Main Logo

Tuesday 4 July 2017

සයිටම් වර්ජනය


සයිටම් වර්ජනය



රජයේ වෛද්‍ය නිලධරි සංගමය පස්වැනි දා සිට අඛණ්ඩ වර්ජනයක් කිරීමට තීරණය කරලා. පැහැදිලිව ම ඔවුන්ට ඔවුන්ගේ විසඳුම අවශ්‍යයි. ඔවුන් සාකච්ඡා කියන්නේ ඔවුන්ගේ විසඳුම, එනම් සයිටම් අහෝසි කිරීම, ජනසතු කිරීම ඉටුකර ගැනීමට කරන ඊනියා සාකච්ඡාවලට පමණයි. ඔවුන්ගේ යෝජනාවල පදනම එයයි. වෛද්‍ය නිලධාරීන් අඛණ්ඩ වර්ජනයක යෙදෙන්නේ සයිටම් අහෝසි කිරීමට. එහෙත් අමතක නොකළ යුතු වැදගත් ම කාරණය නම් සටන පටන් ගන්න කොට සයිටම් අහෝසියක් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වල නොතිබූ බවයි. දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් කතා කරනවා වගේ වෛද්‍යවරුන්  රෝගීන් වෙනුවෙන් කතා කරනවා. ඔවුන් ඇත්තට ම කතා කරන්නේ තම තමන් වෙනුවෙන්. වෛද්‍යවරුන් ද නිරත වී සිටින්නේ දේශපාලනයක.




සයිටම් පිළිබඳ නඩු විභාගය පස්වැනිදාට හා හයවැනිදාට යෙදී තියෙනවා. වෛද්‍යවරුන් අඩු තරමෙන් නඩු තීන්දුව කුමක් ද යන්නවත් දැන ගැනීමට පෙර ම වර්ජන තීන්දුව අරගෙන. ඔවුන් වර්ජනය අරඹන්නේ නඩු විභාගය අරඹන දිනයේමයි. සයිටම් ආයතනය හොර උපාධි කඩය ආදී හැඟීම් අවුස්සන බොරු සමාජවාදී සටන් පාඨවලින් ජනතාවගෙන් සුළු කොටසක් මුළා වෙනවා. සයිටම් පිළිබඳ අධ්‍යයනය කර ඇත්තේ කීයෙන් කී දෙනා ද? පඬි පෝතකයකු කියා තිබුණා මා කරුණු හරිහැටි නොදැන කතා කරනවා කියා. සයිටම් පිලිබඳ ව පමණක් මා කරුණු හරිහැටි  නොහදාරන්නේ ඇයි?



සයිටම් ඉතිහාසය, අභියාචනාධිකරණ තීන්දුව, විශ්වවිද්‍යාල පනත, වෛද්‍ය ආඥා පනත ආදී මෙයට අදාළ කරුණු මා හදාරා තිබෙනවා. පඬි පෝතකයන් හදාරා ඇත්තේ ඉන් කවරක් ද? වෛද්‍යවරුන් ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය සමග එකතු වී වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ ගන්නවා. කවුරු හරි කියනවා නම් මා ආණ්ඩුවට පක්‍ෂපාත කියා ඒ අයට එසේ සිතා ගැනීමට ඉඩ දෙනවා. ආණ්ඩු විරෝධී වූ පමණින් සයිටම් විරෝධියකු විය යුතු නැහැ. මා කරුණු දන්නේ නැත්නම් විවාදයක දී මා පරාජය කිරීම කාලෝටත් පාදෙණියටත් ඉතා පහසු කටයුත්තක් විය යුතුයි. ඔවුන්ට මා සමග සයිටම් සම්බන්ධයෙන් විවාදයකට එළඹෙන ලෙස මා කරන අභියෝගය ඔවුන් තවම පිළිගෙන නැහැ. දෙරණ ඒ සම්බන්ධයෙන් වාද පිටියක් සකස් කරන බවක් පෙනෙන්නට නැහැ.



වෛද්‍යවරුන් කියනු ඇත්තෙ ඔවුන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ නැති නමුත් සයිටම් එක්කෝ ප්‍රෝඩාවක් නැත්නම් ප්‍රමිතියක් නැති තැනක් නිසා සයිටම් අහෝසි කළ යුතු බවයි. එහෙත් ප්‍රෝඩාකරුවන් කවුදැයි මා කියන්නේ නැහැ. වෛද්‍යවරුන් ජනමතය විකෘති කිරීමට ගන්නා උත්සාහයක් කාලෝ වෛද්‍ය සභාවෙන් ඉවත් වීම සමග පෙනී ගියා. වෛද්‍ය ආඥා පනත අනුව වෛද්‍ය සභාවේ සභාපති නම් කෙරෙන්නේ අදාළ ඇමති විසින්. සභාපති කිනම් කාලයකට පත් කළ යුතු ද යන්න ආඥා පනතේ සඳහන් වෙන්නේ නැහැ. අදාළ ඇමතිට (සෞඛ්‍ය) කාලය තීරණය කරන්න පුළුවන්. සම්ප්‍රදායක් ලෙස වසර පහකට සභාපති නම් කෙරෙනවා. කාලෝගේ කාලය 2017 ජනවාරි පළමුවැනිදා අවසන් වුණා. ඉන්පසු රාජිත ඔහුට තවත් මාස හයක සේවා දිගුවක් ලබා දුන්නා. එය මාස හයකට පමණයි. ඇතැම් වෛද්‍යවරුන් බොළඳ උත්සාහයක් ගත්තා කාලෝ තවත් අවුරුදු පහකට සභාපති කියා කියන්න. තවත් සමහරු ඔහු යාවජීව සභාපති ලෙසත් අර්ථ දක්වන්න උත්සාහ කළා. කාලෝ ඉවත් වුණේ ඔහුට සේවය කිරීමට අධිකාරී බලයක් නැති නිසයි. ඔහුට අසාධාරණයක් සිදු වී ඇත්නම් ඔහු යාවජීව සභාපති හෝ වෙනත් අයකු හෝ කියමින් අධිකරණය හමුවට යා හැකියි. එහෙත් වෛද්‍යවරුන් ජනතාවගෙන් කොටසක් අතර වැරදි මතයක් ප්‍රචලිත කිරීමට උත්සාහ ගන්නවා. ප්‍රෝඩාව කාගේ ද? පඬි පෝතකයන් ඒ ගැන කියන්නේ කුමක් ද?



වෛද්‍යවරුන් කියන තවත් කරුණක් නම් වෛද්‍ය සභාව සයිටම් උපාධිය පිළිගෙන නැති බවයි. ඒ බව අධිකරණයට පවසන ලෙස ඔවුන් උසස් අධ්‍යාපන ඇමතිට කියනවා. වෛද්‍ය සභාවට ඒ බව අධිකරණයට කියන්න පුළුවන්. ඒ සඳහා තෝල්ක මුදලිවරුන් අවශ්‍ය වන්නේ නැහැ. කෙසේ වෙතත් වෛද්‍ය සභාවට උපාධි පිළිගැනීමේ අයිතියක් නැහැ. ඒ අයිතිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන ඇමතිට විශ්වවිද්‍යාල පනතින් පැවරී තිබෙනවා. වෛද්‍ය සභාවට ඒ අයිතිය නැහැ. කාලෝ හා පාදෙණිය විවාදයට එළඹෙන්නේ නම් මා අදාළ වගන්ති කියන්නම්. වෛද්‍ය සභාවට බලය ඇත්තේ වෛද්‍ය උපාධිධාරියකුට තාවකාලික/ස්ථිර ලියාපදිංචිය දීමට/නොදීමටයි. එහෙත් එය අත්තනෝමතිකව කරන්න පුළුවන් දෙයක් නො වෙයි. ඒ සඳහා ක්‍රමවේදයක් වෛද්‍ය ආඥා පනතේ තිබෙනවා. වෛද්‍ය සභාව සයිටම් උපාධිධාරිණියට ලියා පදිංචිය නොදීමේ දී අදාළ නිර්ණායක නොසලකා හැර තිබෙනවා. අධිකරණය ඇත්තේ වෛද්‍ය සභාවත් අනෙක් සභාත් පුද්ගලයනුත් නීතිය අනුව කටයුතු කරනවා ද කර ඇත් ද කියා තීරණය කිරීමට. අභියාචනාධිකරණයට අනුව සයිටම් උපාධිය නිත්‍යානුකූලයි  වෛද්‍ය සභාව සයිටම් උපාධිධාරිණියක් තාවකාලික ව ලියා පදිංචි නොකර සිටීමෙන් වරදක් කර ඇති බව අභියාචනාධිකරණය තීන්දු කළා. ශ්‍රෙෂ්ඨාධිකරණය කිනම් තීන්දුවක් දේවි දැයි මා දන්නේ නැහැ.



වෛද්‍ය සභාව සයිටම් සම්බන්ධ කළ නිරීක්‍ෂණ හා නිගමන අභියාචනාධිකරණයේ සාකච්ඡා වුණා. වෛද්‍යවරුන් ඒ බව නොකියන්නේ ඇයි? අභියාචනාධිකරණය තීරණය කළේ වෛද්‍ය සභාවේ නිරීක්‍ෂණ හා නිගමනය අතර පරස්පරයක් තිබෙන බවයි.  එපමණක් නොවෙයි අභියාචනාධිකරණය වෛද්‍ය සභාව සයිටම් හා කොතලාවල වෛද්‍ය පීඨය ගැන සංගත තීරණ දී නැති බවත් සඳහන් කළා. වෛද්‍ය සභාව කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් හොඳ යැයි තීරණය කර ඇත්තේ ඔවුන්ට රෝහලක් නැතිවූ අවස්ථාවක!



මා ආණ්ඩුවට පක්‍ෂපාත නැහැ. එහෙත් වෛද්‍යවරුන් පැහැදිලිව ම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරනවා. සයිටම් ආරම්භ වූ අවධියේ වෛද්‍යවරුන්ට මේ කිසිවක් ප්‍රශ්න වූයේ නැහැ. එක් ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ප්‍රධානියකු මගෙන් ඇසුවේ සයිටම් පාලනය සඳහා භාරයක් තිබෙනවා ද කියා. ඔහු ඒ ප්‍රශ්නය ඇසිය යුතුව තිබුණේ මහින්ද රාජපක්‍ෂගෙන්, නැත්නම් වෙනත් රාජපක්‍ෂ කෙනකුගෙන්. එකල භාරයක් යටතට සයිටම් පත් නොකළේ ඇයි? දැනුදු භාරයක් යටතට සයිටම් පත්කරන එක ප්‍රශ්නයක් නො වෙයි. භාරය හා එහි සාමාජිකයන් පාර්ලිමේන්තුවට තීරණය කළ හැකියි. වෛද්‍යවරුන් හා ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය (අපක්‍ෂපාත ජනමාධ්‍ය ලෝකයේ නැහැ) එදා නොඇසූ ප්‍රශ්න අද අසන්නේ දේශපාලන අරමුණක් වෙනුවෙන්. එදා මේ අය සයිටම් අනුමත කළා. මේ සම්බන්ධයෙන් චම්පක රණවක කියන දේ වැදගත් නැහැ. ඔහු තරම් අවස්ථාවාදියකු දොශපාලනයේ නැහැ. ඊයේ ආණ්ඩු පක්‍ෂය තීරණය කරලා සයිටම් සම්බන්ධයෙන් එක ම මතයක් දැරිය යුතු බව. චම්පකට ඒ කිසිවක් අදාළ නැහැ. ඔහු ආණ්ඩුවේ ඉඳන් පොර වෙන්න හදනවා. ඔහුටත් ඇත්තේ ජනාධිපති සිහිනයක්. 



තවත් ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මා සමහර කරුණු ලියා ඇති ලිපි රාශියක දක්වා ඇති. රිස්වි ෂෙරීෆ් වාර්තාවට සිදු වූයේ කුමක් ද? ඒ කමිටුව පත් කෙළේ වෛද්‍ය සභාව මිස ආණ්ඩුව නො වෙයි. වෛද්‍ය සභාව සයිටම් පරීක්‍ෂා කිරීමට පසුගිය ආණ්ඩුව කාලය උනන්දු නොවූයේ ඇයි?  ආණ්ඩු පෙරළීමට සයිටම් යෙදා ගන්න බැහැ.  පඬි පෝතකයන් මුහුණු පොතේ ප්‍රතිචාර දැක්වීමට පෙර මගේ අදාළ ලිපි කියවනවා නම් හොඳයි. මේ ලිපිය අවසන් කිරීමට පළමුව අනතුරු ඇඟවීමක් කරන්න ඕන. මෙය මා කලින් ද කර තිබෙනවා. සයිටම් මගින් අප භීෂණ යුගයකට යනවා. එහි දී සිංහල බෞද්ධ විශේෂත්වය නැති වී යනවා. ආණ්ඩු පෙරළන්න බලා ඉන්න අයට සිදු වන්නේ මළ මිනී පෙරළන්න. 1817 දී ඉංගිරිසින් වෙල්ලස්ස සමූලඝාතනය කළා. මෙවර සමූලඝාතනය වන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වයයි.  







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා                      



2017 ජූලි 04