Main Logo

Tuesday 24 December 2019

නත්තල් පණිවුඩයක් නොවේ

   සිංහල ලිත් ඉලක්කම් 


නත්තල් පණිවුඩයක් නොවේ




හෙට සමහරුන්ට නත්තල්. තවත් සමහරුන්ට හැමදා ම නත්තල්. කතෝලිකයන් මෙන් ම විවිධ ක්‍රිස්තියානින් ද නත්තල සමරනවා. ඒත් ලංකාවෙ කතෝලිකයන්ට නම් හෙට නත්තල් තියෙන එකක් නැහැ. පාස්කු ප්‍රහාරයෙන් මාස අටකට පසුව හෙට නත්තල උදා වෙන්නෙ. පාස්කු ප්‍රහාරය ගැන කොමිසමක් දැන් සාක්‍ෂි සටහන් කර ගන්නවා. ඒ ගැන පසුව කතා කරමු. එහෙත් පාස්කු ප්‍රහාරය එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මැරීමට කළ උත්සාහයක් බව මා ඒ දිනවල ම කිවුවා. ඒ එක් කරුණක් පමණක් මතක් කරන්න ඕන.


පාස්කු ප්‍රහාරය ලංකාවෙ සිංහල කතෝලිකයන්ට මෙන් ම සිංහල බෞද්ධයනට ද එල්ල කරන ලද පහරක්. ප්‍රහාරකයන්, බටහිරයන් හා සෞදිය බලාපොරොත්තු වුනෙ සිංහලයන් මුස්ලිමුන්ට පහර දේවි කියලා. ඒත් ඒක එහෙම වුනෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුනෙ සිංහලයන්ට විරුද්ධ ව ඊනියා ජාත්‍යන්තරයෙ ජනමතයක් ඇති කරන්න. සිංහලයන් ප්‍රකෝප වුනෙ නැහැ. අදටත් ඒ පවුල් විශේෂයෙන් ම සිංහල කතෝලිකයන් තම ඥාතීන් සිහි කරමින් කඳුළු හෙලනවා.  

නත්තල උත්පත්ති කතාවක් වුනත් සූර්යයා හා සම්බන්ධයි. මේ මිත්‍ර (සූර්ය) දෙවියන් පිළිබඳ ව. සූර්යයා දකුණට ගොස් ආපසු හැරෙන්නෙ දෙසැම්බර් 21 වැනි දා. ඒ දවස්වල විසිපහ කියල හිතන්න ඇති. කෙසේ වෙතත් කිතුණුවන් විශ්වාස කරනවා ජේසුතුමා උපන්නෙ දෙසැම්බර් 25 වැනි දා කියලා. අපිත් එය විශ්වාස කරමු. ආගම්වලට ජනවර්ගවලට කතා අවශ්‍යයි. එහෙත් කතාවල යම් සංගත බවක් තියෙන්න ඕන. 

එක් කලෙක බටහිර ලෝකයෙ ආධිපත්‍යය දැරුවෙ පාප් වහන්සේ. කතෝලික පල්ලියට එදා විශාල බලයක් තිබුණා. පාප් වහන්සේ පෘතුගීසීන්ට හා ස්පාඤ්ඤයන්ට ලෝකය බෙදල දුන්නා. පෘතුගීසීන් ආසියාවට ආවෙ ඒ අනුව. ඔවුන් 1506 දී ලංකාවට පැමිණි බව සඳහන් වෙනවා. මෙරටට කතෝලික ආගම ලැබුණෙ පෘතුගීසීන්ගෙන්. මා දන්නවා කවුරු හරි නෙස්ටෝරියන් කුරුසෙ මතක් කරන්න ඉඩ තියෙනවා. ඒත් මෙරට කතෝලික ආගමක් සංස්ථාවක් හැටියට තිබුණ කියල ඒකෙන් කියැවෙන්නෙ නැහැ. 

අද වන විට කතෝලික පල්ලියටවත් පාප් වහන්සේටවත් එදා තිබුණු බලය නැහැ. කතෝලික චින්තනය වෙනුවට අද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෝක ආධිපත්‍ය දරණවා. කතෝලික චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි  චින්තනයට වඩා සිංහල බෞද්ධ චින්තනයට සමීපයි. කතෝලික චින්තනයෙ න්‍යාය ත්‍රිකෝටික න්‍යායයි. ග්‍රීක ක්‍රිස්තියානි යුදෙවු චින්තනයෙ න්‍යාය ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය. තෝමස් ඇක්වයිනාස් පියතුමා කතෝලික චින්තනය ඇරිස්ටෝටල් සමග එකඟ කරන්න අසාර්ථක උත්සාහයක් දැරූ බවයි මගේ මතය. පසු කාලෙක මාටින් ලූතර් දේවගැතිතුමා  ඇරිස්ටෝටල් ළඟ ම නැවතුණා. ඒ සමග ක්‍රිස්තියානිය උපන්නා. 

කතෝලික චින්තනය ත්‍රිකෝටික නිසා තමයි දෙවියන් වහන්සේත් උන්වහන්සේගේ පුතණුවනුත් එක් අයකු විය හැක්කේ. මරියතුමිය ගැන විශ්වාස කළ හැක්කේ. ක්‍රිස්තියානි චින්තනයට මරියතුමිය ගෝචර වන්නේ නැහැ. මා කුඩා කල තර්ස්ටන් විදුහලේ තුන්වැනි පංතියේ ඉගෙනුම ලබන විට පංතිභාර ගුරුතුමිය වූයේ කතෝලික මහත්මියක්. ඇය අපට කතෝලික ගීිත කිහිපයකුත් ඉගැන්නුවා. මට බොහෝ දේ අමතකයි. ඒත් මට මතකයි එක් ගීතයක මමත් මළක් නම් පිපී සුවඳ දී ඔබ ලඟ මොකක් ද වෙනවා  වගේ කතාවක් තිබුණා. ඒ මල් පූජා කිරීමක් නොවන බව මට එකලත් වැටහුණා. ඒත් එය මගේ හිතට ඇල්ලුවා. මා ගුරුතුමියට වෙසක් සුබ පැතුමක් යැවුවා. වෙසක් කාඩ් නත්තල් කාඩ් ඇසුරෙන් ඕල්කට්තුමා විසින් බිහිකෙරුණු  බව මා පසු කාලයක දැන ගත්තා.  

බටහිර යුරෝපීය රටවල ක්‍රිස්තියානි ආගම් පැතිර ගියත් ආසියාවේ තරමක් හරි පැතිර ගියේ කතෝලික ආගමයි. එයට හේතුව චින්තනමය සමීප බව කියා මට හිතෙනවා. අද කතෝලික නොවෙයි යුරෝපීය ක්‍රිස්තියානි නිකයනුත් බල රහිිත වෙමින් පවතිනවා. අද බෝර්න් අගේන් ආදී විවිධ ක්‍රිස්තියානි නිකායන් කතෝලික ආගමට ද තර්ජනයක් වෙමින් අපේ රටවල පැතිරෙනවා. ලංකාවේත් තත්වය එසේමයි. 

බෝන් අගේන් චින්තනය අපේ ආසියාතික චින්තනවලට සමීප බවක් නැහැ. එහෙත් අද අපේ සංස්කෘතික බැමි එකින් එක ලිහා දැමෙනවා. අද ඇත්තේ විකිණීම හා ගැනීම මුල් කර ගත් සංස්කෘතියක්. එය කතෝලිකවත් බෞද්ධවත් හින්දුවත් නො වෙයි. බෝන් අගේන් පැතිර යන්නේ වාසිය බලය ආදිය මත පදනම් ව. මා කලින් ලිපියක කියා ඇති අද එ ජා පක්‍ෂයේ ඇත්තේ බෝන් අගේන් හා ඇංග්ලිකන් ක්‍රිස්තියානිය අතර ගැටුමක් කියා. 

ඒ ගැටුම රනිල්ට අවාසිදායක ව ක්‍රියාත්මක වන බවක් පේනවා. මේ සංස්කෘතික බැමි ලිහා දැමීම මහා පරිමාණයෙන් ඇරඹුවේ ජේ ආර් ජයවර්ධන. එහෙත් ඔහු හිතන්න නැතිව ඇති එය මේ ආකාරයෙන් වර්ධනය වී රනිල්ට ප්‍රශ්නයක් වන බව. රනිල්ට එංගලන්තයෙන් ආධාරයක් ලබා ගැනීමට හැකි වේය කියා හිතන්න අමාරුයි. 

නත්තලට පණිවුඩයක් නිකුත් කරන්න මා ජනාධිපතිවත් අගමැතිවත් විපක්‍ෂ නායකවත් තබා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුවත් නො වෙයි. ඒත් මේ සංස්කෘතික බැමි ලිහීමට විරුද්ධ ව ආගමික භේදයෙන් තොර ව සියල්ලන් එකතු විය යුතු ය කියා මට හිතෙනවා. එසේ නොවුණහොත් අම්මා තාත්තා හඳුනන්නේ නැති සමාජයක් බිහි වේවි. මෙරට සම්ප්‍රදාය අනුව මෙහි දීත් මහා සංඝයා වහන්සේ පෙරමුණ ගන්න ඕන. සිංහල කතෝලිකයන්ට ද අනෙක් අයට ද මග පෙන්විය හැක්කේ සිංහල බෞද්ධයනට. සිංහල බෞද්ධ ධජය සෙවණේ ඒ අයට ආරක්‍ෂාවක් තියේවි.