Main Logo

Sunday 30 July 2017

හම්බන්තොට වරාය ගිවිසුම

හම්බන්තොට වරාය ගිවිසුම

කවුරු මොනවා කිවුවත් රනිල් තමාට අවශ්‍ය දේ කරන බව ඊයේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම අත්සන් කිරීමෙන් පැහැදිලි වෙනවා. ඊයේ ගිවිසුමට බොරු වගන්තියක් එකතු කරලා එකඟතාවකින් ගිවිසුම ඕනෑම අවස්ථාවක සංශෝධනය කරන්න පුළුවන් කියලා. ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ වරාය අධිකාරිය හා චීන සමාගමක්. ඒ අය එකඟ වීම අදාළ සමාගම් දෙකේ වරාය අධිකාරිය සතු කොටස් සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් හරි ගිවිසුම අනූනව අවුරුදු බද්දෙන් තිස් අවුරුදු බද්දකට අඩු කිරීම සම්බන්ධයෙන් විය හැකි ද?


ගිවිසුම පිටු එකසිය ගණනක් පුරා ලියැවිලා කියලා කියනවා. මා හිතන්නෙ නැහැ විපක්‍ෂයෙ කිසිවකුටවත් ගිවිසුම කියවන්න කාලයක් ලැබුණ කියලා. පාර්ලිමේන්තුවේ ගිවිසුම ගැන විවාදයක් තිබුණෙ නැහැ. විවාදයක් පවත්වන්න ඉඳලා ඒකාබද්ධ විපක්‍ෂය අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි පිළිබඳ විවාදයෙ හැසිරුණු ආකාරයක් මුල් කරගෙන රනිල්ගෙ කතානායක පාර්ලිමේන්තුව කල් දැම්මා. ඒකාබද්ධ විපක්‍ෂය සැලසුම් සහගත ව ක්‍රියා කරන ආකාරයක් පෙනෙන්න නැහැ. මෙහෙම කිව්ව ම සමහර මහින්දවාදීන්ට රිදෙනවා. ඔවුන් මහින්ද ආරක්‍ෂා කිරීමට මුහුණු පොතේ ප්‍රතිචාර ලෙස බොරු ලියනවා. අපේ ප්‍රශ්න විසඳා ගැනීම කියන්නෙ මහින්ද කියන කරන ඕනෑම දෙයක් හොඳයි කියන එක නො වෙයි. මහින්ද කළ වැරදි  තියෙනවා. අවස්ථාව පැමිණි විට ඒ සඳහන් කළ යුතුයි.

මේ හම්බන්තොට වරාය ගිවිසුම මාත් කියවලා නැහැ. ඒත් ඒකෙ පරස්පර තියෙන බවත් ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රශ්න ඇති විය හැකි බවත් ඇතැමුන් කියනවා. ඒ අතර ඉන්දියාව ගිවිසුම ගැන දරණ මතයක් තියෙනවා. මා කියන්නෙ අප ඉන්දියාවෙ මතය ගැන සැලකිලිමත් විය යුතු ය කියන එකවත් අපේ ගණුදෙනු ඉන්දියාවට අවශ්‍ය ආකාරයට කළ යුතු ය කියන එකවත් නො වෙයි. ඇතැමුන්ට අනුව මේ ගිවිසුමෙන් අප ඉන්දියාව සමග ඇති යම් ගිවිසුමක ඇතැම් කොන්දේසි උල්ලංඝණය වෙනවා. ඒ ගිවිසුමත් කියවන්නෙ නැතිව ඒ ගැන යමක් කීම අපහසුයි. එහෙත් ගිවිසුමක් අත්සන් කිරීමට පළමු අදාළ වෙනත් ගිවිසුම් ඇතොත් එ අධ්‍යයනය කළ යුතුව තිබුණා.

මා ඊයේ ලිපියෙන් කියා සිටියේ ගිවිසුම අහෝසි කරන බවට ඒකාබද්ධ විපක්‍ෂය කියන්නෙ නැත්තෙ ඇයි කියලා. ඒ වගේම මා කියා සිටියා විපක්‍ෂයෙ ඇතැම් උපදේශකයන් කියාවි කියලා ඊනියා ජාත්‍යන්තර ගිවිසුම් අහෝසි කරන්න බැහැ කියලා. ඒ කිව්ව වගේ ම ඊනියා ජාත්‍යන්තර ගිවිසුම් අහෝසි කරන්න බැහැ කියලා මේ වන විටත් ඇතැමුන් කෑ ගහන්න පටන් අරන්. එහෙත් ඒ අතර ඊයෙ බැසිල් රාජපක්‍ෂ කියා සිටියා තමන් බලයට පැමිණි විට සමාගම ජනසතු කරනවා කියලා. එය ඉතා වැදගත් ප්‍රකාශයක්. එය හුදු වාගාලාපයක් නො වෙයි.

ජාත්‍යන්තර ගිවිසුම් විවිධාකාරයි. රාජ්‍ය රාජ්‍ය අතර ගිවිසුම් තියෙන්න පුළුවන්. රජයක් විදේශීය බැංකුවකින් ණයක් ගන්න පුළුවන්. ඒහෙමත් නැත්නම් වෙළෙඳ ගිවිසුමක් වෙන්න පුළුවන්. ඊයේ අත්සන් කෙළේ මට තේරෙන විධියට (මා ගිවිසුම කියවා නැති බව අවධාරණය කළ යුතුයි) මෙරට සමාගම් දෙකක් පිහිටුවීම පිළිබඳ ගිවිසුමක්. ගිවිසුම අත්සන් කළ පමණින් ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නැහැ. අදාළ සමාගම් දෙක ලංකාවේ ලියා පදිංචි කළ යුතුයි. ඕනෑම සමාගමක් ලියා පදිංචි කිරීමට බලධාරීන් බැඳී නැහැ. යම් නීත්‍යානුකූලබවක් සමාගම්වලට තිබිය යුතුයි.

මේ සමාගම් දෙක ක්‍රියාත්මක වන්නේ ලංකාවේ. චීනයේ නො වෙයි. සමාගම් දෙක මෙරට ලියා පදිංචිය සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි තියෙනවා. සමාගම් ලියා පදිංචිය රජයේ නිලධාරීන්ගේ කාර්යයක්. රජයෙ නිලධාරීන් යනු ආණ්ඩුවේ සේවකයන් නො වෙයි. සමාගම් ලියා පදිංචියේ දී එයට විරුද්ධ මත ඇත්නම් ඒ ඉදිරිපත් කිරීමට අවසර තිබිය යුතුයි. මේ සමාගම් දෙක රටේ අනාගතයට බලපාන බැවින් නීතිඥයන් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි සිතනවා.

සමාගම් ලියා පදිංචි කෙළේ යැයි සිතමු. එවිට ඒ සමාගම් ලංකාවේ සමාගම් මිස චීනයේ සමාගම්වත් ඊනියා ජාත්‍යන්තර සමාගම්වත් නො වෙයි. ලංකාවේ සමාගම් ගැන ක්‍රියාත්මක වන්නේ ලංකාවේ නීතියට අනුව මිස ඊනියා ජාත්‍යන්තර නීතියකට අනුව නො වෙයි. ඊයේ අත්සන් කළ ගිවිසුම ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුමකින්වත් විදේශීය බැංකු ණය ගිවිසුමකින්වත් විදේශීය රාජ්‍යයකින් ණය ගැනීම පිළිබඳ ගිවිසුමකින්වත් ඒ ආකාරයේ වෙනත් ගිවිසුමකින්වත් වෙනස්. මෙය මූලික වශයෙන් ලංකාවේ නීතියට යටත් ව මෙරට වෙළඳ සමාගම් දෙකක් ඇති කිරීම පිළිබඳ ගිවිසුමක්. ඒ නිසා අනෙක් ඊනියා ජාත්‍යන්තර ගිවිසුම්වලින් වෙනස්.

බැසිල් රාජපක්‍ෂගේ ප්‍රකාශය වැදගත් වන්නේ ඉහත සඳහන් පසුබිම යටතේ. එක් ආණ්ඩුවක් ඇති කළ ඊනියා ජාත්‍යන්තර ගිවිසුමක් පසුව බලයට පැමිණෙන ආණ්ඩුවකට අහෝසි කරන්න බැරි වේවි. ඒත් ලංකාවෙ නීතිය යටතෙ ලියා පදිංචි කළ සමාගමක් ඊනියා ජාත්‍යන්තර සමාගමක් නො වෙයි. බණ්ඩාරනායක මැතිණිය මෙරට එකල මෙරට ක්‍රියාත්මක වූ  විදේශීය තෙල් සමාගම් ජනසතු කළා. ඒ ගැන මහා බලවත් ඇමරිකන් එක්සත් රාජ්‍යයට කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නැහැ. ඔවුන් ඊට පස්සෙ බණ්ඩාරනායක මැතිණියගෙ ආණ්ඩුව පෙරලන්න නම් කටයුතු කළා.  චීනය මොනව කරාවිද කියන්න බැහැ. චීනයේ අද සංස්කෘතික විප්ලවයෙන් පස්සෙ දෙවැනි පරම්පරාවෙ දුෂිතයන් බලයට පත් වෙලා. අද එහි තාඕ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රසිද්ධියෙ කියන එක හොඳයි සමාගම් දෙක ජනසතු කරනවා කියන එක. රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමට මෛත්‍රිපාල ඉක්මණින් ම කටයුතු කරනවා නම් ජනසතුව අවශ්‍ය නොවන්නත් පුළුවන්. රටේ නාමයෙන් මෛත්‍රිපාල හා රාජපක්‍ෂලා සමගි වන්නේ නම් එය මුළු රටට ම යහපතක් වේවි.

මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.


http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජූලි 30