Main Logo

Friday 20 December 2019

ජනප්‍රියවාදී දේශපාලනය, කෘෂිරසායනය හා ථෙරවාදය

    සිංහල ලිත් ඉලක්කම් 


0  5      
1  6
2  7
3   8
4   9                                           කාම්බෝජ ඉලක්කම් 



ජනප්‍රියවාදී දේශපාලනය, කෘෂිරසායනය හා ථෙරවාදය



චම්පක අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්න විධියක් නැහැ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස රඟපාන කරුණාරත්න ජයසූරිය හා එ ජා ප පිරිස් බොරු උද්ඝෝෂණයක් කරන්න හදනවා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට පෙර කතානායකට දැන්විය යුතු ය කියා. එය වැඩිම වුනොත් සම්ප්‍රදායක් මිස නීතියක් වරප්‍රසාදයක් වෙන්න බැහැ. කරුණාරත්න ජයසූරිය තවමත් එ ජා පක්‍ෂයේ අයකු ලෙසයි කටයුතු කරන්නෙ. ඔහු සම්ප්‍රදාය අනුව අපක්‍ෂපාත වෙන්න ඕන. චම්පක පොලීසිය රැවටීම ගැන ඒ රිය අනතුර සිදු වූ දිනවල ජයසූරිය දැන ගෙන ඉන්න නැතිව ඇති. අඩුම තරමෙන් අර තරුණයකු කළ පැමිණිල්ල ගැන හොයල බලන්න කිසිවකු උනන්දු වුනෙ නැහැ. මා කියන්නෙ කතානායක ඒ ගැන සොයා බැලිය යුතුව තිබුණා ය කියන එක නො වෙයි. කතානායක සම්ප්‍රදාය රකින්නෙ නැති නිසා ආණ්ඩුවත් සම්ප්‍රදාය රකින්න ඕන නැහැ කියලත් මා කියන්නෙ නැහැ. චම්පකට ලොකු ප්‍රශ්නයක් වෙලත් නැහැ. ඔහු රක්‍ෂිත බන්ධනාගාරයෙ ඉන්නවා. සුදු වෑන් රියකින් පැහැර ගෙන ගොස් නැහැ. ඔහු දැන් ඉන්නෙ අධිකරණය බාරෙ. 


එහෙත් ආණ්ඩුව අනෙක් චෝදනා ගැනත් වහාම පරීක්‍ෂණ ආරම්භ කරන්න ඕනෙ. රාජිත ගැන රනිල් ගැන පරීක්‍ෂණ වහාම ආරම්භ කෙරෙන්න ඕන. එක්නැලිගොඩ මරල ද නැද්ද, ඔහු ජීවත් ව ඉන්නවා ද, මැරිල ද ගැන ඔහුගෙ විවාහක බිරිය වගේ ම ඔහු සමග ජීවත් වූ අය ද කියන්නෙ මොකක් ද? තාජුඩීන් කතාව අනතුරක් ද මිනීමැරුමක් ද? තවත් ප්‍රශ්න ගණනාවක් ම තියෙනවා. ඒ සියල්ල අවුරුද්දක් ඇතුළත පරීක්‍ෂා කර ඉවර කරන්න ඕන. ජනමාධ්‍යයට වමාර වමාර කන්න ප්‍රශ්න ඉතුරු කරන්න ඕනෙ නැහැ. 

ඊයේ බෙංගමුවෙ නාලක හාමුදුරුවන් මියන්මාර සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් ගැන කියන්න එක්සත් ජාතීන්ගෙ සංවිධානයට වැඩම කළ අවස්ථාවෙ ජනමාධ්‍යයට අවශ්‍ය වෙලා තියෙන්නෙ අවුන් සාං සුකී ගැන දැන ගන්න නොවෙයි චම්පක ගැන දැනගන්න. අප දැන් වොයිස්කට් ජනමාධයේ අගාධයට ම වැටිල. ජනමාධ්‍යවේදීන් හැසිරෙන්නෙ සියල්ල දත් පුද්ගලයන් වගේ. ඔවුන්ට සෑම ප්‍රශ්නයකට ම උත්තර තියෙන බවක් පේන්න තියෙනවා. මට වෙලාවකට හිතෙනවා ජනමාධ්‍යවේදියකු ජනාධිපති ලෙස පත් කර ගත්ත නම් කියා. 

ඒත් මා දැක්ක ජනමාධ්‍යයක කියල තියෙනවා අමාත්‍ය මණ්ඩලය ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්‍ෂ මහතුන්ගේ ප්‍රධානත්වයෙන් රැස් වුනු බව. අමාත්‍ය මණ්ඩලයෙ ප්‍රධානියා ජනාධිපති මිස අගමැති නො වෙයි. ජනාධිපති හා අගමැතිත් නො වෙයි. ජනමාධ්‍යවේදියා අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිගෙ හා අගමැතිගෙ ප්‍රධානත්වයෙන් රැස් වූ බව දැන ගත්තෙ කොහොම ද කියන එක නම් මට ප්‍රශ්නයක්. 

සමහර විට මහින්ද හැසිරෙන ආකාරයෙන් ජනමාධ්‍යවේදියා හිතුව ද දන්නෙ නැහැ අගමැතිත් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියකු කියා. මහින්දට ජන ප්‍රසාදයක් තියෙන එක ඇත්ත. ඒත් එය ඔහුට හිමි විය යුතු ප්‍රසාදයට වඩා බෙහෙවින් වැඩියි. මා එහෙම කියනවට මහින්දවාදීන් කැමති නැති වේවි. ඒ සමහරු 2015 දී මෛත්‍රිපාලට වැඩ කරපු බවත් අප දන්නවා. ඒත් කමක් නැහැ. කොටි පරාජය කිරීමේ දී දේශපාලන නායකත්වය දුන්නෙ මහින්ද. දේශපාලන නායකත්වයක් ගැන එදා අප කියන විට එයට විරුද්ධ වූ අයත් හිටියා. හිනා වූ අයත් හිටියා. මහින්ද දේශපාලන නායකත්වය දුන්නට ගෝඨාභය හා හමුදා නිලධාරීන් ඇතුළු රණවිරුවන් විශාල කැප කිරීමක් කළා. 

නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු මහින්ද ඒ පාවා දුන් බවත් අප දන්නවා. මා ඒ ගැන කලින් කිහිප වතාවක් ම ලියල තියෙනවා.  ඊනියා 13+ ගැන අදත් සම්බන්ධන්ලට කතා කරන්න පුළුවන් මහින්දගෙ පාවා දීම නිසා. 2015 දි මහින්ද පැරදුනෙ මේ කරුණු නිසා. මෛත්‍රිපාල ගියත් නැතත් මහින්ද ඒ වතාවෙ පැරදෙනවා. කොහොමටත් බැසිල් ඉන්දැද්දි නොවැ පැරදුනෙ. මහින්දට මානුෂීය මෙහෙයුම්වලට දේශපාලන නායකත්වය නොදී ඉන්න බැරි වුනා කිව්වොත් නිවැරදියි. 

අද ආණ්ඩුව යම් ප්‍රමාණයකට මහින්ද විසිනුත් මෙහෙයවන බව පැහැදිලියි. එය නොවිය යුත්තක්. සමහර  විට ජනමාධ්‍යවේදීන් අමාත්‍ය මණ්ඩලය මහින්දගෙත් ප්‍රධානත්වයෙන් රැස්වෙන බව නිගමනය කරන්නෙ මහින්ද අදත් ආණ්ඩුව යම් ප්‍රමාණයකට මෙහෙයවන නිසා වෙන්න ඕන. මේ තත්වය ඉතාමත් අසතුටුදායකයි. මහින්ද ජනප්‍රියවාදියෙක්. ඔහු තමාට උදවු උපකාර කළ අයට සලකන්න මැළිවෙන්නෙ නැහැ. අපට කලකට නොලැබෙණ අවස්ථාවක් ලැබිල තියෙන්නෙ උදවු කළ අය රැක බලාගන්න නො වෙයි.   

ආණ්ඩුව පහුගිය මාසෙ ගත්ත තීරණ සමහරක් දේශීය කෘෂිකර්මය දියුණු කරන්න නො වෙයි. පාන් පිටි මිල අඩු කළෙ අහවල් දේකට ද? හාල් මිල පාලනය කර ගන්න බැරි හින්ද ද? එහෙම නැත්නම් උදවු උපකාර කළ ව්‍යාපාරිකයනට කළ ගුණ සැලකීමට ද? අප ඊනියා ප්‍රායෝගික දේශපාලනය දන්නෙ නැහැ කියල කවුරු හරි කියන්න පුළුවන්. ප්‍රායෝගික දේශපාලනය කියන්නෙ ඇතැම් පුද්ගලයන් සතුටු කිරීම නො වෙයි. හාල් තොග මිල තවත් අඩු කරන්න බැරි ද? වී හාල් කිරීමේ දී මෝල් හිමියන් ලබන ලාභය අඩු කර එහි වාසිය බත් කන්නන්ට ලබා දෙන්න ඕන. 

දේශීය කෘෂිකර්ම දියුණු කිරීම ජාතික ජනාධිපතිගේ වග කීම වෙන්න ඕන. ඔහු පක්‍ෂයක සාමාජිකයකු නො වෙයි. ඔහු ඉදිරිපත් වූයේ ජාතික අපේක්‍ෂකයා ලෙස. අද ඔහු ජාතික ජනාධිපති. ඔහුට ජනප්‍රියවාදී දේශපාලනයේ යෙදෙන්නට වුවමනාවක් නැහැ. පාන් පිටි ගෙන්නන්ටවත් වී මෝල් හිමියන්ටවත් යට වෙන්න ඔහුට අවශ්‍ය නැහැ. කෙටියෙන් කියනවා නම් ගෝඨාභය මහින්දට යට වෙන්න අවශ්‍ය නැහැ. 2015 දී පැරදුණෙ මහින්දගෙ ජනප්‍රියවාදී දේශපාලනය බව අමතක නොකළ යුතුයි. 

එක රැයින් කෘෂිරසායන ගෙන්වීම තහනම් කළ යුතු යැයි මා කියන්නේ නැහැ. එහෙත් කෘෂි රසායනයෙන් මිදෙන්න අප වැඩ පිළිවෙළක් ආරම්භ කරන්න ඕන. කෘෂිරසායනික වී ගොවිතැන නිසා මෙරට ගොවියන්ට අර බටහිර වෛද්‍ය විද්‍යාවට තවමත් හේතුව හඳුනාගැනීමට නොහැකි වකුගඩු රෝගය වැළඳුනා. චන්න ජයසුමනට ආරංචි වෙලා තිබුණා කාම්බෝජයේ වී ගොවි තැනෙහි යෙදෙන්නන්ට ද අර වකුගඩු රෝගය වැළඳිලා කියලා. පහුගිය දා එහි ගිය මට ඒ බව ඒ වැසියන්ගෙන් ම දැනගන්න ලැබුණා.

කාම්බෝජයේත් ඇත්තේ ථෙරවාදය. එරටට පමණක් නොව මියන්මාරය ඇතුළු අනෙක් ථෙරවාද රටවල් හතරට ථෙරවාදය ගිහින් තියෙන්නෙ ලංකාවෙන්. එය දොළොස්වැනි සියවසේ පමණ සිට පහළොස්වැනි සියවස පමණ දක්වා කෙරී ගෙන ගොස් තියෙනවා. සිංහල අවුරුද්දත් ඒ රටවල පැවැත්වෙනවා. සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතිය ඒ රටවලට ගිහින් තියෙනවා. ඒත් අප ඒ සඳහා ඔවුන් යටත් කර ගත්තේ නැහැ. 

අද බටහිර රටවල් මෙන් ම ඉන්දියාවත් සෞදි අරාබියත් බලා ඉන්නෙ ථෙරවාද සංස්කෘතිය නැති කරන්න. නිර්මාණවාදී දැනුම් පද්ධතීන්ට (බටහිර විද්‍යාව ද ඇතුළු) එකම අභියෝගය  සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියයි. මියන්මාරය වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි. බටහිර රටවල් අවුන් සාං සුකීට එරෙහිව ගැම්බියාව කියන රට යොදා ගන්නවා. එක්සත් ජාතින් අපට එහි දී ආධාර කරන එකක් නැහැ. මියන්මාරය වෙනුවෙන් අප කොන්දේසි විරහිත ව පෙනී ඉන්න ඕන. ඒත් ජනමාධ්‍යවේදී පඬියන්ට ඒ බවක් තේරෙන්නේ නැහැ. ඔවුන් බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගෙන් චම්පක ගැන ඇහුවෙ එබැවිනුයි. 

අද බටහිරයන් ථෙරවාදී සංස්කෘතීන් නැති කිරීමට වී ගොවිතැන කඩා කප්පල් කිරීම සඳහා කෘෂිරසායනය යෙදා ගන්නවා ද? ඔය ඊනියා හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනය බව අප පෙන්වා දී බොහෝ කල්. අප ඒ බව දැන ගත්තේ නාථ දේව මණ්ඩලයෙන්. අදත් පඬියන් ඒ ගැන අපට හිනා වෙනවා. ඒත් අවුරුදු දහයකටත් වඩා කල් ගත වීත් බටහිර වෛද්‍ය විද්‍යාවට කියන්න පුළුවන් ඊනියා හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය කියා පමණයි.

ආණ්ඩුව කෘෂිරසායනය වෙනුවට සිංහල ගොවිකම ගොවියන්ට පුරුදු කරන්න ඕන. අවශ්‍ය වන්නේ පිටි බද්ද අඩු කිරීම නොව දන්න මිනිසුන්ගෙන් සිංහල ගොවිකම ගැන දැන ගැනීමයි. කාම්බෝජයේත් වැව් තියෙනවා. ඒ වැව් නවවැනි සියවසෙන් පමණ පසුව තැනී තියෙන්නෙ. ලංකාව එක් කාලයක මේ කලාපයේ සංස්කෘතික නායකත්වයට පත් වී තිබෙනවා. අපට නැවතත් ඒ කාර්යභාරයට උර දෙන්න වෙලා. ඉතිහාසයේ අපේ කාර්යභාරය වී ඇත්තේ ථෙරවාද සංස්කෘතිය රැක ගැනීම. ගැමුණු රජු වැඩ කෙළේ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා. ඒ වී ගොවිතැන මුල් කර ගත් ථෙරවාදී සංස්කෘතියයි. බටහිරයන්ට ප්‍රශ්නය ථෙරවාදය මිස ත්‍රිකුණාමල වරාය ඇත්තේ කාගේ භරයේ ද යන්න නො වෙයි. දෙමළ ජාතිවාදය, පොල් පොට්, විජේවීර, ථෙරවාද බෞද්ධ සංස්කෘතියට විරුද්ධව නිර්මාණය කළ සංසිිද්ධි. ගෝඨාභයට හිමි වී ඇත්තේ සුළු පටු කාර්යයක් නො වෙයි. අප වහා ජනප්‍රියවාදී දේශපාලනයෙන් මිදෙන්න ඕන.