පාස්කු ප්‍රහාරය පිළිබඳ වග කිවයුත්තන් එක්කෝ මළවුන් අතර නැත්නම් අත්අඩංගුවේ කියා ජනාධිපතියි අගමැතියි දෙන්න ම කිව්වත් තවමත් අත්අඩංගුවට ගැනීම් කෙරී ගෙන යනවා. සමහරවිට දැන් අත්අඩංගුවට ගැනෙන්නන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය නොවෙන්න පුළුවන්. ඔවුන් සමහරවිට කාත්තන්කුඩියේ රට ඉඳි ගස් වවන්න ඇති. පොලීසිය ඒ නිසා අත්අඩංගුවට ගත්තා ද කියා දන්නේ නැහැ. කාත්තන්කුඩි පොලීසියට හෝ ත්‍රස්ත විමර්ෂණ ඒකකයට හෝ සහරාන් අත්අඩංගුවට ගන්න බැරි වෙලා තියෙන්නෙ සහරාන් ඔවුන්ගෙ ඇස්වලට වැලි ගහල පැනල ගිය හින්ද කියල තමයි කියැවෙන්නෙ. සහරාන් රට ඉදි ගස් වැව්වෙ නැති වෙන්නත් පුළුවන්.
බෞද්ධ සංස්කෘතියෙ බෝ ගසට නැත්නම් ඇසතු ගසට වැදගත් තැනක් තියෙනවා. සෑම පන්සලක ම පාහේ බෝ ගසක් රෝපණය කර තියෙනවා. පාරෙත් බෝ ගස් තියෙනවා. ඒත් ඒ බෝ ගස් මිනිසුන් නොව බොහෝ විට කපුටන් රෝපණය කළ ගස්. ඇසතු ගස් සංඝමිත්තා තෙරණින් වහන්සේට ප්‍රථමත් ලංකාවෙ තිබුණ ද නැද්ද කියන්න මා දන්නෙ නැහැ. කොහොමටත් ඇසතු ගස් දඹදිව නියෝජනය කරන ගස් නො වෙයි.
ලංකාවෙ සාමාන්‍ය බෞද්ධයන් මෙරට දඹදිවක් කරන්න ගියේ නැහැ. පන්සල්වල බෝ ගස් රෝපණය කෙළෙ ලංකාව දඹදිවක් කිරීමට නො වෙයි. සිංහල බෞද්ධයන්ට ලංකාවෙ තියෙන්නෙ ඔවුන්ට ම ආවේණික සංස්කෘතියක් මිස දඹදිව අනුරුවක් නො වෙයි. මුස්ලිමුන් ඉස්ලාම් ආගම ඇදහීම කාටවත් ප්‍රශ්නයක් නො වෙයි. එහෙත් මුස්ලිමුන් මෙරට අරාබිකරයක්, සෞදි අරාබියක් කරන්න යනවා නම් එතැන ප්‍රශ්නයක් තියෙනවා. කතෝලිකයනුත් කලෙක මීගමුව පුංචි රෝමයක් කරන්න උත්සාහ කළා. දැන් ඒ අත්හැරලා.
සිංහල බෞද්ධ උගතුන් පස්වැනි සියවසෙන් පමණ පසුව සිංහල බස පළමුව මාගධියටත් පසුව සංස්කෘතයටත් යටපත් කර තියෙනවා. බින්තැන්න මහියංගණය වූවා. අපට නැති ව්‍යාකරණයක් අටවනු ලැබුවා. අපට තවමත් ඒ ව්‍යාකරණය දිරව ගන්න බැරි වෙලා. අපේ නිවේදක නිවේදිකාවන් නිතර ම කතෘ කාරකය හා කර්ම කාරකය වරද්ද ගන්නවා. ඔවුන් කියන විධියට නම් වරද්දා ගනු ලබනවා. ඒ ඔවුන්ගේ වරදක් නොවෙයි. ඒ අපේ නොවන ව්‍යාකරණයක් නිසා ඇති වන ප්‍රශ්නයක්.
දේවානම්පිය තිස්ස රජු දෙවැනි අභිෂේකයක් ද ලැබුවා. එහෙත් අශෝක රජුට මෙරට සංස්කෘතික වශයෙන්වත් යටත් කර ගන්න බැරි වුණා. එසේ නමුත් මෙරට උගතුන් පස්වැනි සියවසෙන් පමණ අපට ප්‍රශ්නයක් වී තියෙනවා. පස්වැනි සියවසෙන් පමණ පසුව මෙරට ශාස්ත්‍රීය නිර්මාණ නැවතිලා. එහෙත් ඉන් සියවස් තුනක් පමණ පසුවන තෙක් සීගිරි (සිහිගිරි) ගිය සාමාන්‍ය ජනයා තම බසින් ගී ලිව්වා. සිගිරි චිත්‍ර ඇන්ද සීගිරි ගී ලියූ ජාතියකට සංගීතයක් නැති වුණේ ඇයි? අපට තියෙන්නේ ජන සංගීතය නමින් හැඳින්වෙන සංගීතය පමණ ද? එසේත් නැත්නම් අපට ජන සංගීතය පමණක් ඉතිරි වුණේ ඇයි? හතරවැනි සියවසෙන් පමණ පසුව සංඛ්‍යා ඉලක්කම්වලින් නොලියා අකුරුවලින් පමණක් ලියා ඇත්තේ ඇයි? ශූන්‍යය සඳහා හල් කිරීම යන සංකේතය නිර්මාණය කර ගත් ජාතියක් ගණිතය ඊනියා ගණිතයන්ට පමණක් සීමා කර නැති කර ගත්තේ කෙසේ ද?
මා හිතන්නේ ලංකාව දඹදිවේ අනුරුවක් නොවී බේරුණේ සාමාන්‍ය ජනතාව නිසා බව. ඒ සාමාන්‍ය ජනතාව අතර යම් ප්‍රමාණයක් යක්‍ෂ ජනතාව සිටි බවයි මගේ විශ්වාසය. මුස්ලිම් ජනතාවට එවැනි සාමාන්‍ය ජනතාවක් නැති බවයි පේන්න තියෙන්නෙ. සිංහල සාමාන්‍ය ජනතාව උඩින් පමණක් මෙහෙයවෙන පිරිසක් නොවෙයි. සාමාන්‍ය ජනතාවට උඩ හසුරුවන්නත් පුළුවන්. මෙරට දේශපාලනයේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒ බව දැක ගන්න පුළුවන්. අදත් දේශපාලනඥයන් යම් ප්‍රමාණයකට හරි සාමාන්‍ය ජනතාව අතින් මෙහෙය වෙනවා.
ඒත් දෙමළ කතා කරන ජනයා සහ මුස්ලිම් ජනයා අතර එවැනි ප්‍රවණතාවක් දකින්න නැහැ. ඔවුන්ගේ සාමාන්‍ය ජනතාව මෙහෙයවෙන්නේ දේශපාලනඥයන් අතින්. කාත්තන්කුඩියේ ඉඳි ගස් වවන්නේ මෙරට අරාබියක් බවට පත් කරන්න. අරාබියේ අනුරුවක් බවට පත් කරන්න. ඒ දේශපාලනඥයන්ගේ, නායකයන්ගේ වැඩක්. ඔවුන්ට පුළුවන් නම් මෙරට කාන්තාරයක් කරාවි. ඒත් සාමාන්‍ය මුස්ලිම් ජනයාට නායකයන් අනුගමනය කරනවා හැරෙන්න වෙනත් දෙයක් කරන්න බැහැ. සාමාන්‍ය දෙමළ කතා කරන ජනයාටත් එසේමයි.
එහෙත් අවාසනාවකට අද සාමාන්‍ය සිංහල ජනයා නැතිවේගන යනවා. ඒ ඔවුනුත් ඊනියා උගතුන් වෙමින් ඉන්න නිසා. එකල සාමාන්‍ය ජනතාව නුගතුන් වූ බවක් නොවෙයි මෙයින් කියැවෙන්නේ. එකල සාමාන්‍ය ජනතාවට තමන්ට ආවේණික වූ උගත් කම රැක ගන්න පුළුවන් වුණා. එය එකල සම්මත උගත් කමෙන් වෙනස්. අද අපට අපේ ම වූ උගත්කම නැති වෙන්න ආසන්නයි. අපට ලැබෙන කසිකබල් අධ්‍යාපනය නිසා අප බටහිර උගතුන්ගේ තුට්ටු දෙකේ අනුකාරකයන් වෙලා. මේ සඳහා හොඳ ම උදාහරණය මුහුණු පොත. මුහුණු පොත පරිහරණය කරන්නන් සකර්බරග් දරුවන් වෙලා.
මට මේ ටික ලියන්න හිතුණේ ඊයේ බන්දුල ගුණවර්ධන තම පනස්වැනි පොත ද ඇතුළත් පොත් පහක් නිකුත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයට සහභාගි වීමෙන් පසුව. එ පොත් අතර තිබූ ගණිතය අසමත් පොත ඔහු පිරිනැමුයේ මට. ඒ මා ගණිතය අසමත් නිසා ම නොවෙයි. මාත් එක්තරා මට්ටමකින් පසුව ගණිතය අසමත්. මේ ගැන පසු දිනෙක නොව දින කිහිපයක විස්තර කරන්න ඕන. ඊනියා උගතුන්, ජනමාධ්‍ය හා ජාතික ව්‍යාපාරය විසින් කොන් කෙරී ඇති මට පොතක් පිරිනැමීම ගැන බන්දුලට පින්! උත්සවයේ දී ඒ මට ලබා දුන් මහින්දටත් පින්!