Main Logo

Saturday, 3 August 2019

මුස්ලිමුන් හා නීති

මුස්ලිමුන් හා නීති



නෙදර්ලන්තය බුර්කාව තහනම් කරලා. මුස්ලිමුන්ගෙ මානව අයිතිවාසිකම්වලට මොකද වෙන්නෙ. මෙරට ඇතැම් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් මෑතක සිට නෙදර්ලන්තය සමග සම්බන්ධකම් පවත්වනවා.  ලංකාවෙ බුර්කාව තහනම් කළා නම් ඒ අය රට දෙවනත් කරාවි. පෙළපාලි යාවි. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කරාවි. බැරිද නෙදර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න.


ඒ මදිවට පුටින් කියල මුස්ලිමුන්ට රුසියාවෙ ඉන්න ඕන නම් රුසියාවෙ විධියට ඉන්න කියලා. රුසියන් තානාපති කාර්යාලය ඉදිරිපිටත් උද්ඝෝෂණයක් කරන්න වටිනවා. එක දවසෙ බැරි නම් දවස් දෙකකට කරමු. පුටින් නරක කතාවක් කියලා. මුස්ලිමුන්ට රුසියාව ඕන මිසක් රුසියාවට මුස්ලිමුන් ඕන නැහැ කියල. මුස්ලිමුන්ගෙ ආත්ම ගෞරවයට මොකද වෙන්නෙ. පුටින් පරණ කේජීබී ලොක්ක නිසා ඕනවට වඩා සෙල්ලම් කරන්න හිතන්න එපා. හීන් සීරුවෙ උද්ඝෝෂණයක් කරල ගෙවල්වලට යමු. එතකොට ඉන්දියාව. ඒ ගොල්ලන්ට පුළුවන්ද මුස්ලිම් දික්කසාද නීතිය යොදා ගන්න අයට විරුද්ධ ව නීති හදන්න. ඒ නීතිය ගැන මෙරට උගත් යැයි කියන කාන්තාවන් මොකද කියන්නෙ. ඉන්දියාව හරි ද? ලෝකයේ වඩාත් ම පුරුෂාධිපත්‍යය තියෙන්නෙ මුස්ලිම් සංස්කෘතියෙ ද?  

මේ රටවල් මේ විධියට වැඩ කරන්නෙ ඇයි? රුසියාව බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයෙ රටක් නූනත් ඔවුන්ටත් මුස්ලිම් ව්‍යාප්තවාදය දැනිලා. ඉන්දියාවට මුස්ලිම් ආධිපත්‍යය දැනෙන්නෙ අද ඊයෙ ඉඳලා නොවෙයි. බටහිරයන් මානව හිතවාදීන් මේ සියල්ල ගැන මුකුත් කියන්නෙ නැහැ.  ඒත් බටහිරයන් කියන්නෙ ථෙරවාදී බෞද්ධ රටවල් මුස්ලිම් ව්‍යාප්තවාදය ඉවසන්න ඕන කියලා. බටහිරයන්ට මානව දයාව මතක් වෙන්නෙ ථෙරවාදී බෞද්ධ රටවල. පඬියො ඉදිමන්නෙ බටහිරයන්ගෙ හයියෙන්. ඔවුන්ට තනියම ගත්ත ම කිසිම හයියක් නැහැ.

ලෝකයේ අද තියෙන්නෙ කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කර ගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය නොවෙයි. ඒක තියෙන්නෙ ලෝකයෙ මාක්ස්වාදි පශ්චාත්මාක්ස්වාදී එකී නොකී පඬියන්ගෙ හිස්වල පමණයි. ඒ ටික නැත්තන් පඬියන්ගෙ හිස් හිස් වෙනවා. අද තියෙන්නෙ ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතික ආධිපත්‍යය හා මුස්ලිම් සංස්කෘතික ආධිපත්‍යය අතර සටනක්. එයට අමතර ව බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය සමග රුසියන් ඔතොඩොක්ස් සංස්කෘතියත් චීන සංස්කෘතියත් ගැටෙනවා. රුසියන් ඔතොඩොක්ස් සංස්කෘතිය බටහිර සංස්කෘතිය සමග ගැටෙන නිසා රුසියාව ඒ ගැටුමේ දී මුස්ලිමුන් සමග එකතු වෙන්න ඕන කියල පඬියකු කිව්වොත් ඒ ඔහුගෙ අවසානය වෙන්නත් බැරි නැහැ. ඉන්දියාව කාටත් නොදැනී අපේ කලාපය පුරා හින්දි හින්දු සංස්කෘතික ආධිපත්‍යය පතුරවමින් ඉන්නවා. ඒ ද්‍රවිඩ හින්දු සංස්කෘතියක් නම් නො වෙයි.

ලංකාවෙ අපත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් මිදෙන්න සටන් කරනවා. ථෙරවාද බෞද්ධ සංස්කෘතියට පමණයි බටහිර සංස්කෘතික ආධිත්‍යයට විකල්පයක් ඉදිරිපත් කරන්න පුළුවන. ඒත් ඒ කියල මෙරට බෞද්ධයන් මුස්ලිමුන් සමග බටහිරයන්ට විරුද්ධ ව එකතු වෙන්න ඕන ද? මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තවාදය ඉවසන්න ඕන ද? සිංහල බෞද්ධයන් අනෙක් බොහෝ අයට වඩා ඉවසන එක ඇත්ත. ඒත් ඉවසීමේත් සීමාවක් තියෙනව කියල සිංහල කියමනක් තියෙනවා. ඒ කියන්නෙ සිංහලයන් මුස්ලිමුන්ට විරුද්ධ ව අවි අතට ගන්න ඕන කියන එක නො වෙයි.

අද ලෝකය පුරා තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යය. එය ආර්ථික සංස්කෘතික දේශපාලනික තලවල ක්‍රියාත්මක වෙනවා. මේ ආධිපත්‍යය අප ඉල්ල ගත්ත එකක් නොවෙයි. ඒ අප මත පැටවූ එකක්. මෙරටත් ඇත්තේ මේ ආධිපත්‍යයි. අප ඉන් නිදහස් වෙන්න ඕන. 1506ට කලින් මෙරට තිබුණේ සිංහල බෞද්ධ රාජ්‍යයක්. ඒ රාජ්‍යයේ මුස්ලිමුන් ද දහහතරවැනි සියවසේ පමණ සිට සිටියා. ඔවුන් පැමිණ ඇත්තේ වත්මන් දකුණු ඉන්දියාවේ දෙමළ කතා කරන ප්‍රදේශයකින්. 

අප ඔවුන්ට එන්න කිව්වා නො වෙයි. යම් හේතුවක් නිසා ඔවුන් මෙහි පැමිණ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව රැක ගනිමින් වාසය කර තිබෙනවා. සිංහලයන් ඔවුන්ට බෞද්ධ වෙන්න කිව්වෙ නැහැ. මුස්ලිමුන් පැමිණියෙත් අප යටත් කර ගන්න නොවෙයි. සමහරවිට ඔවුන්ට භාරතයේ තමන් සිටි පෙදෙස්වල කරදර තිබූ නිසා එන්න ඇති. ඒ මුස්ලිමුන්ට පෘතුගීසීන් හිරිහැර කළ බවත් සිංහල බෞද්ධ රජු මුස්ලිමුන් පෘතුගීසීන්ගෙන් බේරා ගෙන නැගෙනහිර පදිංචි කළ බවත් පඬියන් හැර බොහෝ දෙනා දන්නවා.

එහෙත් පසුව මුස්ලිමුන් යම් පිරිසක් ඉංගිරිසින් සමග එකතු වී සිංහල බෞද්ධ සංස්කෘතියට කෙණෙහිළිකම් කළා. 1915 එහි ප්‍රතිඵලයක්. මෑතක සිට මෙරටට මුස්ලිම් අන්තවාදයත් ඇවිත්. බටහිරයන් හා සෞදි අරාබියත් තවත් සමහර මුස්ලිම් රටවලුත්  ඒ පිටුපස ඉන්නවා. මෙරට මුස්ලිම් සංස්කෘතික ආර්ථික දේශපාලනික ව්‍යාප්තවාදයක් වර්ධනය වෙනවා.

එහි දී සිංහලයන් කළ යුත්තේ කුමක් ද? මුස්ලිම් සංස්කෘතියත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයට විරුද්ධ නිසා මුස්ලිමුන් සමග එකතු වී බටහිරට විරුද්ධ ව සටන් කිරීම ද? සතුරාගේ සතුරා අපේ මිතුරා වන්නේ ද්විකෝටික න්‍යායට අනුව. එය එක් පැත්තක්. අනෙක් පැත්තෙන්  බටහිරයන් මුස්ලිම් අන්තවාදය, වහාබ්වාදය ඇතැම් මුස්ලිම් රටවලටත් ථෙරවාදී රටවලටත් චීනයටත් විරුද්ධ ව යොදවනවා. පඬියන් කීවාට අපට මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තවාදය සමග අත්වැල් බැඳ ගන්න බැහැ. අප කළ යුත්තේ බටහිර සංස්කෘතික ආධිපත්‍යයටත් මුස්ලිම් ව්‍යාප්තවාදයටත් විරුද්ධ ව සටන් කිරීම. 

සිංහලයන් නෙදර්ලන්තය මෙන් බුර්කාව නීතියෙන් තහනම් කෙළේ නැහැ. හදිසි නීතිය යටතේ නම් බුර්කාව තහනම් කෙරී තියෙනවා. අප කියා සිටියේ මුස්ලිමුන් ම ඒ ගැන තීරණයක් ගත යුතු ය කියා. අද ඔවුන් තීරණයකට එළඹිලා. බුර්කාව මුස්ලිම් නීතියකින් අනිවාර්ය නොවන බව පැහැදිලියි. අපට දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ බුර්කාව තහනම් කිරීමට නීති පැනවීමට. අද මුස්ලිම් කාන්තාවන් තම විවාහ නීති ගැන කතා කරනවා. විවාහ නීතිය ගැන තීරණ ගැනීම මුස්ලිම් පිරිමින්ගේ හා උලමාවරුන්ට පමණක් අයිති දෙයක් වෙන්න බැහැ. මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න වහාම පියවර ගන්න ඕන.

එහෙත් මෙහි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් මුස්ලිම් නීතිය සංශෝධනය කරන්න වෙන්නෙ ක්‍රිස්තියානි රෝම ලන්දේසි නීතියට අනුව.  සිංහල බෞද්ධ නීතියක් රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ. 1815 ගිිවිසුමෙන් ඉංගිරිසින් සිංහල සිරිත (නීතිය) අනුව රට කරවන්න පොරොන්දු වුණත් එසේ කෙළේ නැහැ. අප සිංහල බෞද්ධ නීති පද්ධතියක් ඇති කර ගන්න කටයුතු කරන්න ඕන. 

දෙවනුව පඬියකු අහන්න බැරි නැහැ මුස්ලිම් සංස්කෘතියට අනුව ගැහැණියට සමාජ තත්වයක් නැත්නම්, තීරණ ගැනීමේ අයිතියක් නැත්නම් අපට මුස්ලිම් කාන්තාවන් කියනවා කියා මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න පුළුවන්ද කියා. අපට මුස්ලිම් නීිති වෙනස් කරන්න පුළුවන් ද කියල අහාවි.  ඔවුන් ඉන්දියාවෙ මෝදිගෙන් නම් ඒ ප්‍රශ්නය අහන එකක් නැහැ. මෝදී මුස්ලිම් දික්කසාද නීතිය වෙනස් කරලා. පඬියන් හා ඔවුන්ගේ ස්වාමිවරුන් වූ බටහිරයන් සිංහලයන්ට පමණක් ප්‍රශ්න එල්ල කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති සහනශීලී ගුණය නිසයි. අප තමයි මුස්ලිමුන්ගෙන් අහන්නෙ අදාළ නීති වෙනස් කරන්න පෙර. ඉන්දියාව, නෙදර්ලන්තය, ප්‍රංශය, රුසියාව මේ කිසිම රටක් එහෙම අහන්නෙ නැහැ. 

අපේ සහනශීලී ගුණය නිසා අපි නීති වෙනස් කරන්න පෙර අහනවා. එහෙත් යම් විධියකින් මුස්ලිමුන් එකඟ වුණෙ නැත්නම් මොකක් ද කරන්නෙ? එය ඉතා පැහැදිලියි. මුස්ලිමුන් මෙරටට පැමිණියේ අපේ ආරාධනයකින් නොවෙයි. ඔවුන් පැමිණියේ තම කැමැත්තෙන්. ඒ නිසා එහි යම් කිසි බැඳීමක් තියෙනවා. ඔවුන් මෙරට නීතිය අනුව කටයුතු කිරීමට බැඳී ඉන්නවා. එය බටහිර ක්‍රිස්තියානි නීතිය වෙන්න පුළුවන්. එහෙත් දැනට පවත්නා නීතිය යටතේ කටයුතු කිරීමට ඔවුන් අවසානයේ දී බැඳී ඉන්නවා. අප රට සිංහල නීතිය අනුව නීති පද්ධතියක් සකස් කර ගන්නා තෙක් මුස්ලිමුන්ට ද දැනට රට පොදුවේ පිළිගන්නා රෝම ලන්දේසි නීතිය අනුව කටයුතු කිරීමට සිදු වෙනවා.