෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
දුම් හට්ටියේ ප්‍රශ්නය
මා මේ ලිපි ලියන්නේ කළකිරීමෙන්. මගේ ඉලක්කය සාමාන්‍ය මිනිසුන්, නූගතුන් කියන අය. එහෙත් ඔවුන්ට මේ ලිපි කියවන්න ලැබෙනවා ද කියන එක ප්‍රශ්නයක්. උගතුන් ලිපි කියෙව්වා කියා සතපහක වැඩක් නැහැ. මේ ලිපිවලට පහර දෙන්නන්ට විරුද්ධ ව මේ උගතුන් වචනයක් ලියන්නේ නැහැ. එහෙත් නූගතුන් කියන අය නම් ලියනවා. මා කියන්නේ මුහුණු පොත ගැන ම නොවෙයි. චින්තන පර්ෂදයේ වැඩ කරන අය මෙහි දී වඩාත් සිහියට නැගෙනවා. ඔවුන් කෙතරම් උගතුන් දැයි කියනවා නම් තමන් චින්තන පර්ෂදයේ සාමාජිකයන් නොවන බව කියනවා. එක් අතකින් ගත් විට එය ඇත්තක්. පසුගිය අවුරුදු තිස්තුනක පමණ කාලයෙහි චින්තන පර්ෂදයෙහි සාමාජිකයන් කියා පිරිසක් හිටියේ නැහැ. කිසිවකු සාමාජික ගාස්තුවක් කියා එකක් ගෙවා නැහැ. අප ලිච්ඡවින් තරමට ම නොවුණත් ඉඳහිට රැස්වෙනවා. තීරණ ගන්නවා. විසිර යනවා.