Main Logo

Tuesday 18 July 2017

පුරාවිද්‍යාවේ අනුකාරකයෝ


පුරාවිද්‍යාවේ අනුකාරකයෝ



ඉස්සර මේ රටේ පුරාවිිද්‍යා දෙපාර්තමේන්තුවක් තිබුණෙ නැහැ. ඒත් අපේ සිද්ධස්ථාන රැක ගැනීමට එය බාධාවක් වුණේ නැහැ. අපේ රජවරු සිද්ධස්ථාන අළුත්වැඩියා කළා. චෛත්‍ය මුල් ආකාරයෙන් ම තිබිය යුතු ය කියලා නීතියක් තිබුණෙ නැහැ. පස්සෙ කාලෙක දි අගනුවර මාරු වෙන විට කලින් අගනුවරවල තිබූ සිද්ධස්ථාන ඇතැම් විටෙක මග ඇරෙන්න ඇති. අගනුවර කෝට්ටෙට ගෙනාවට පස්සෙ පැරණි සිද්ධස්ථානවලට යන එක ටිකක් අපහසු වෙන්නත් ඇති.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටෙව්වෙ සුද්දන්ගෙ කාලෙ. ඒ ගොල්ලන්ගෙ පුරාවිද්‍යා සංකල්ප රජවරුන්ගෙ හා සිංහල බෞද්ධ සංස්කෘතියෙ සංකල්පවලින් බෙහෙවින් වෙනස්. මා මේ පිළිබඳ ව දිවයින පුවත්පතට එකල ලිව්වා. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවවත් දේශපාලනඥයන්වත් ජනමාධ්‍යවේදීන්වත් පොදුවේ ගත් කල ජනයාවත් ඒ අදහස් ගණන් ගත්තේ නැහැ.  ඊනියා උගතුන් මෙරටට කරන හානිය ඔවුන්ටවත් සාමාන්‍ය ජනයාටවත් තේරෙන්නේ නැහැ. 

අපට සුද්දන්ගෙ පුරාවිද්‍යා සංකල්ප ඒ අයුරින් ම අනුකරණය කරන්න අවශ්‍ය නැහැ. අපට වෙලා තියෙන ලොකුම හෙනය තමයි ඊනියා උගතුන් සුද්දන්ගෙ දැනුම ඒ ආකාරයෙන් ම  අනුකරණය කිරීම. සාමාන්‍ය ජනයා ඊනියා උගතුන් අනුකරණය කරනවා. මේ ඊනියා උගතුන්ට ජනමාධ්‍යකරුවනුත් ඇතුළත්. බොහෝ දෙනා ඉගෙන ගන්නේ ජනමාධ්‍යයෙන්. ඒ මදිවාට අද දැනුම අන්තර්ජාලයෙන් බාගත කරන්නත් පුළුවන්. තරුණ තරුණියන් මේ දැනුම ගන්නවා. ඔවුන් එය බටහිර දැනුම ද නැද්ද යන්න දන්නෙත් නැහැ. ඒ ගැන හිතන්නෙත් නැහැ. එහෙත් ඒකෙන් කියන්නෙ නැහැ ඔවුන් බටහිර දැනුම අනුකරණය කරන්නෙ නැහැ කියලා. ඔවුන් බටහිර දැනුම මෙරට සංස්කෘතියට අවශෝෂණය කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ හුදු අනුකරණය පමණයි. කුඩා ළමුන්ගේ සිට මහල්ලන් දක්වා බොහෝ දෙනා දන්නේ අනුකරණය පමණයි. අද අනුකරණය කෙරෙන්නේ බටහිර දැනුම. එයට මූලික වශයෙන් වග කිව යුත්තේ ජනමාධ්‍යකරුවන් ද ඇතුළු ඊනියා උගතුන්. විශ්වවිද්‍යාලවල නම් ඉන්නේ ඉස්තරම් ම අනුකාරකයන්. මේ බටහිර දැනුම් ආධිපත්‍යය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව බොහෝ දෙනා දන්නේ නැහැ. බටහිර දැනුමේ ප්‍රධාන ආරක්‍ෂකයා වූ කාලෝ මේ සම්බන්ධයෙන් මා සමග වාදයකට එන්නෙත් නැහැ.  

අප වැදි ජනයාට ආදිවාසීන් කියා කියනවා. ඒක සුද්දන්ගෙන් අපට ලැබිච්ච සංකල්පයක්. කැලණිය විශ්වවිද්‍යාලයෙත් ඒක එලෙස එකල භාවිතා වුණා. මගේ මැදිහත් වීම උඩ එය වෙනස් වුණා. ඒත් සමහරවිට දැන් නැවතත් වැදි ජනතාව ආදිවාසීන් වෙලා ඇති. ආදිවාසියා කියන එකේ තේරුම රටක වත්මන් විශේෂිත සංස්කෘතිය, රට ගොඩ නගා ඇති සංස්කෘතියට පෙර සංස්කෘතියක් හෝ සංස්කෘති හෝ තිබුණු බවත් ඒ සංස්කෘති ඊනියා ආදිවාසීන්ගේ බවත්. උදාහරණ වශයෙන් බටහිරයන් ඇමරිකාවට යැමට පෙර එරට තිබූ සංස්කෘතීන් ගොඩ නැගූ ජනයා ආදිවාසීන් ලෙස හඳුන්වනවා. ඕස්ත්‍රේලියාවේ තත්වයත් එබඳුයි. අද ඒ රටවල ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ විවිධ ප්‍රභේද. ඒ සංස්කෘති අද බොහෝ වෙලාවට ඒ රටවල විශේෂිත නොව අධිපතිවාදී සංස්කෘති. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘති ඒ රටවලට ලැබුණේ යුරෝපයෙන්. යුරෝපීය සංස්කෘතීන් අද ඒ රටවල අධිපතිවාදී සංස්කෘතීන් බවට පත්වෙලා. පසුව පැමිණි යුරෝපීයයන් කලින් සිටි අය ආදීවාසීන් ලෙස හඳුන්වනවා.

එහෙත් ලංකාවේ තත්වය කුමක් ද? සිංහලයන් මෙරටට පිටරටින් පැමිණි බවට කිසිම සාධකයක් නැහැ. සිංහල භාෂාව කතා කරන්නන් වෙන කිසිම රටක නැහැ. සිංහල භාෂාව මෙරට නිපන් භාෂාවක්. මෙරටට කාලිංගයෙන් (ඔඩෙස්සා) හා වංගයෙන් (බෙංගාලයෙන්) ජනයා සංක්‍රමණය වූ බව පැහැදිලියි. ඔවුන් මෙරට භාවිතා වූ භාෂාව (හෙළ බස) යම් දුරකට වෙනස් කර සිංහල නිර්මාණය කර ඇති බව පැහැදිලියි.  එයට විවිධ වචන පසුව වෙනත් භාෂාවලිනුත් වචන එකතුවෙලා. වචන විතරක් නොවෙයි ව්‍යාකරණයකුත් එකතු වෙලා. 

සිංහලයන් යනු පිටරටකින් පැමිණි පිරිසක් නොවෙයි. සිංහලයන් කියන්නෙ මෙරට සිටි යක්‍ෂ නාග දේව රාක්‍ෂස ආදී ජනතාව වංගයෙන් හා කාලිංගයෙන් පැමිණි පිරිස් සමග එකතු වී ගොඩ නැගුණු ජාතියක්. පසුව මලබාර් පෙදෙසින් පැමිණි ජනයාත් සිංහලයන්ට අවශෝෂණය වෙලා තියෙනවා. යක්‍ෂ නාග ආදීන් මෙරට වැසියන්. ඔවුන්ගෙන් යම් ආකාරයකට පැවත එන සිංහලයන් ආදීවාසීන් වෙන්නෙ කොහොම ද? සිංහලයන් විජයගෙන් හා පිරිසගෙන් ආරම්භ වී ය යන්න ඉන්දිය (භාරතීය) මතයක් පමණයි. මේ භාරතීයයන් ඊනියා විජය සම්භවය තහවුරු කිරීම සඳහා මෙරට සංස්කෘතිය ප්‍රධාන වශයෙන් ම ගොඩ නැගූ යක්‍ෂ ජනතාව අමනුෂ්‍යයන් බවට පත් කළා. සිංහල ජාතිය ගොඩ නැගීමට එකතු නොවුණු එකම ජනවර්ගය වූයේ වැදි ජනතාව. ඔවුන් පමණක් ආදිවාසීන් යැයි කියන්නේ බටහිර සංකල්පයක් යොදා ගෙන විජය කතාව අනුව යමින්. මහාවංසයේ විවිධ ගෝත්‍ර ගැන කියනවා. ඒ සියල්ලන්ට ම වැදි ජනතාවට ඇති අයිතිය තියෙනවා. වැදි ජනතාව පමණක් ආදිවාසීන් කරන්නේ සිංහලයන්ට හිමි විශේෂත්වය නැති කරන්නට. 

මෙරට ඇත්තේ මා බොහෝ කලකට කී ආකාරයට අඛණ්ඩ ජීවමාන සංස්කෘතියක්. අඛණ්ඩ කියන එකෙන් වෙනස් වන්නෙ නැහැ කියන එකක් ගම්‍ය වන්නේ නැහැ. අවුරුදු දහස් ගණනක් තිස්සේ අප වෙනස් වුණා. එහෙත් ඒ වෙනස්වීම තුළින් දිවෙන හුයක් තියෙනවා. එය තමයි අපේ අඛණ්ඩ බව. මිසරයේ ඒ දිනවල පිරමිඩ් ගොඩ නැගූ පාරාවෝ අද නැහැ. පාරාවෝ සංස්කෘතිය අද එහි නැහැ. අද ඇත්තේ ඊජිප්තුවේ මුස්ලිම් සංස්කෘතියක්. පැරණි පර්සියාවේ තිබූ සංස්කෘතිය අද ඉරානයේ නැහැ. අද එහි ඇත්තේ ඉරාන මුස්ලිම් සංස්කෘතියක්. එහි අඛණ්ඩභාවයක් නැහැ. 

අපේ සංස්කෘතියේ අඛණ්ඩභාවයත් සමග අපට ජීවමාන ඉතිහාසයක් තියෙනවා. එය පුරාවිද්‍යාත්මක ඉතිහාසයක්, කෞතුක ඉතිහාසයක් නො වෙයි. අපේ රජවරුන් චෛත්‍ය අලුත්වැඩියා කිරීමේ දී ඒ වෙනස් කළා. ඒ ජීවමාන ඉතිහාසයක, ජීවමාන සංස්කෘතියක ලක්‍ෂණයක්. එය බටහිර පුරාවිද්‍යාවේ ඊනියා සංරක්‍ෂණය සමග එකඟ වන්නේ නැහැ. අද අභයගිරිය සංරක්‍ෂණය කෙරෙන්නේ බටහිර පුරාවිද්‍යාව අනුව. එයට හුණු පිරියම් කරන්නේ නැතිව සිංහල බෞද්ධයනට ශ්‍රද්ධාව උපදින්නේ නැහැ. රුවන්වැලිය නිකම් ම සංරක්‍ෂණය කළා නම් සිංහල බෞද්ධයන් අද තරම් එය වැඳීමට යාවි ද? බටහිර පුරාවිද්‍යා සංකල්ප ක්‍රියාත්මක කිරීමෙන් අපේ සංස්කෘතියත් ඉතිහාසයත් කෞතුක ඉතිහාසයක් බවට පත් වෙනවා. මෙය සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමේ එක් පියවරක්.  මෙරට ඊනියා උගතුන්ට බටහිර සරණයි. 





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ජූලි 18