Main Logo

Tuesday, 3 December 2019

ජනමාධ්‍ය, මහා දවල් හමු වූ ස්ත්‍රිය හා ඈ ගැන දන්නෝ

 සිංහල ලිත් ඉලක්කම්

ජනමාධ්‍ය, මහා දවල් හමු වූ ස්ත්‍රිය හා ඈ ගැන දන්නෝ



මේ ලිපිය ලියන්න ටික වෙලාවකට කලින් කසිකබල් ජනමාධ්‍යයක කසිකබල් ජනමාධ්‍යවේදියකු මට කතා කළා. ඔහු මොකට කතා කළා ද කියාවත් අහන්න මට වුවමනාවක් තිබුණෙ නැහැ. ඔහු ලියා ඇති දේ මා කියවා තිබෙනවා. ඔහුට අනුව මා අප්‍රබුද්ධයෙක්. මෝඩයෙක්. නැති දෙවියන් ඇතැයි කියා හිතන මිථ්‍යාමතධාරියෙක්. ඔහුට අනුව කාලෝ ෆොාන්සේකා බුද්ධිමතෙක්, යථාර්ථවාදියෙක්. සිංහල විරෝධී චිත්‍රපටි අධ්‍යක්‍ෂවරුන් පුළුල් මනසක් ඇති මහා පුරුෂයන්. ඔහු වැඩ කරන්නෙ රජයෙ ජනමාධ්‍යයක. ඔහු තමන් දන්න සීමිත වචනවලින් කියන්න පටන්ගත්තා මට ආදරෙයි කියලත්. මට බයකුත් හිතුණා. ඔහු ප්‍රබුද්ධ සමරිසියකු ද දන්නෙ නැහැ. 


රජයෙ ජනමාධ්‍ය සමග කිසිම සම්බන්ධකමක් නොපැවැත්වීමට මා තීරණය කරලා ඉවරයි. කටුස්සන් මෙන් පාට මාරු කරන ජනමාධ්‍ය ආයතන සමග හරි ජනමාධ්‍යවේදීන් යැයි කියා ගන්නා අය හරි මට අවශ්‍ය නැහැ. කොටින් ම මට කිසිම ජනමාධ්‍යයක් අවශ්‍ය නැහැ. දෙරණ ඊයේ 360 මට දෙනවා කියා එහි ලොක්කකු කියා තිබුණා. මා නැගිටල අහගෙන හිටිය බැරිවෙලාවත් මා සමග සාකච්ඡා කරනවා පෙන්නාවි කියා. එහෙම කිවුව ගමන් ප්‍රබුද්ධයන් හිතනවා මගේ මෝඩකම කියලා. ගෙදර ඉඳන් මැදිරියෙන් විකාශය කරන සජීවි සාකච්ඡාවකට සහභාගි වන්න බැරි බව නොදන්න මෝඩයකු ලෙස ඔවුන් මා හඳුන්වාවි. ඒකට කමක් නැහැ. මා කවදත් කියන දෙයක්, දන්න දෙයක් තමයි මා බුද්ධිමතකුවත් උගතකුවත් නොවන බව. 

ජනමාධ්‍ය මා ඉවත දැමීම ගැන මා සිටියේ තරමක කණස්සලකින්. ජනමාධ්‍ය පමණක් නොව ප්‍රබල දේශපාලනඥයන් හා ජාතික ව්‍යාපාරයෙ ප්‍රබලයනුත් මා ඉවත දැමීම ගැන මට කණාගාටුවක් තිබුණා. ඒත් ජනමාධ්‍යවලට කරන්න බැරි දේ බොහෝමයි. ජනමාධ්‍ය නැතිවත් අදහස් සමාජගත වෙනවා. මා මුහුණු පොත ප්‍රිය කරන්නෙත් නැහැ. එහි ඉන්නෙත් ප්‍රබුද්ධයන්. ඔවුනුත් හිතන්නෙ මා නාථ දෙවියන් පසු පස යන මිථ්‍යා මතධාර්යකු කියා. ඔවුන්ගෙන් සමහරු අති ප්‍රබුද්ධයන්. ඔවුන් විද්‍යාඥයන්. එහෙත් ඔවුන්ගෙ නමින් කිසිම සංකල්පයක් ප්‍රවාදයක් (කතන්දරයක්) නැහැ. සමහර විට ආචාර්ය මහාචාර්යවරු වෙන්න පුළුවන්. මා අවුරුදු පනහකට වැඩි කාලයක් ආචාර්ය මහාචාර්යවරු  ගැන දන්නවා. 

ඔවුන් සමහරකු මට සිරිජාතිකවාදියා කීවා. මෛත්‍රිපාලට ශක්තිය ලබා දෙන්න මයිලෝ අරන් දෙන්න කිවුවා. 2018 ඔක්තොම්බර් 26 ආණ්ඩුව අවුරුද්දකට පස්සෙ අද ස්ථිර ආණ්ඩුවක් වෙලා. එය එක ම ප්‍රවාහයක්. ඒ සඳහා අවස්ථාව උදා වුනෙ ජනමාධ්‍ය මගින් නො වෙයි. අදහස් සමාජයට යන්නෙ කොහොමද කියන එක ගැන ප්‍රවාදයක් (කතන්දරයක්) නැහැ. ඊයේ 360 බලන විට එරාන් වික්‍රමරත්න කියන්න හැදුවෙ ඇතැම් ජනමාධ්‍ය පක්‍ෂග්‍රාහිව වැඩ කළ බව. ජනමාධ්‍ය ජනමතය වෙනස් කළාය කියා ඔහු කිවුවෙ නැති ටික විතරයි. සමාජය නිසා ජනමාධ්‍ය වෙනස් වන්නත් පුළුවන්. මා දැන් දන්නවා  ජනමාධ්‍ය නැතිවාට අදහස් සමාජයට යන බව. ඒ සඳහා වෙබ් අඩවියක්වත් අවශ්‍ය වන්නෙ නැහැ. සමාජ ආශ්‍රය පමණයි වැදගත්. මට එතරම් සමාජ ආශ්‍රයක් නැති නිසා මා වෙබ් අඩවියක් යොදා ගන්නවා. ටික දෙනකුට විද්‍යුත් තැපෑලෙන් ලියනවා. එහෙත් ඔවුන් බොහෝ දෙනකු ඒ නොකියවන බව මා දන්නවා. අදින් පසු කිසිවකුටවත් විද්‍යුත් තැපැල් ලිපි යවන්නේ නැහැ. අවශ්‍ය නම් කාලය බ්ලොග් අඩවිය කියවන්න.

කොහොමටත් මින් පසු මා ජනමාධ්‍ය ගැන බලාපොරොත්තුවක් නැහැ. ජනමාධ්‍ය නැතත් මට ජීවත් වන්න පුළුවන්. අදහස් සමාජයට යවන්නත් පුළුවන්. අරුණ පුවත්පත පමණක් මගේ ලිපියක් බදාදාට පළ කරනවා. අරුණට හා ලොක්කන්ට අවශ්‍ය නැත්නම් එයත් නවත්වන්න පුළුවන්. වෙන කිසිම සිංහල මාධ්‍ය පුවත්පතකට මා සාකච්ඡාවක්වත් ලබා දෙන්නේ නැහැ. විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙනුත් එසේමයි.  දෙරණට පමණයි සාකච්ඡාවක් ලබා දෙන්නෙ. දෙරණට එපා නම් ඒත් මට ප්‍රශ්නයක් නැහැ. ඔවුනුත් කරන්නෙ වොයිස්කට් හා කට්වොයිස් මාධ්‍ය සංදර්ශන. ජනාධිපතිවරණ කාලෙ දි ඔවුන් මා සම්බන්ධයෙන් කට්වොයිස් ප්‍රතිපත්තියක් අනුගමනය කළා.  මට අද කියන්න ඕන වුනෙ ඔය ටික නොවෙයි.

අර මහදවල් හමු වූ ස්ත්‍රිය ගැන. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල වාසනාවන්ත පැහැර ගැනීමකට ලක් වූ නම නොදන්නා කත ගැන. ආණ්ඩුවක් බලයට පත් වී සතියක් ගත වීමට මත්තෙන් සුදු වෑන් හරි කාර් හරි එවා තානාපති කාර්යාලයක නිලධාරිනියක් පැහැර ගනීවි කියා හිතනවා නම් ඒ ප්‍රබුද්ධයකු ම වන්න ඕන. මා දැක්කා මානව අයිතිවාසිකම් ප්‍රධානී උඩුගම නෝනා පැහැර ගැනීම සම්බන්ධයෙන් අපක්‍ෂපාත පරික්‍ෂණයක් කරන්න කියා තිබෙනවා. මානව අයිතිවාසිකම් අයිතිකරුවන් අයිතිකාරියන් අපක්‍ෂපාත ද කියන ප්‍රශ්නය තියෙනවා. බටහිර මතවාද මානව අයිතිවාසිකම් සංකල්ප ආදිය රික්තයක බිහි වූ දේ නො වෙයි. ඒවාත් යම් සංස්කෘතියක නිර්මාණය කෙරුණු දේ. බටහිර මානව අයිතිවාසිකම් සංකල්ප බටහිරට පක්‍ෂපාතයි. තේරෙන්නෙ නැත්නම් මගේ ලෝකය කියවන්න. ඒකත් තේරෙන්නෙ නැත්නම් කරන්න දෙයක් නැහැ.

එරාන් වික්‍රමරත්න රාජිත සේනාරත්න සියලු විස්තර දන්නවා වගේ. අදාළ නිලධාරිනිය කෙතරම් භීතියට පත් වෙලා ද කියනව නම් ඇයට පොලීසියට කටඋත්තරයක් දෙන්න තබා කතා කරන්නවත් බැරිලු. රාජිත ඒ බව දැන ගත්තෙ කාගෙන් ද? නිලධාරිනිය හා ඇගේ පවුලෙ අය ගිලන් ගුවන් යානයක ස්විට්සර්ලන්තයට පිටත් කරන්න ඕනලු. වික්‍රමරත්න කියනවා ආණ්ඩුවට කිසිවකු පිටරට යන එක නතර කරන්න බැරිලු. ඒක කරන්න පුළුවන් අධිකරණයට විතරයිලු. ඒකත් ඇත්ත. දැන් ඇය යන්න හදන්නෙ මෙරට ආගමන විගමන නීති රීතිවලට යටත්ව ද? කටුනායකින් හරි වෙනත් තැනකින් හරි පිටත්වන අයගෙ නම් ගම් සටහන් වෙනවා. සටහන් වෙන්නෙ නැත්තෙ හොරෙන් රටින් පිටව යන අයගෙ නම්. ඉස්සර කොටි ත්‍රස්තවාදියො එහෙම කළා. මැයත් ත්‍රස්තවාදිනියක් ද? නැත්නම් ත්‍රස්තවාදීන්ට හිතවත් අයෙක් ද? නම කියන්න මෙච්චර අමාරු මොක ද? ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කරන්න හදන්නෙ ඒ නිලධාරිනිය ව හොරෙන් රටෙන් පන්නන්න. ඒත් නිල වශයෙන්! 

හොරෙන් පන්නන්න ඔච්චර ඕන කමක් තියෙනවා නම් බෝට්ටුවක යවන එක නෙ තියෙන්නෙ. එතකොට කියාවි ඇය දුස්සාධ්‍ය හරි ස්විට්සර්ලන්තය ඊනියා ජාත්‍යන්තර නීති රීතිවලට ගරු කරනවා කියා. මොන නීතියෙ යටතෙ වුනත් රජයට අයිතියක් තියෙනවා රටෙන් යන අයකුගෙ නම ගම දැන ගන්න. එහෙම නොදන්වා යන්න මානව අයිතියක් තියෙනවද කියල දීපිකා නෝනගෙනුයි වික්‍රමරත්න හිටපු පාස්ටර්තුමාගෙනුයි දැන ගන්න කැමතියි. මොරටුවෙ සිංහල කතෝලික ජනතාවත් හිටපු පාස්ටර්තුමාට කැමති නැති පාටයි.