Main Logo

Wednesday 18 December 2019

පොහොට්ටු උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරමු


                                                            
       සිංහල ලිත් ඉලක්කම්


                                           

පොහොට්ටු උද්ධච්ඡයන්ගෙන් ගෝඨාභය ආරක්‍ෂා කරමු



ඒ ගමන විද්වතුන් කියන කොටසකුත් කියල වාසනාවන්ත පොහොට්ටුව ලකුණෙන් ම මහා මැතිවරණය තරග කරන්න ඕනෙ කියලා. විද්වතුන් වාසනාව ගැන විශ්වාස කරනව කියල මා දැන හිටියෙ නැහැ. මා නම් විද්වතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මට තියෙන ලොකුම ශක්තිය එයයි. මා තර්කය ගැනවත් විශ්වාස කරන්නෙ නැහැ. මා තර්ක කරන බව ඇත්ත. ඒත් ඇත්ත කියල දෙයක් නැහැ. මා බෞද්ධයෙක්. බුදුහාමුදුරුවො කාළාම සූත්‍රයෙහි දේශනා කළේ යමක් තාර්කික වූ නිසාවත් පිළිගන්න එපා කියල. අද ඉන්න බුද්ධිමතුන් උගතුන් කියන අය යමක් තර්කානුකූල නම් පිළිගන්නවා.




ඒත් එතැනදි කරුණු දෙකක් බලපානවා. එකක් ඔය විද්වතුන් කියන්නෙ ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වූ තර්කය වීම. එය නිවැරදිය කියල දන්නෙ කොහොම ද? ලෝකයේ තවත් න්‍යාය තියෙනවා. ඒ න්‍යාය සියල්ල ම, ඇරිස්ටෝටලීය න්‍යාය ද ඇතුළුව කිරල බලන්නෙ කොහොම ද? අපි ඇරිස්ටෝටලීය න්‍යාය තෝරා ගන්නෙ කිනම් න්‍යායක් මත ඉඳලා තර්ක කරලා ද? එ න්‍යාය ඇරිස්ටෝටලීය න්‍යාය ද? එහෙම නම් ඒක විද්වතුන් නොවන ගැමියන්ගෙ බසින් නම් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වැඩක් වෙනවා. විද්වතුන් නොවන සියල්ලන් ම ගැමියන් වන්නෙවත් ගැමියන් නොවන සියල්ලන් ම විද්වතුන් වන්නෙවත් නැහැ. ඕන ම නම් ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වෙලා අර වෙන් රූප සටහනක් ඇඳල බලන්න. මා එහෙම කියන්නෙ කුලකවාදය පිළිගන්න නිසා නො වෙයි. පඬියන්ට වැඩක් දීම සඳහා.



තර්කය ගැන තවත් කතාවක් කියන්න තියෙනවා. ඕනෑම තර්කයක් පටන් ගන්න වෙන්නෙ යම් උපකල්පනයක් මත පදනම් වෙලා.  ඒ උපකල්පනය මත පදනම් වෙලා ඇරිස්ටෝටල්  යොදා ගෙන නිගමනවලට ඒම තමයි කෙරෙන්න. ඇරිස්ටෝටල්ගෙ න්‍යාය හරි කියල හිතමු. එතකොට අර මුල් උපකල්පනය ගැන මොකක් ද කියන්නෙ. ඒක නිවැරදිය කියල සහසුද්දෙන් ම දන්නව ද? ඒක දැන ගන්න සුද්දෙක්ගෙන් අහනවා ද?



අපට අද ඕන කරන්නෙ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් හදල දෙන්න. මා හිතන්නෙ ඔහුටත් ඒක ඕන කියලා. ඔහුට ඕන නැති වුනත් වැඩේ අල්ලල දාන්න මා කැමති නැහැ. ඒක මගේ කැමැත්ත. ඕන නම් හේතු දෙන්න පුළුවන්. ඒත් ඒ හේතුත් හේතු රහිත නැහැ. එහි කෙළවරක් නැහැ. යමකට කැමති නැහැ කියන්නෙත් කැමැත්තක් තමයි. අපි මේ ශක්තිමත් ආණ්ඩු කතාවෙන් පටන් ගනිමු.



ශක්තිමත් ආණ්ඩුවක් වෙන්න ඉස්සෙල්ල ම මන්ත්‍රීවරුන් 113 දෙනකුවත් ඉන්න ඕන. සුළුතර ආණ්ඩු හදන්නත් පුළුවන්. ඒත් ඒවා අස්ථිරයි. කතානායකත් විරුද්ධ පක්‍ෂෙන් පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ විපක්‍ෂය එ ජා ප නිසා. විපක්‍ෂය පොහොට්ටුව හරි ශ්‍රී ල නි ප හරි විපක්‍ෂය වුනොත්        සුළුතර ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න පුළුවන්. එය තර්කයක් නො වෙයි. අත්දැකීමක්. මා අර නිරික්‍ෂණය වගේ වචන පාවිච්චි කරන්න කැමති නැහැ. ඒවා අර විද්‍යාත්මක ව හිතන පඬියන්ගෙ වචන. මට නම්  බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් පමණයි. 2015 ජනවාරියෙ රනිල් පිහිටෙව්වෙ සුළුතර ආණ්ඩුවක්. ඒත් ඊනියා ඒකාබද්ධ විපක්‍ෂෙ ඒ ආණ්ඩුව වට්ටන්න කිසි දෙයක් කෙළේ නැහැ. නිකමට විශ්වාසභංග යෝජනාවකවත් ගෙනාවෙ නැහැ.ජ වි පෙ ගෙනාවෙත් නැහැ.



ඔය පඬියන්ගෙ අවිශ්වාසයට බඳුන් වන මෛත්‍රිපාල 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කෙරුව. ඒත් ඒ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් වුනා. ඒක බහුතර ආණ්ඩුවක් කරන්ම බැසිල් රාජපක්‍ෂ කටයුතු කෙළේ නැහැ. ඔහු රිෂාඩ් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය දුර්වල කරන්න අකමැති වුන බවයි කියැවෙන්නෙ. කොහොම හරි ජ වි පෙ  දුව ගෙන ගිහිල්ල විශ්වාසභංගයක් ගෙනාවා. කතානායක නියම ප්‍රජාතන්ත්‍රවාදිියකු ලෙස විශ්වාසභංගෙ පිළිගත්තා. ඒ දවස්වල ස්විට්සර්ලන්ත තානාපතිත් පාර්ලිමේන්තු  ආව කියල මහින්ද කියා තිබුණා.



2020 මැතිවරණෙන් පස්සෙ පොහොට්ටුව ශ්‍රී ල නි ප නැතිව තරග කරලා සුළුතර ආණ්ඩුවක් හැදුවොත් ඒකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වළක්වන්න බැරි වේවි. ඒත් දැන් තර්කයක් ගෙනේවි ශ්‍රී ල නි පක්‍ෂය නැතිව තරග කළත් පොහොට්ටුවට 113ක් නොවෙයි 150ක්, ඒ කියන්නෙ තුනෙන් දෙකක් ගන්න පුළුවන් කියල. පොහොට්ටුවට පළාත් පාලන ආයතන මැතිවරණයෙදි ලැබුණෙ 40%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. එදා ලැබුණු ඡන්ද මත පදනම් වෙලා දිස්ත්‍රික් විසි දෙකෙ මැතිවරණ ප්‍රතිඵල ගණනය කරල මන්ත්‍රීවරුන් කී දෙනකු පොහොට්ටුවට ලැබේවි ද කියල බලන්න. ශ්‍රී ල නි පක්‍ෂයට හා එ ජ නි සංධානයට මන්ත්‍රීවරුන් කී දෙනකු ලැබේවි ද කියල ගණනය කරල බලන්න. ඒක තර්කයක් නොවෙයි. මා කියනවට ගණනය කරල බලන්න.



අනෙක් අතට ජනාධිපතිවරණයෙදි පොහොට්ටුවට ලැබුණු ඡන්ද මත පදනම් වෙලා මහා මැතිවරණයක දි ලැබෙන මන්ත්‍රි ධුර ගණනය කරල බලන්න.  එය තුනෙන් දෙකට වැඩි වෙනවා ද? අඩු වෙනවා ද? ඒ කුමක් වුවත් පොහොට්ටුවෙ හා ශ්‍රී ල නි පක්‍ෂෙ සියල්ලන් ම එක ම වේදිකාවෙ දකින කොට ඒ ලැබෙන ඡන්ද ගණන අඩුවෙයි ද වැඩිවෙයි ද? ඒක තර්කයකින්වත් ගණනය කිරීමකින්වත් කියන්න පුළුවන් දෙයක් නො වෙයි. සම්භාවිතාවකට යටත් ව තමයි යමක් කියන්න පුළුවන්. . 



දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. ශක්තිමත් ආණ්ඩුවක් කියන්නෙ අඩු තරමෙ 113කවත් ආණ්ඩුවක් නම්, වඩාත් ශක්තිමත් ආණ්ඩුවක් කියන්නෙ 150 ක ආණ්ඩුවක් නම්, ඒ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ ශ්‍රී ල නි ප හා සමහර විට අර ගිවිසුම් අත්සන් කරපු පක්‍ෂ හා සංවිධාන දහහතේ තවත් පක්‍ෂත් නැතිව පොහොට්ටුව තරග කළොත් ද නැත්නම් සියල්ල එකතු වෙලා පුටුවෙන් තරග කළොත් ද? ඒක කරල ම බලන්න ඕන කියල කවුරු හරි කියන්න පුළුවන්. කරල බලන්න ගිහින් 113ත් නැති වුණොත් මොන දෙයියන්ට කියන්න ද?



මට අරය විශ්වාස නැහැ මෙයා විශ්වාස නැහැ කිය කිය ඉඳලා හරියන්නෙ නැහැ. ඇතැම් ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන්ට තර්කත් බැහැ. ඇතැමුන් කියනව ජනාධිපතිවරණෙ දි 70%ක් ඡන්ද ලැබුණෙ නැත්තෙ ශ්‍රී ල නි ප පාවාදීම් නිසා කියල. ජනාධිපතිවරණයෙදි රටෙන් ම 70%ක් පොහොට්ටුවට ලෑබුණෙ නැත්තේ මුළු රටේ ම ඉන්නෙ සිංහලයන් පමණක් නොවන නිසා. මා කාලයට ලියූ ලිපිවල මේ සියල්ල කියලා ඇති. ජනාධිපතිවරණයෙ දි සිංහලයන්ගෙ ඡන්දවලින් නම් 70%ක් පමණ ලැබිල තියෙනවා. සිංහලයන්ගෙ ඡන්ද කියන්නෙ එකක් රටේ ම ඡන්ද කියන්නෙ තවත් එකක්.  සිංහලයන්ගෙ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියපු අයට මා කියන කතා විශ්වාස නැහැ. මා කී කතාවකට අනුව කොහොම හරි මෛත්‍රිපාල විසින් මහින්ද අගමැති කෙරුණා. ඒ නිසා මෛත්‍රිපාල විශ්වාස කරන්න ඕන නැහැ. මට නම් දේශපාලනඥයන් කිසිවකු විශ්වාස කරන්න බැහැ. ඒ කියල මොනව කරන්න ද? සියමෙන් කා හරි ගේනවා ද? එහෙමත් නැත්නම් වංගයෙන් ගේනවා ද? ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලනඥයකු නොවේවා යනු මගේ පැතුමයි.



පොහොට්ටුවේ උද්ධච්ඡයන් ගෝඨාභය රාජපක්‍ෂ ද සාක්‍ෂියට ගෙන අත්සන් කළ ගිවිසුම් පිළිගන්න කැමති නැහැ. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන් කියන්නේ පක්‍ෂ නායකයන් සමග අත්සන් කළ ගිවිසුම් ගැන ඔවුන් වග නොකියන බවත් ඔවුන් සැලකිලිමත් වන්නේ ජනතාව සමග අත්සන් කළ ගිවිසුමක් ගැනත්. මොකක් ද මේ ජනතාව සමග අත්සන් කළ ගිවිසුම. මේවා කාව්‍යොක්ති පමණයි. පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව පොහොට්ටුවට දුන්නේ 40%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ඡන්ද සියල්ල පොහොට්ටුවට ලැබුණු ඡන්ද නොවන බව පමණක් පොහොට්ටු උද්ධච්ඡයන් දන්නවා නම් ඒකවත් රටට හොඳක් වේව්. 



කාලෙකට පස්සෙ තුනෙන් දෙකේ බහුතරයක් ගැනීමේ අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මට පේන විධියට පොහොට්ටුවෙ උද්ධච්ඡයන් අරය ගැන මෙයා ගැන විශ්වාසයක් නැති බව කියමින් ගෝඨාභය රාජපක්‍ෂත් අත්සන් කළ ගිවිසුම් පැත්තකට දමමින් ඒ අවස්ථාව නැති කරන්න උත්සාහ කරනවා. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවකට තුනෙන් දෙකේ බහුතරයක් අරන් දෙන්න කැමති නැති පාටයි. ඔවුන්ගෙන් ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂා කර ගන්න ඕන. ඔවුන්ට තියෙන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ පාවා දිල හරි තම අපේක්‍ෂකත්ව, මන්ත්‍රීකම් ආරක්‍ෂා කර ගැනීමේ වුවමනාව පමණයි.