Main Logo

Monday 3 July 2017

අස්ගිරියෙන් ඒකාබද්ධ විපක්‍ෂයට පාඩමක්





අස්ගිරියෙන් ඒකාබද්ධ විපක්‍ෂයට පාඩමක්




අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ (කාරක සභාව) ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරලා. උන්වහන්සේගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ නව ව්‍යස්ථාවක් අවශ්‍ය නැහැ කියන එකයි. කොහොමටත් ජනාධිපතිවරණයෙදි පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල කිව්වෙ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා වගන්ති පමණක් සංශෝධනය කරන බව. මහින්ද නව ව්‍යවස්ථාවක් ගැන කිසිවක් කිව්වෙ නැහැ. එයින් කියැවෙන්නේ ජනාධිපතිවරණයේදීත් ඡන්දදායකයන් නව ව්‍යවස්ථාවක් සඳහා ඡන්දය දී නැති බවයි. අස්ගිරියෙ හාමුදුරුවන් වහන්සේ හා ජනතාව අතර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පරස්පරයක් නැහැ.




පැහැදිලිව ම මෛත්‍රිපාලටත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. ඔහු  කියා තියෙන්නෙ ජනමත විචාරණයකට තුඩු නොදෙන සංශෝධන පමණක් කරන බවයි. රටේ ඡන්දදායකයන් සියයට සියයකට ම වගේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. මෛත්‍රිපාලවත් මහින්දවත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ඡන්දෙ ඉල්ලුවෙ නැහැ. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය රනිල් ජයම්පති සුමන්තිරන් යන සිංහල බෞද්ධ විරෝධී ත්‍රිත්වයටත්, සිවල් සාමාජිකයන්ටත්, දෙමළ ජාතිවාදීන්ටත්, විවිධ පඬියන්ටත් පමණයි. ඔවුන් ඡන්දදායකයන්ගෙන් සියයට එකක් තබා දසදහසකට එකක්වත් (0.01%) නැහැ. කසිකබල් ජනමාධ්‍ය නොවන්නට ඔවුන් ඉන්න බවක්වත් ඡන්දදායකයන් දන්නේ නැහැ. ජනමාධ්‍ය වික්‍රමබාහුගේ අටදෙනාගේ උද්ඝෝෂණයටත් ප්‍රචාරයක් දෙනවා.



ජාතික ව්‍යාපාරයේ ඇතැමුන්ගේ අවශ්‍යතාව පරිදි ජනමාධ්‍ය ප්‍රධානීන් අපට ප්‍රචාරයක් දෙන්නේ නැහැ. අද දේශපාලන වාහකය වෙලා තියෙන්නෙ ජනමාධ්‍ය, විශේෂයෙන් ම රූපවාහිනී නාළිකා. සයිටම් සම්බන්ධයෙන්  වෛද්‍යවරුන්ගේ සංගමයේ විරුද්ධත්වයට ඇතැම් ජනමාධ්‍ය ප්‍රචාරය දෙන්නේ කල්ලි ගැහිලා. මේ කල්ලි 2020 මැතිවරණයට එකට ඉදිරිපත් වීමට කටයුතු කරන බව පැහැදිලියි. ඇතැමුන් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කාලෝගේ සභාපතිකම ගැන බොරු කියනවා. ඔහුගේ ඉවත් වීම නීත්‍යානුකූල නැත්නම්  කාලෝටත් වෛද්‍යවරුන්ටත් උසාවි යන්න පුළුවන්. සයිටම් ගැන විවාදයකට එළඹෙන ලෙස කාලෝට හා පාදෙණියට මා කළ අභියෝගය තවමත් තියෙනවා.



රනිල් ජයම්පති සුමන්තිරන් ව්‍යවස්ථාව මෙරටට අවශ්‍ය නොවුණත් බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍යයයි. ආණ්ඩුව අවවාද ගන්නේ  සංඝයා වහන්සේගෙන් ද බටහිර හා ඉන්දීය න්‍යායාචාර්යවරුන්ගෙන් ද ඊනියා ස්මාට් ජාතිකවාදීන්ගෙන් ද කියන එක ඉදිරියේ දී තීරණය කරන්න වේවි.  බටහිරයන් රනිල්ට උපදෙස් දෙන බවත් ඔහු වැඩ කරන්නේ බටහිරයන්ගේ සැලැසුම්වලට අනුව බවත් මොහොතකටවත් අමතක කරන්න බැහැ. සංඝයා වහන්සේ භේද කිරීමට ඉදිරි කාලයේ දී රනිල්ගේ උපදේශකයන් සැලසුම් කරාවි. අස්ගිරි පාර්ශ්වය සමග රාමඤ්ඤ නිකාය එකතු වී ඇති බව පෙනෙනවා. මල්වතු පාර්ශ්වයත් අමරපුර නිකායත් රෝහණ පාර්ශ්වයටත් ආදී වශයෙන් ඇති සියළු නිකාය එකතු වී එක හඬින් නව ව්‍යවස්ථාවකට විරෝධය පානු ඇතැයි සිංහල බෞද්ධයන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය සංඝයා වහන්සේ හා සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතිවාදීන් අතර ප්‍රශ්නයක් බවට පත්කර ඒකාබද්ධ විපක්‍ෂය අහක බලා නොගනු ඇතැයි සිතනවා.



මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය අද වැදගත් තීරණයක් ගනු ඇතැයි ඊයේ මහින්ද රාජපක්‍ෂ කිව්වා. ඔහු කියා සිටියේ පළාත් පාලන මැතිවරණ පවත්වන තෙක් මින් ඉදිරියට නව ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලින් බැහැර වන බවයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණ පවත්වන තෙක් ඊනියා ව්‍යවස්ථා සභාවේ වැඩ කටයුතුවලට ඒකාබද්ධ විපක්‍ෂය සහභාගි වෙන එකක් නැහැ. මෙය ප්‍රමාණවත් නැහැ. වහාම ක්‍රියාත්මක වන පරිදි ඊනියා මෙහෙයුම් කමිටුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය ඉවත් වෙන්න ඕන.



ඒකාබද්ධ විපක්‍ෂය මෙයට වඩා දැඩි තීන්දුවක් ගත යුතුයි. සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ කෙසේ වෙතත් මහින්ද වටා සිටින සංධානයේ අනෙක් සියළු අයට නව ව්‍යවස්ථාවක් සඳහා පක්‍ෂ වෙන්න බැහැ. ඔවුන් කොන්දේසි විරහිත ව ඒකාබද්ධ විපක්‍ෂය නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් විය යුතු බවට තීරණය කළ යුත්තේ අස්ගිරි පාර්ශ්වය අනුගමනය කරමින්. අප මෙය කලක සිට කියනවා. ඒත් ජනමාධ්‍ය ඒ ගැන ප්‍රචාරයක් දෙන්නේ නැහැ. එහෙත් මේ ලිපි කියවන කිහිප දෙනා නම් අපේ අදහස් දන්නවා. ජනමාධ්‍ය අපේ අදහස්වලට ප්‍රචාරයක් නොදෙන්නේ එමගින් ඔවුන්ගේ වීරයන්ගේ තත්වයට මදිපුංචිකමක් වෙයි කියලා හිතා ගෙන ද?  මට ජාතික ලැයිස්තුවෙන්වත් මන්ත්‍රි කෙනකු වීමේ අවශ්‍යතාවක් නැහැ.



ඒ කොහොම වුණත් ඒකාබද්ධ විපක්‍ෂය තාවකාලික ව නමුත් ව්‍යවස්ථා ක්‍රියාවලියෙන් ඉවත් වීමට තීරණය කිරීම ප්‍රමාණවත් නොවුණත් වැදගත්. එසේ ඉවත් වී සිටින කාලයෙහි මෙහෙයුම් කමිටුව හෝ ව්‍යවස්ථා සභාව හෝ ගන්නා කිසිම තීරණයක් වලංගු නොවිය යුතුයි. ඒකාබද්ධ විපක්‍ෂය තාවකාලික ව කොන්දේසි මත නොව සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුයි. බැරි වෙලාවත් පළාත් පාලන මැතිවරණ පැවැත්තුවොත් ඒකාබද්ධ විපක්‍ෂය නැවතත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට එකතු වෙනවා ද? ඒකාබද්ධ විපක්‍ෂය පළාත් පාලන මැතිවරණ ලබා ගැනීම සඳහා පමණක් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා ද?



ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් මුළුමනින් ම ඉවත් වීම අස්ගිරි පාර්ශ්වයේ කාරක සභා තීරණ සමග එකඟයි. මහින්දගේ ජනාධිපතිවරණ ප්‍රකාශය සමග එකඟයි. ඡන්දදායකයන්ගේ මතය සමග එකඟයි. එකඟ නොවන්නේ දෙමළ ජාතිවාදීන් කිහිප දෙනකු හා වික්‍රමබාහුගේ අට දෙනාගේ කල්ලි සමග පමණයි. ඒකාබද්ධ විපක්‍ෂය අස්ගිරි ප්‍රකාශය සමග එකට හිටගන්නේ නම් සිංහල බෞද්ධයන්ගෙන් අති විශාල බහුතරය ඒකාබද්ධ විපක්‍ෂය සමග හිටගනීවි. එවිට මුස්ලිම් ඡන්ද ලබා ගැනීමට කියමින් නිවට නියාළු ප්‍රතිපත්ති අනුගමනය කරන්නෙ වෙන්නෙ නැහැ.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ජූලි 03