Main Logo

Tuesday 31 December 2019

රාජිත චම්පක ගානියා හා තවත් දේ

 සිංහල ලිත් ඉලක්කම්


රාජිත චම්පක ගානියා හා තවත් දේ


සජිත් බොහොම බරපතළ දේ ගැන කතා කරනවා. ජනාධිපතිවරණයෙන් පස්සෙ නැතිව හිටපු සජිත්ගෙ ඩයිනමෝව හා එංජිම නැවත ක්‍රියාත්මක වෙනවා වගේ. සජිත් ඒවා ගරාජයට දාලා තියෙන්න ඇති. දෙයියන්ගෙ පිහිටෙන් සජිත්ට හෘදයාබාධ නැහැ. ආතතියකුත් නැති පාටයි. ඔහු තාම තරුණයි. රාජිතට හා චම්පකට වඩා තරුණයි. ඔහු රාජිත හා චම්පක බලන්නත් ගිහින්. මට ඔහුගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ජාතික ගීය දෙමළෙන් ගැයීම ගැන ඔහු මොක ද කියන්නෙ. ඔහුත් හිටි ආණ්ඩුවකින් තමයි 2015 -2019 කාලයෙ ජාතික ගීය දෙමළෙන් ගැයුවෙ. ඔහු එය අනුමත කළ බවයි පේන්න තියෙන්නෙ. බොහෝ දෙනාට මතක නැති වුණාට ජාතික ගීය දෙමළෙන් ගැයීමට ජාතික ව්‍යාපාරයෙ සමහර ගිහි පැවිදි ප්‍රධානීන් ද එකඟ වුණා. 


සජිත්, රාජිත හා චම්පක බලන්න ගිය එක හොඳයි. ඒ දෙන්න ම සිංහයො. මොන සිංහයන් ද කියලා මා කියන්න දන්නෙ නැහැ. බටහිර ජීව විද්‍යාඥයන් කෙසේ වෙතත් සිංහලයන් නම් බලු සිංහයන් ගැන කියනවා. ඒ කොහොම වුණත් ඒ දෙන්නගෙ අසනීප ගැන ප්‍රශ්න තියෙනවා. මට බටහිර වෛද්‍යවරුන් ගැනත් නීතිඥයන් ගැනත් ප්‍රශ්න තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව ගැනත් ප්‍රශ්න තියෙනවා. බටහිර දැනුම ගැන තියෙන ප්‍රශ්න අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැ. 

බටහිර දැනුම වාස්තවික නොවෙයි කියල පෙන්වන ප්‍රධාන ම පිරිස ඒ දැනුමේ පූජකයන්. ඒ කියන්නෙ නීතිඥයන් වෛද්‍යවරුන් ආදීන්. ඔවුන් අතින් වැරදි වෙනවා පුළුවන්. අපි කවුරුත් පෘථග්ජන මිනිසුන්. අපට වරදිනවා. ඒත් බටහිර වෛද්‍යවරුන් නිතරම දෙවැනි මතයක් (සෙකන්ඩ් ඔපීනියන්) ගැන කියනවා. ඒ වරදින හින්දම ද? නීතිඥයන් ගැන කියලා වැඩක් නැහැ. ව්‍යවස්ථාව කී ආකාරයකට අර්ථනිරූපණය කෙරෙනවා ද? 

චම්පකටත් රාජිතටත් විතරක් නොවෙයි ගානියාටත් ඇප දීලා. ඇප දෙනවයි කියන්නෙ නිදොස් කියන එක නො වෙයි. ඒ වගේ ම බටහිර රෝම ලන්දේසි නීතිය අනුව ඔවුන් සදොස් ද නැහැ. අපට විනිශ්චයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න වෙනවා. ඒත් විනිශ්ච කීයක් තියෙනවා ද? මහේස්ත්‍රාත්, දිස්ත්‍රික් ආදී වශයෙන් ගිහිල්ල උපරිමාධිකරණයෙ නවතින්න. ඒ ඒ උසාවිවල තීන්දු වෙනස් වෙන්න පුළුවන්. වාස්තවිකත්වය දන්නෙ යම රජ්ජුරුවො විතරයි. ඒත් පඬියන්ට අනුව යම රජු වාස්තවික නැහැ. පඬියන් යවන්න ඕන යම රජු ළඟට වාස්තවිකත්වය ගැන දැනගන්න. 

රාජිතට හොඳට ම අමාරු පාටයි. ඔහුගෙ පුතා ඒ බව කියන්නෙ හිනහවෙමින්. ඒ ගැන දුක් වුණා කියලා මොනවා කරන්න ද? මුබරක් සියල්ල බලා ගන්නව නොවැ. මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවන් රාජිත බලන්න වැඩිය එක හොඳයි. උන්වහන්සේගේත් රාජිතගේත් ඇසුර බොහොම පරණයි. හාමුදුූරුවො වැඩිය ම මොකද මහින්ද ගියාම මොකද? මහින්ද ඕවට යන්න ඕන නැහැ. අභයාරාමයෙන් අභය ලැබෙනවා. බය නැති වෙනවා. රාජිත සෞඛ්‍ය ඇමතිකම කොයි තරම් හොඳට කරල ද කියනවා නම් ඔහුට රජයේ රෝහල් ගැන විශ්වාසයක් නැහැ. පෞද්ගලික රෝහල් ගැනත් එතරම් විශ්වාසයක් නැහැ. ඒ නිසා නෙ සිංගප්පුරු දුවන්න හදන්නෙ. 

සිංගප්පුරු යන්න වෛද්‍ය සහතියක් ගන්න එච්චර අමාරු වෙන එකක් නැහැ. නරක ද සිංහල වෙද මහතකු ලවා නාඩි පරීක්‍ෂා කර හෘදයාබාධයක් තියෙනව ද නැත් ද කියල දැන ගත්තොත්. සිංගප්පූරුවට යන වෙලාවෙ අනුරාධපුරයට ගිහින් එන්න බැරි කමක් තියෙන්න විධියක් නැහැ.  අවශ්‍ය ම නම් හෙලිකොප්ටරයක් දෙන්න සූදානම් අය ඇති. හැබැයි අපි දන්නෙ නැහැ රාජිත සිංගප්පූරු ගෙනි යන්න අර ස්විට්සර්ලන්ත ගිලන් ගුවන් යානය එවාවි ද කියලා. ඒකට මේ දවස්වල වැඩක් නැතිව ඇති. ගානියාට එච්චර අමාරුවක් නැහැ කියල කියනව නොවැ.  
  
චම්පකටයි රාජිතටයි ඇප ලැබෙන මට්ටමේ චෝදනා දෙකක් ඉදිරිපත් කෙරුවෙ  වෙනත් චෝදනා නැති කමට ද? නීතිපති දෙපාර්තමේන්තුව දන්නවා ඇති. කිඹුල කෑවට කමක් නැහැ කොහිල කටු ඇනෙන එකයි අමාරුව කිවුවලු. කවුරු මොනව කැවත් ගාමිණි දිසානායක කියල තියෙනවා වගේ බල්ලො බලුමස් කන්නෙ නැහැ. බලු සිංහයො කන්නෙ මොනව ද කියල දැනගන්න ගාමිණී දිසානායක දැන් නැහැ. නවීන් දිසානායකවත් දන්නව ද දන්නෙ නැහැ. සජිත් නවීන් ගැන බලා ගනීවි.

රාජිත සිංගප්පුරු යන්න දඟලන්න ඕන නැහැ. ඔන්න ඔහෙ ලංකාවට වෙලා ඉන්න. මොකුත් වෙන එකක් නැහැ. කේසර සිංහයෙක් වගේ ඉන්න. එක්නැලිගොඩ මැරිල කියල කියන්න බැරි නම් චම්පකටවත් රාජිතටවත් වෙනත් අයකුටවත් ප්‍රශ්නයක් නැහැ. මිනීමැරුමක් වෙන්න ඉස්සෙල්ල මැරිල ඉන්න එපයි. එක්නැලිගොඩගෙ විවාහක බිරියට කියන්න පුළුවන් ද ඔහු ඉන්නවා ද නැත් ද කියා. ඇගේ සහතිකයක් උසාවියෙ වලංගු වෙන්නෙ නැහැ. මේවා මහා නීති ගැටළු. ලසන්තගෙ ප්‍රශ්නය නම් ටිකක් අවුල්. ඔහු මැරිල කියල දන්නවා. තාජුඩීනුත් එහෙමයි. ඒත් ඕව ප්‍රශ්න වෙන්න බැහැ.

මේ රෝම  ලන්දේසි නීතිය, බටහිර වෛද්‍ය විද්‍යාව නීතිඥයන් බටහිර වෛද්‍යවරුන් නීිතිපති දෙපාර්තමේන්තුව එක්ක අපට හැරෙන්නවත් බැහැ. ගානියාට විරුද්ධ ව තියෙන චෝදනා මොනවා ද? ඇගේ අම්මාත් දරුවනුත් සිංගප්පුරුවටයි ගිහින් තියෙන්නෙ. ස්විට්සර්ලන්තයට නො වෙයි. නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන් ස්විට්සර්ලන්තයට ගිහින් කියල උසාවියට කියලා අමාරුවෙ වැටිලා. ගමනාන්තය මොකක් ද කියල කියන්නෙ ගියෙ මොකට ද? නීතිපති දෙපාර්තමේන්තුව ඒක දන්නවා ද? සමහර විට රාජිත සිංගප්පූරු යන්න හදන්නෙ ඔවුන් හමු වෙන්නත් එක්ක ද කියල අපි දන්නෙ නැහැ. 

බටහිර ගණිතය නීතියටත් හපන්. ගණිතයෙ හැම දෙයක්ම තිතට ඔප්පු කරන්න ඕන. ඒත් ඒකෙ ඔප්පු කරන කිසිම දෙයක් නැහැ. ඒක එහෙම නම් ඇරිස්ටෝටල් අනුව මේක මෙහෙමයි කියන එක විතරයි බටහිර ගණිතයෙ කෙරෙන්නෙ. කවුරු හරි නැහැයි කියල කියනවා ද? අනේ මගෙ කට.