අරගලවලට ඇදගෙන යනවා. ඒකාබද්ධ විපක්‍ෂය හා ඔවුන්ගේ හිතවතුන් හිතනවා නම් වෘත්තීය සමිති අරගල මගින් ආණ්ඩුව පෙරලන්න එය මිරිඟුවක් පමණයි.


ඊනියා වාමාංශික වෘත්තීය සමිති තාමත් ඉන්නේ තිස්ගණන්වල. තාමත් කම්කරු පංති විප්ලවය ගැන සිහින දකින්නන් ඉන්නවා. කම්කරු පංතිය කියන එක මාක්ස්ගෙ හිතළුවක්, පට්ටපල් බොරුවක් පමණයි. ලෙනින් එය යුක්තියුක්ත කරන්න ගොස් පංති විඥානයක් පිටින් ගෙන ආ යුතු ය කියමින් තවත් අවුල් කළා. පුටින්ගෙන් අහල බලන්න කම්කරු පංතිය රුසියාවෙ කෙළේ මොකක් ද කියලා. බටහිරයන් මේ සියල්ල අධ්‍යයනය කරලා ලංකාවෙ වෘත්තීය සමිති මෙහෙයවනවා.


සයිටම් නැත්නම් වෙනත් අයිටම් කියලා අප කිවවා. සයිටම් වර්ජන නැති ප්‍රශ්නයක් මුල් කරගෙන ඇතැම් ජනමාධ්‍ය ද යොදා ගෙන කළ ව්‍යාජ වෘත්තීය සමිති අරගල. වෛද්‍යවරුන්ට තවදුරටත් ඊනියා අඛණ්ඩ වර්ජන කරන්න බැහැ. ඕන නම් ක්වොන්ටම් භෞතිකය පිළිබඳ ඊනියා ප්‍රාමාණික උගතකු වූ පුබුදු ජාගොඩ කෙකරගාමීන් බිල්ලට දේවි. ජාගොඩ අර කුමාර් ගුණරත්නම්ට කුමක් කෙළේ ද? ගුණරත්නම්ට දැන් ඕස්ත්‍රේලියාවත් නැහැ, ලංකාවත් නැහැ. ජ වි පෙ තමන්ට නැති වුණු තැන ලබාගන්න සයිටම් යොදා ගන්න බැලුවා. ජ වි පරමුණටවත් කෙකරගාමීන්ටවත් දේශපාලන අනාගතයක් නැහැ. ජනමාධ්‍ය සඳහා වේදිකා දෙවනත් කරන්න නම් පුළුවන්.


රටේ සම්පත් විකුණන එකට විරුද්ධ වෙන්න ඕන. ඒත් තෙල් සංස්ථා සේවකයන් කරන්නේ කුමක් ද? ඔවුන්ගේ නායකයන් අද පොලිස් අත් අඩංගුවේ. ඒ අතර සේවකයන් මැරයන්ගෙන් ගුටි කනවා. නායකයන්ට පොලිස් ආරක්‍ෂාව ලැබෙනවා ද? අප මතුපිටින් පෙනෙන දෙයින් නිගමනවලට පැමිණෙන එක සුදුසු නැහැ. රට විකිණීම ගැන සියලු දේශපාලනඥයන් වග කියන්න ඕන. තෙල් වැඩ වර්ජනවලින් හම්බන්තොට බේරාගත හැකි ද? සෙනසුරාදා ගිවිසුම අත්සන් කරනවා. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය මාධ්‍ය ප්‍රකාශ (වොයිස් කට්) කරනවා. ඔවුන්ට වෙනත් යමක් කරන්න බැහැ. ඔවුනුත් යම් ආකාරයකට මෙයට හවුල් බව පෙනී යනවා. 


ආණ්ඩුවට බලයේ ඉන්න භීෂණය, හදිසි නීතිය, අත්‍යාවශ්‍ය සේවා නියෝග, මැර ප්‍රහාර හා තවත් දේ අවශ්‍යයි. ඔවුන් දැන් දන්නවා ඒ සියල්ලත් තවත් දේත් “නීත්‍යානුකූල” ව  කරන්න. පළාත් සභා ඡන්ද නීත්‍යානුකූල ව 2019 දක්වා කල් දමාවි. පළාත් පාලන ඡන්දත් අර පනත මේ පනත කියමින් නීත්‍යානුකූල ව කල් දමාවි. මැර බලයත් නීත්‍යානුකූල ව යොදා ගනීවි. වෛද්‍යවරුන්ගේ නායකයන්, තෙල් සේවක නායකයන්  වෘත්තීය සමිති අරගල කුරුවළු කරලා, ආණ්ඩුවට අවශ්‍ය දේ සෘජුව හෝ වක්‍රව හෝ කරනවා. රනිල් රවි ආදීන් මෛත්‍රිපාල සිරකරුවකු කරගෙන ආණ්ඩුව ගෙන යාවි. ආණ්ඩුව ඊනියා වෘත්තීය සමිති අරගල තම පැවැත්ම සඳහා ම යොදා ගනීවි. බැඳුම්කර පිළිබඳ තීන්දුව දීමට එතෙක් කොමිසම තිබේවි ද යන්න ගැන සැකයක් තියෙනවා. තීන්දුවට කලින් කොමිසම විසුරුවා හැරීමට හෝ එහි කාලය ඉකුත්වීමට හෝ ඉඩ තියෙනවා. දේශපාලන සිරකරුවකු වූ මෛත්‍රිපාල අවසානයේ දී රනිල් හා චන්ද්‍රිකා කියන දේ කරනවා.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 27