Main Logo

Thursday, 8 August 2019

සිංහල බෞද්ධ රාජ්‍යය හා ඡන්ද

      සිංහල ලිත් ඉලක්කම්




සිංහල බෞද්ධ රාජ්‍යය හා ඡන්ද 


සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවමු යන්න අද වන විට දේශපාලනඥයන් හැරෙන්න අනෙක් බොහෝ සිංහලයන් හා යම් දෙමළ කතා කරන පිරිසක් පිළිගන්නවා. මෙහි දේශපාලනඥයන් යන්නට දේශපාලනඥයන් විසින් මෙහෙයවෙන ජාතික ව්‍යාපාරයේ අය ද ඇතුළත් වෙනවා.  දේශපාලනඥයන්ට ප්‍රශ්නය වී ඇත්තේ ඡන්ද නැති වේවි ද යන්න. සිංහල බෞද්ධ රාජ්‍යයක් ගැන කතා කිරීමෙන් සිංහල බෞද්ධ නොවන ඡන්ද නැති වේවිය කියා ඔවුන් හිතනවා.
 

එහෙත් සිංහල බෞද්ධ රාජ්‍යයක් යනු වත්මන් ක්‍රිස්තියානි රාජ්‍යය වැනි රාජ්‍යයක් නොවන බව ඔවුන්ට වැටහීමක් නැහැ. අඩු තරමෙන් වර්තමානයේ අප ජීවත් වන්නේ ක්‍රිස්තියානි රාජ්‍යයක බව ඔවුන්ට වැටහීමක් නැහැ. සමහරවිට ඔවුන් හිතනවා ඇති වත්මන් රාජ්‍යය අනාගමික කියා. ලෝකයේ කිසිම අනාගමික රාජ්‍යයක් නැහැ. සෑම රාජ්‍යයක් ම යම්කිසි ආගමික සංස්කෘතියක ඇති කෙරී තිබෙන්නේ.  

අද බටහිර රටවල පවතින රාජ්‍ය කතෝලික රාජ්‍ය නො වෙයි. කතෝලික ජනතාව වැඩිපුර වෙසෙන ප්‍රංශය ඉතාලිය වැනි රටවලත් කතෝලික රාජ්‍යය නැහැ. එහි ඇත්තේත් ක්‍රිස්තියානි රාජ්‍ය. මේ ක්‍රිස්තියානි රාජ්‍ය පහළොස්වැනි සියවසේ අගභාගයේ සිට පවතිනවා. මාටින් ලූතර් පියතුමා පාප් වහන්සේට හා කතෝලික පල්ලියට එරෙහි ව තම සුප්‍රසිද්ධ පෝස්ටරය ප්‍රදර්ශනය කෙළේ 1517 දී. ඒ වන විටත් ස්පාඤ්ඤය හා පෘතුගාලය ලෝකය බෙදා ගැනීමේ උත්සාහයක යෙදී සිටියා. ඒ පාප් වහන්සේගේ ආශිර්වාදයෙන්. එහෙත් පහළොස්වැනි සියවසේ අගභාගයේ සිට බටහිර ලෝකය කතෝලික චින්තනයෙන් මිදෙමින් සිටියා. ඔවුන් ග්‍රීක හා යුදෙව් චින්තනවල ආභාසයෙන් නව ක්‍රිස්තියානි චින්තනයක් (ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි) ගොඩ නගමින් සිටියා. 

අදත් බටහිර ඇත්තේ මේ චින්තනයයි. එහෙත් ඒ පදනම් කරගෙන ඇති සංස්කෘතිය වෙනස් වෙනවා. බටහිර රටවල අද ක්‍රිස්තියානි ආගමක් නැතැයි ඇතැමුන් පවසන්නේ අද එහි ඇති ක්‍රිස්තියානිය කතෝලික ආගමෙන් පමණක් නොව රෙපරමාදු ප්‍රතිසංස්කරණයෙන් ද වෙනස් නිසා. එහෙත් දෙවියන් වහන්සේ මිය ගොස් නැහැ. බටහිරයන් පල්ලි යන එක අඩුවෙලා. නමුත් දෙවියන් වහන්සේ හොඳට ම පෞද්ගලිකකරණයට ලක් වෙලා. බටහිර වත්මන් ක්‍රිස්තියානියට අනුව දෙවියන් වහන්සේ දැකීමට පල්ලි යෑම අවශ්‍ය නැහැ.  

මිනිසුන් බෙදෙන්නේ නැත්නම් බෙදන්නේ මේ ක්‍රිස්තියානි සංස්කෘතියෙහි. වෙන් කිරීම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රධාන අංගයක්. විවිධ ජාතීන් විවිධ ජනවර්ග විවිධ ජන කොටස් ඒ සංස්කෘතියෙහි දකින්න පුළුවන්. ඊනියා බහුසංස්කෘතික සංකල්පයත් එහි අංගයක්. එහෙත් බහු සංස්කෘතික වුණත් අධිපති සංස්කෘතියක් තියෙනවා. ඒ ක්‍රිස්තියානි සංස්කෘතියේ යම් ප්‍රභේදයක්. එය ලෝකයේ ම අධිපතිවාදී සංස්කෘතියයි. අපේ රටෙත් ඇත්තේ ක්‍රිස්තියානි රාජ්‍යයක්.  

ඒ ක්‍රිස්තියානි රාජ්‍යය නීතියේ අධිකරණයේ අධ්‍යාපනයේ පරිපාලනයේ ආදී වශයෙන් හැම ක්‍ෂෙත්‍රයක ම දකින්න පුළුවන්. වැඩිය ඕන නැහැ. අප දිනය ලියන්නේ ක්‍රිස්තු වර්ෂවලින්, මාසවලින් දිනවලින්. මුස්ලිම් ලෝකයේ ඇතැම් රටවල පමණක් තම සංස්කෘතිය අනුව දිනය ලියනවා. ක්‍රිස්තු වර්ෂ අද ඊනියා සම්මත වර්ෂ වෙලා. මේ කී වැනි බුද්ධවර්ෂය දැයි කියන්න පුළුවන් කී දෙනකු බෞද්ධයන් අතර ඉන්නවා ද?  

පඬියකු කියන්න බැරි නැහැ එය සරල උදාහරණයක් පමණක් බවත් එයින් අපි ක්‍රිස්තියානි ආධිපත්‍යයකට යටත් බවක් නොකියැවෙන බවත්. එහෙත් අද හැම ක්‍ෂෙත්‍රයක ම ඊනියා සම්මත ගොඩ නැගී තිබෙනවා. ඒ සම්මත සකස් වෙන්නේ බටහිර ලෝකයෙහි. අපට ඒ ඊනියා සම්මතවලින් ඉවත් වන්න දෙන්නේ නැහැ. බුදුදහමත් යුදෙව් බුද්ධිමතුන්ගේ භික්‍ෂූන් වහන්සේගේ මැදිහත් වීමෙන් ඊනියා තාර්කික බුදුදහමක් වෙලා. එහෙත් බුදුන් වහන්සේ කාලාම සූත්‍රයෙහි දේශනා කෙළේ තර්කානුකූල, න්‍යායානුකූල වූ පමණින් පිළිගන්න එපා කියා.  බටහිර න්‍යාය ද්විකෝටික නිසා තත්වය තවත් අවුල් වෙලා. 

1816 දී පමණ අපට මුළුමනින් ම මෙන් නැති වූ සිංහල බෞද්ධ රාජ්‍යයෙහි ඔය වෙන් කිරීම අන්තයකට ගෙන යන්නේ නැහැ. මෙරට සිංහල බෞද්ධ ධජය සෙවණේ විවිධ සංස්කෘතීන්ට එකට ජීවත් වන්න පුළුවන්. මෙරට තිබුණේ එක්සේසත් රාජ්‍යයක්. අප ඇතැම් විට එයට ඒකීය කියා කීවත් එය ඒකීය නොවයි. එය සංධීයවත් නො වෙයි. එය එක්සත් නොවෙයි. එය එක කුඩයක්, ඡත්‍රයක් යට එකතු වීමක්. එසේ එකතු වන්න පුළුවන් සිංහල බෞද්ධ ධජය සෙවණේ එක් කුඩයක් යට.  

අඩු තරමෙන් ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ දේශපාලනඥයන්ටවත් මෙය කියා දීමට හැකි නම් හොඳයි. වෙන් නොවී එක කුඩයක් යට විසීම යනුවෙන් සරල ව මෙය කියන්න පුළුවන්. මා හිතන්නේ කතෝලික ජනතාව අද වන විට ඒ අවබෝධ කරගෙන කියා. දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් කුමක් කීවත් ඇතැම් දෙමළ කතා කරන ජනයාත් ඒ බව අවබෝධ කර ගෙන. අවබෝධ කර ගෙන නැත්තේ සිංහල බෞද්ධ යැයි කියා ගන්නා දේශපාලනඥයන්.  

ඔවුන්ට ඡන්දය හැරෙන්න වෙන කිසිවක් පේන්නේ නැහැ. මේ දේශපාලනඥයන් බොහෝ දෙනකුට ජාතිකත්වයක් නැහැ. ඔවුන් අටපිරීකර බෞද්ධයන් පමණයි. මහානායක හාමුදුරුවරුන්ට අටපිරීකර පූජා කළ පමණින් ජාතිකත්වයක් ඇති බෞද්ධයකු වන්න බැහැ.  

මානව අයිතිවාසිකම් ගැන කතා කළත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙහි අපට ක්‍රිස්තියානි ආධිපත්‍යයෙන් මිදීමට අවසරයක් දෙන්නේ නැහැ. වෙනත් රටවලට තම සංස්කෘතික ආධිපත්‍යය පැටවීම එකක්. තම රටට පැමිණෙන සංක්‍රමණිකයන්ට තම රටේ සංස්කෘතිය අනුගමනය කිරීමට කීම තවත් එකක්. බටහිර රටකට වෙනත් රටකින් යන අයකු ඒ රටේ සංස්කෘතිය අනුව ජීවත් විය යුතු ය යන්න පිළිගන්න පුළුවන්. එහෙත් වෙනත් රටකට බටහිර සංස්කෘතිය අධිපතිවාදී ලෙස පැටවීම පිළිගන්න පුළුවන් පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට හා අනුරූප ස්ත්‍රී ලිංගිකයන්ට පමණයි.