Main Logo

Sunday 11 August 2019

පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්


    සිංහල ලිත් ඉලක්කම්


පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්




අද පැවැත්වෙන පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට සුබ පතනවා. ඒ එය පොදු ජනයාගේ, සිංහල පොදු ජනයාගේ පක්‍ෂයක් නිසා මිස පුද්ගලයකුගේ පක්‍ෂයක් නිසා නොවෙයි. පුද්ගලයකු පක්‍ෂය නිර්මාණය කළා නම් ඒ දිනේෂ් ගුණවර්ධන  බව මා කියනවා. ඇතැමුන් පක්‍ෂයත් ගෝඨාභයත් තමන්ගේ බවට පත් කර ගන්න හදනවා. එයට ඉඩ නොදිය යුතුයි. මේ පක්‍ෂය නිර්මාණය කෙරුණේ ජනතාව අතින්. මේ ජනතාව කවුද යන්න පළමුවෙන් හඳුනා ගන්න ඕන. 

මා මේ කියන දේට අද ජාතික සම්මේලනයට එන බහුතරය විරුද්ධ වේවි. ඔවුන් එන්නේ රටටවත් ජාතියටවත් ගෝඨාභයටවත් ඇති පක්‍ෂපාතීත්වයකට නොව තම මන්ත්‍රීකම් අනාගත ඇමතිකම් අඩුම තරමෙන් ප්‍රාදේශිය සභා මන්ත්‍රී ධුරයක් සංස්ථා සභාපතිකමක් ආයතනයක උපදේශක තනතුරක් ආදිය බලා ගෙන. ඔවුන් මා ගැන කියන දේ මට ප්‍රශ්නයක් නො වෙයි. 

සිංහල බෞද්ධ ජනතාව හා මෑතක සිට සිංහල කතෝලික ජනතාවත් ඉන්නේ ජාතිකත්වයක. මා රෝමානු කතෝලික ජනතාව කියා නොව සිංහල කතෝලික ජනතාව කියා කියන්න කැමතියි. කොළඹ විශ්වවිද්‍යාලයේ කතෝලික ශිෂ්‍යයනට මා ඒ බව කියා තිබෙනවා. ඒ ප්‍රසිද්ධියේ ව්‍යවහාරික ගණිත දේශනවල දී. අද කුණු ප්‍රශ්නයට මැදි වී සිටින රොෂාන් ගුණවර්ධනට ඒ බව මතක ඇති. 

සිංහල ජනතාවගේ ප්‍රශ්නය එදා සිට අද දක්වා ම බණ්ඩාරනායක මැතිණිය, දිනේෂ් ගුණවර්ධන වැනි කිහිප දෙනකු හැරුණු කොට ජාතිකත්වයේ දේශපාලන නායකයන් නොමැති වීම. බණ්ඩාරනායක මැතිණිය සිංහලයන්ට සිටි ජාතිකත්වයේ රාජ්‍ය නායක/නායිකාවයි. ශ්‍රී ල නි පක්‍ෂය එදා ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය වූවා. එය නොරිස්සූ බටහිරයන් රාජිත සේනාරත්න, වික්ටර් අයිවන් වැන්නන් චන්ද්‍රිකා මෙරටට ආනයනය කළා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය ගැනීමට. ඒ සිංහල බෞද්ධ විරෝධීන්ට අවුරුදු දහහතක එ ජා පක්‍ෂ පාලනය චන්ද්‍රිකා ආනයනයට උදව්වක් වුණා. චන්ද්‍රිකා පැමිණීමට පෙර සිට ම මා චන්ද්‍රිකාගාමනයට විරුද්ධ වුණා. ඇය සිංහල බෞද්ධ විරෝධී කුමාරතුංග කෙනකු මිස සිංහල බෞද්ධ බණ්ඩාරනායක කෙනකු නොවන බවත් ඇය දෙමළ ජාතිවාදයට කප්පන් දීමට සූදානම් බවත් මා දැන සිටියා. 

චන්ද්‍රිකාටත් කිසිම ජාතිකත්වයක් නැහැ. මා කිසිම ජාතිකත්වයක් නැති කිසිම දේශපාලනඥයකුට කිසිම පක්‍ෂපාතීත්වයක් නැහැ. එදා ම එ පෙරමුණත් යම් හේතුවක් නිසා චන්ද්‍රිකාට විරුද්ධ ව 1994 පාර්ලිමේන්තු මැතිවරණයේ දී වෙන ම තරග කළා. මා ම එ පෙරමුණු සාමාජිකයකු නොවූවත් ඒ පක්‍ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කළා. චන්ද්‍රිකා ගැන අවබෝධයක් නැතිව සිටි මහජනයා මා පරාජයට පත් කළා. මට මනාප පන්දහසක් පමණයි ලැබුණේ. 

චන්ද්‍රිකා බලයට පත් වී ටික දවසකින් ම ඇය සිංහල බෞද්ධ විරෝධී සැපින්නක් බව ප්‍රදර්ශනය කළා. ඇය වටා චම්පකලා ද සහාය දුන් මංගල, ජී එල් පීරිස් ආදීන් සිිටියා. ජී එල් පීරිස් එදත් අදත් සිංහල විරෝධියෙක්. මා ඔහූට විරුද්ධ වන්නේ ඔහු මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස් කළ නිසා බව ඇතැමුන් කියනවා. මා ඔහුට විරුද්ධ වන්නේ එවැනි පෞද්ගලික හේතුවක් නිසා නොව ඔහු ජාතිකත්වයට විරුද්ධ නිසා. ඔහුගේ සීයලාගේ බෞද්ධකම නිසා ඔහු විසාකා විද්‍යාලයේ භාරකාර මණ්ඩලයේ සාමාජිකත්වයක් දරනවා වෙන්න පුළුවන්. එහෙත් ඔහුට ජාතිකත්වයක් නැහැ. ඔහු අද පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි පක්‍ෂය සංධානගත වීමට විරුද්ධ ප්‍රධාන තැනැත්තෙක්. ජාතිකත්වයක් නැති  ජී එල් පොදුජන පෙරමුණේ සභාපති කර ඇත්තේ නිකම් නො වෙයි. පොදුජන පෙරමුණ ශ්‍රී ල නි පක්‍ෂයත් අනෙක් ජාතික හා වාම කේන්ද්‍රීය පක්‍ෂ සමගත් සංධාන ගත වීම අත්‍යවශ්‍යයි. 

සිංහලයන් ජාතිකත්වයක සිටියත් ඔවුන්ගේ නායකයන් යැයි කියන්නන් බොහෝ දෙනා ජාතිකත්වයට විරුද්ධයි. ඔවුන් ඊනියා ස්මාට් ජාතිකවාදීන් වෙන්න පුළුවන්. ඔවුන් ඊනියා බහු සංස්කෘතිකවාදීන්. මේ බහුබුත සංකල්පය ගැන මා කොතෙකුත් ලියා ඇති. එහෙත් විචාරශීලී නොවන හැඟීම් මත තීරණ ගන්නා සිංහල බෞද්ධයනට මා ලියා ඇති දේ තේරුම් ගන්න අවශ්‍යතාවක් නැහැ. සිංහලයන් අද බලන් ඉන්නේ වොයිස්කට් කතාවකින් ඊනියා නැගලා යන ප්‍රකාශයක් අහන්න පමණයි. චම්පක සිංහල බෞද්ධ ජාතිකත්වය ගසා කා පාර්ලිමේන්තුවට හාමුදුරුවරුන් වැඩම කරවා මෙරට සාම්ප්‍රදායික භික්‍ෂු දේශපාලනය කණපිට හැරෙව්වා. අංක එකේ අවස්ථාවාදියකු වූ ඔහු භික්‍ෂූන් වහනසේට තිබූ ගෞරවය යම් පමණකට නමුත් නැති කිරීමට කටයුතු කළා. 

මේ කතාව කෙටි කරන්න වෙනවා. 2005 දී බලයට පත් වීමෙන් පසු මහින්දට කොටි පරාජය කිරීමට තීරණයක් ගන්න වුණා. විශේෂයෙන් ම ගෝඨාභය එහි දී දැඩි ස්ථාවරයක සිටියා. එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඉන්දියාව මහින්ද පාලනය කිරීමට උත්සාහ කළා. ඒ උත්සාහය 13 + යෝජනාවලත් ඊනියා උගත් පාඩම් හා සංහිඳියා කමිටුවේත් දකින්න පුුළුවන්. එහෙත් ජාතික බලවේගවලට පුළුවන් වුණා මහින්ද ආපසු හරවන්න. ඉන්පසු ඉන්දියාව ඔහුට විරුද්ධ ව වැඩ කරන්න පටන් ගත්තා. විවිධ කලකිරීම් නිසා ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටියා. ඉන්දියාව තම ඒජන්තයන් මගින් ඔවුන් අතරින් වඩාත් ම සුදුස්සා වූ මෛත්‍රිපාල අල්ලා ගත්තා. ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මේ මෛත්‍රිපාලලාට ආණ්ඩුව කලකිරවූවන් මිස  අන් කවරකුවත් නො වෙයි.  2015 දී මහින්ද පැරදුණේ ශ්‍රී ල නි පක්‍ෂයට සිංහල බෞද්ධ ඡන්ද අහිමිවීම නිසා. මේ සම්බන්ධ විශ්ලේෂණයක් මා නම නොදන්නා තරුණයකු කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තරයක් මොරටුව විශ්වවිද්‍යාලයේ සම්මානිත කාර්මික ඉංජිනේරු මහාචාර්ය පී ඒ ද සිල්වා කලකට පෙර පුවත්පතක (අයිලන්ඩ් වෙන්න පුළුවන්) පළ කළා. මහින්දට වැඩියෙන් ම ඡන්ද අහිමි වුණේ කොළඹ අවට සිංහල බෞද්ධ ප්‍රදේශවලින් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන්. 

සිංහල බෞද්ධ ජාතිකත්වය ඇති යම් පිරිසක් 2015 දී මෛත්‍රිපාලට ඡන්දය දුන්නා. එහෙත් 2015 ජනවාරි නවවැනි දා ම ඔවුන් තමන් කළ වරද තේරුම් ගත්තා. ඔවුන් ආපසු මහින්ද වෙතට එන්න පටන් ගත්තා. ඒ අතර නායකයන් යැයි කියා ගත්තවුන් මෛත්‍රිපාල සමග ඊනියා යහපාලනයට යන්න පටන් ගත්තා. දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ල නි පක්‍ෂ කාර්යාලයට ම ගොස් යම් පිරිසක් රඳවා ගන්න සමත් වුණා. සිංහල බෞද්ධයන් නායකත්ව නොසළකා මැදමූලන ගියා. මහින්ද සුළඟ හමන්න පටන් ගත්තා. දිනේෂ් වාසු විමල් ගම්මන්පිල නුගේගොඩ රැස්වීම සංවිධානය කළා. අද ජාතික සම්මේලනය පවත්වන පොදු ජන පෙරමුණ ඇරඹුණේ එලෙසයි. මා පක්‍ෂ වන්නේ ඒ පොදු ජන පෙරමුණටයි.

තවමත් ජාතිකත්වයේ යම් පිරිසක් මෛත්‍රිපාල සමග ඉන්නවා. ජාතිකත්වයේ සිංහලයන් පක්‍ෂපාතිවන සියළු පක්‍ෂ සංධානගත විය යුතුයි. එයට විරුද්ධ වන්නේ බටහිර නියෝජිතයන් හා ඉන්දීය නියෝජිතයන්. මෝදි ඉන්දියාවේ හින්දි හින්දු ජාතිකත්වය වෙනුවෙන් කටයුතු කරන්නේ කාශ්මීර ප්‍රශ්නය නැවත කරළියට ගෙන එමින්. ඔහු ලඩාක් නමින් බෞද්ධ ප්‍රාන්තයක් ඇති කළේ නැහැ. ඔහු කර ඇත්තේ ජම්මු කාශ්මීර ප්‍රදේශය හින්දු ජම්මු කොටසකටත් මුස්ලිම් කාශ්මීර කොටසකටත් බෞද්ධ ලඩාක් කොටසකටත් කඩා ඒ කොටස් තුන ම මධ්‍යම ආණ්ඩු පාලනයට යටත් කර කාශ්මීරයට වෙන් වීමට අවස්ථාව සලසා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය බල රහිත කිරීමයි. එහෙත් ඔහු ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ වෙනත් ප්‍රතිපත්තියක්. 
  
සිංහලයන් ජාතිකත්වයක ඉන්නවා. එහෙත් ඔවුන්ට හරිහමන් නායකත්වයක් නැහැ. පොදුජන පෙරමුණ වල්මත් වීමට ඉඩ නොදී එයට ජාතිකත්ව නායකත්වයක් සැපයිය යුතුයි. ඒ කාර්යය අද පටන් ගනිමු.