Main Logo

Wednesday 6 May 2020

දුම් හට්ටියේ ප්‍රශ්නය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 



දුම් හට්ටියේ ප්‍රශ්නය



මා මේ ලිපි ලියන්නේ කළකිරීමෙන්. මගේ ඉලක්කය සාමාන්‍ය මිනිසුන්, නූගතුන් කියන අය. එහෙත් ඔවුන්ට මේ ලිපි කියවන්න ලැබෙනවා ද කියන එක ප්‍රශ්නයක්. උගතුන් ලිපි කියෙව්වා කියා සතපහක වැඩක් නැහැ. මේ ලිපිවලට පහර දෙන්නන්ට විරුද්ධ ව මේ උගතුන් වචනයක් ලියන්නේ නැහැ. එහෙත් නූගතුන් කියන අය නම් ලියනවා. මා කියන්නේ මුහුණු පොත ගැන ම නොවෙයි. චින්තන පර්ෂදයේ වැඩ කරන අය මෙහි දී වඩාත් සිහියට නැගෙනවා. ඔවුන් කෙතරම් උගතුන් දැයි කියනවා නම් තමන් චින්තන පර්ෂදයේ සාමාජිකයන් නොවන බව කියනවා. එක් අතකින් ගත් විට එය ඇත්තක්. පසුගිය අවුරුදු තිස්තුනක පමණ කාලයෙහි චින්තන පර්ෂදයෙහි සාමාජිකයන් කියා පිරිසක් හිටියේ නැහැ. කිසිවකු සාමාජික ගාස්තුවක් කියා එකක් ගෙවා නැහැ. අප ලිච්ඡවින් තරමට ම නොවුණත් ඉඳහිට රැස්වෙනවා. තීරණ ගන්නවා. විසිර යනවා.


මා උගතුන් හා නූගතුන් අතර වෙනස දැක්කේ දොරමඬලාවේ කාලෝ ෆොන්සේකා එක්තරා වැඩ සටහනක් අවසානයේ දී මට පිළිතුරක් දීමට ඉඩ නොතබා මා ගැන අවඥා මුඛයෙන් යමක් ප්‍රකාශ කළ දින. මා කාලෝට කෙසේ නමුත් පිළිතුරු දිය යුතුව තිබුණා. එමෙන් ම එය ප්‍රේක්‍ෂකයන් අතරට යැවීමට ද මට අවශ්‍ය වුණා. ඒ නිසා මා නැගිට කතා කළා. ඊනියා උගතුන් කාලෝ මට පිළිතුරු දීමට ඉඩ නොතබා අවසාන තත්පරයේ දී මා ගැන අවඥාවෙන් කතා කිරීම ඉවසුවා. ඔවුන්ට ප්‍රශ්නයක් වූයේ මා නැගිට කතා කිරීම. එහෙත් නූගතුන් යැයි සම්මත අය කියා සිටියේ මා කළ දේ නිවැරදිය කියා. අදත් මට හමුවන ඊනියා නූගත් අය අවුරුදු ගණනාවකට පසුත් මට ඒ ගැන ප්‍රශංසා කරනවා. දොරමඬලාව නම් ඉන් පසු මට දොර වහලා. 

2009 පමණ කාලයේ ආසනික් ප්‍රශ්නය ආවා. නාථ දෙවියන් ගැන කතා කෙරුණා. මා අදටත් හිතන්නේ ඒ නාථ දේව මණ්ඩලයට අයත් අයකු කියා. කෙසේ වෙතත් රජරට වකුගඩු රෝගය නමින් එකල ප්‍රසිද්ධ වූ රෝගයට ඒ දේව මණ්ඩලයෙන් උපදෙස් ලැබුණා. අප දැන ගත්තේ ආසනික් එයට ප්‍රධාන හේතුව කියා. එකල මා කැලණිය විද්‍යා පීඨයේ පීඨාධිපති. මට හැකි වුණා රසායනික විද්‍යා හා උද්භිද විද්‍යා අංශවල කිහිප දෙනකු සහභාගි කර ගෙන ඒ පිළිබඳ ව බටහිර විද්‍යාවට අනුව පර්යේෂණ කරවන්න. චන්න ජයසුමන ආචාර්ය උපාධිය සඳහා ලියා පදිංචි වී අදාළ පරයේෂණ කර ගෙන ගියා. 

අප තෝරාගත් රජරට නියැදිවල ශාකවල, පසෙහි පමණක් නොච සහල්වල ද ආසනික් තිබෙන බව හෙළි වුණා. අප අදාළ කෘමිනාශකවල ද ආසනික් තිබෙන බව පෙන්නුවා. එක් සෙනසුරාදා දිනයක ඒ කෘමිනාශක ආනයනය කරන සමාගම් නියෝජිතයන්ට කැලණිය විශ්වවිද්‍යාලයේ විිද්‍යා පීඨයට පැමිණෙන්න කියා අප ඔවුන් ඉදිරියේ දීම ඒ කෘමිනාශකවල ආසනික් තිබෙන බව පෙන්නුවා.  අපට කරන්න බැරි වුණු එක ම දේ ඒ ප්‍රදේශවල ජලයෙහි ආසනික් ඇති බව පෙන්වීමයි. 

සහල්වල ආසනික් ඇති බව චන්න ජයසුමන විදුසර පුවත්පතෙහි පළ වු ලිපියක සඳහන් කළා. එය එකල ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ කණටත් ගියා. බැසිල් රාජපක්‍ෂත් එය දැන ගත්තා. බැසිල් හිතුවේ අප ප්‍රීමා සමාගමෙන් කොන්ත්‍රාත්තුවක් අර ගෙන පාන් ජනප්‍රිය කිරීම සඳහා සහල්වල ආසනික් තිබෙන බව කියනවා කියා. දිනක් මහින්ද මට එන්නට කියා කීවේ ආසනික් කතාව නිසා අපේ තේ මිල දී ගැනීම මට මතක හැටියට ඉරානය ප්‍රතික්‍ෂෙප කර තිබෙන බවයි. එය නිවැරදි ප්‍රවෘත්තියක් නොවන බව මා දැන ගත්තා. එහෙත් හඩ්සන් සමරසිංහ තම ගුවන් විදුලියෙන් හා කටින් මා ද්‍රෝහියකු බවට පත් කරන්න උත්සාහ කළා. හඩ්සන් කතා කෙළේ වෙනත් අය වෙනුවෙන් බව මා දැන සිටියා. 

ඩිල්කා සමන්මලී මට තුන්සිය හැටක් පළමු වරට දුන්නේත් ඒ දිනවල. මා වංචනිකයකු බව පෙන්වීමට ඇය තැත් කෙළේ මගේ පුතා පිටරට අධ්‍යාපනය ලත් බවට ප්‍රේක්‍ෂකයන්ට ඒත්තු ගැන්වීමට ප්‍රශ්න අසමින්. ඊනියා උගතුන් මා නාථ දෙවියන් පසුපස යන මෝඩයකු බව පෙන්වීමට උත්සාහ කළා. මා හෙළ වෙදකම වෙනුවෙන් පෙනී සිටීම ඊනියා උගතුන්ට හිසරදයක් වුණා. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීම ඔවුන්ගේ සතුටට හේතු වූයේ නැහැ.

සිංහල වෙදකම සිංහල ගොවිකම සිංහල ඉතිහාසය ආදිය වෙනුවෙන් පෙනී සිටීම උගතුන්ට රුචි වූයේ නැහැ. සිංහල වෙදකම කියන්නෙ එකක්, බටහිර වෙදකම කියන්නෙ තවත් එකක්. දත් වෙදමහතකු වූ අමරතුංගට මෙය තේරෙන්නේ නැහැ. ඔහු හිතන්නේ සිංහල වෙදකමෙත් ඊනියා විද්‍යාත්මක ක්‍රමය තියන බව. කැනඩාවේ වාසය කරන චන්ද්‍රසිරි හා ඔහුගේ ගෝලයාත් අමරතුංගත් විදුසරට ලිපි ලිවුවේ බටහිර විද්‍යාවේ ආධිපත්‍යය වෙනුවෙන්. මා ඔවුන්ට අභියෝග  කළා අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වාදයකට එන ලෙස. අප නුවර විශේෂ සම්මන්ත්‍රණයක් අමරතුංග වෙනුවෙන් සංවිධානය කළා. එහෙත් ඔහු ආවේ නැහැ. මා චන්ද්‍රසිරිට හා ඔහුගේ ගෝලයාට මගේ වියදමින් ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක් එවීමට පොරොන්දු වෙමින් වාදයකට අභියෝග කළා. එහෙත් ඔවුන් ආවේ නැහැ. මා හෙට අනිද්දා මියන්මාරයට යෑමට නියමිතයි.  එහෙත් ඔවුන් වාදයට සූදානම් නම් මා ඒ වෙනුවෙන් ලංකාවට එන්නම්. 

ඊයේ හෙළ වෙදකම ගැන සම්මන්ත්‍රණයක් තිබිලා. මට ඒ ගැන ආරාධනයක් තිබුණේ නැහැ. එය සංවිධානය කර තිබුණේ තමන් ජාතික සංවිධාන වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන කණ්ඩායමක් විසින්. එයට විද්වත් හාමුදුරුවරුන් ගුණදාස අමරසේකර ආදීන් සහභාගි වී තිබුණා. වෛද්‍යවරුන් ද කිහිප දෙනකු සිටියා. අමරසේකර අමරතුංගගේ වීරයෙක්. දෙන්න ම දත් දොස්තරවරු.  අමරසේකර සම්මන්ත්‍රණයේ දී මොනවා කිව්වද කියල දන්නෙ නැහැ. 

එහෙත් කලක් චන්න ජයසුමන ඔය කියන කණ්ඩායම සමග සිටින කාලයේ ආසනික් පිළිබඳ ඔහුගේ පොතට පෙරවදනක් ලිවුවේ අමරසේකර. අමරසේකර ආසනික් ප්‍රශ්නයේ දී කළ ඉටිගෙඩියක් නැහැ. එහෙත් චන්නට ඔහු ලවා පෙරවදනක් ලියා ගන්න ඕන වුණා.  මා සුළු කාලයකට පිටරට ගිහින් හිටියත් එහෙ ඉඳන් පෙරවදන ලියා එවන්න තිබුණා. පොත දොරට වඩන සම්මන්ත්‍රණයේදීත් චන්නට මගේ නම සඳහන් කරන්න බැරි වුණා. අමරසේකර ආසනික් වෙනුවෙන් කළ ඉටිගෙඩියක් නැති වුණත් ඔහු චන්න සමග එවේලේ සිටියත් ඔහුට දොස් කියන කිසිවකු නැහැ. සියලු දෙනා ම දොස් කියන්නේ මටයි මගේ දරුවන්ටයි. පසුගිය දා ඊනියා දාර්ශනිකයෙක් මගේ භාර්යාව ගැන සඳහන් කරමින් අසභ්‍ය විිද්‍යුත් ලිපියක් එවා තිබුණා. 

චින්තන පර්ෂදයේ ඇතැම් උගතුනට අනුව මට ප්‍රසිද්ධියක් ලැබී ඇත්තේත් දෙරණ වැඩ සටහන් ලැබෙන්නේත් තමන් නිසා. සමහරු මගේ අදහස් තම අදහස් ලෙස සඟරාවල ලියනවා. ඇහුවම කියන්නේ එය වැදගත් සඟරාවක් නොවන බවයි. ඒත් විශ්වවිද්‍යාලයකින් නිකුත් කළ සඟරාවක්. තවත් ප්‍රාඥයෙක් ඊයේ ලංකාවෙබ් අඩවියේ ලිපියක් පළ කරමින් කියන්නේ දැන් දේශීය වෙදකම ගැන මිනසුන් කතා කරනවා, යින් යැන් ගැනත් කතා කරනවා කියා. මා හිතන්නේ ඒ ප්‍රාඥයා පාසල් සිසුවකු ව සිටින කාලයේත් අප කොළඹ විශ්වවිද්‍යාලයේ යින් යැන කතා කළ බවයි. මට මතක හැටියට මගේ ලෝකයේත් යින් යැන් ගැන සඳහන් වෙනවා. ඔය ලංකා වෙබ් අඩවිය මගේ ලිපි පළ කරන්නේ නැහැ. ඒ මා බුදුදහම ගැන කියන දේට එහි සංස්කාරක අකමැති නිසා. 

අද දුම් හට්ටියේ ප්‍රශ්නය ඇවිත්. මා හිතන හැටියට දුම් හට්ටිය ගැන මෙවර කතා වුණේ දෙරණෙ වසන්ති සමග කරන ලද සාකච්ඡාවෙ. ඒ සාකච්ඡාව මට අරන් දීල තියෙන්නෙ චින්තන පරෂදයෙ උගතෙක් බවයි කියන්නෙ. ඔහු නැත්නම් මට කිසි තැනක් නැහැ. ඒත් ඒ සඳහා අවසානයේ දී හෙළ වෙදකමට ආරාධනය කෙළේ නම් ඔහු නො වෙයි. 

ඒ කොහොම වෙතත් වැලිසර නාවික හමුදා රෝහලේ දුම් හට්ටිය අල්ලන එක ඊයෙ ඉඳලා නවත්තලා. එය පිටුපස ඉන්නෙ එම රෝහලේ ම සේවය කළ බටහිර වෙදමහතකු බව දැන ගන්න ලැබුණා. ඔහුට ඇති රාජකාරිය කුමක් ද? 

මා දන්නා අන්දමට වැලිසර තියා කොහේ වුණත් හමුදා රෝහල්වල සේවය කරන බටහිර වෙදමහත්තුරු සේවය කරන්නෙ ඒ ඒ හමුදාපති යටතේ. ඒ ඒ රෝහලේ ප්‍රධානියාත් අදාළ හමුදාපති. වැලිසර නම් නාවික හමුදාපති. මේ බටහිර වෙදමහත්තුරු අදාළ හමුදාපති කියන දේ කිරීමට බැඳිලා. ඔවුන්ට දුම් හට්ටිය අල්ලන්න කිවුවොත් අල්ලන්න ඕන. බැරි නම් වෛද්‍ය සභාවට අවනත වෙන්න ඕන නම් අස්වෙලා වෙනතක යන්න පුළුවන්. හමුදා රෝහලේ මොන වෙදකම් ද කරන්නෙ කියන එක හමුදාපතිගෙ තීරණයක් මිස බටහිර වෛද්‍ය සභාවෙ තීරණයක් නො වෙයි. 

දුම් හට්ටි අල්ලන එක එයට කැමති බටහිර හරි වෙනත් ක්‍රමයක හරි වෙදමහතකු ලවා කරව ගන්න අදාළ හමුදාපතිට පුළුවන්. මේ රෝහල්වල  බටහිර වෙදකම පමණක් කළ යුතු යැයී නීතියක් ඇත්නම් එය ඉූංගිරිසින්ගෙ නීතියක්. ඊනියා නිදහස  ලැබී අවුරුදු හැත්තෑ දෙකකට පසුවත් අපට මේ නීති වෙනස් කර ගන්න බැරි වෙලා නම් එයට දේශපාලනඥයන් වග කියන්න ඕන.

අවුරුදු තිහකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයෙ මෙයට කිට්ටු ප්‍රශ්නයක් පැන නැංගා. කොළඹ විශ්වවිිද්‍යාලයෙ දේශීය වෛද්‍ය ඒකකය යම් බටහිර වෛද්‍ය දැනුමක් සිසුන්ට ලබා දීමට තීරණය කරල තිබුණා. එය විශ්වවිද්‍යාලයෙ තීරණයක් වුණා. විශ්වවිද්‍යාලය බටහිර වෛද්‍ය පීඨයෙ ගුරුවරුන්ට කිව්ව ඒ පාඨමාලා උගන්වන්න කියා. ඔවුන් එය ප්‍රතික්‍ෂෙප කළා බටහිර වෛද්‍ය සභාව එයට විරුද්ධ බව කියමින්.

ඒ දිනවල මාත් විශ්වවිද්‍යාලයෙ සනාතන සභාවෙ හිටියා. ප්‍රශ්නය සනාතන සභාවට ආපු වෙළේ ජී එල් පීරිස් සුපුරුදු පරිදි බටහිර වෛද්‍ය පීඨයෙ පැත්ත ගත්ත. ෂෙරිෆ්ඩීන් වැනි මහාචාර්යවරු තදින් තම බටහිර වෛද්‍ය පීඨයෙ  පැත්ත ගත්ත. නන්දදාස කෝදාගොඩ කාලො ෆොන්සේකා වැනි අය සද්ද නැතුව හිටිය. අද කියන විධියට සද්දෙ වහලා. 

මා ඇහුවෙ එක ම එක ප්‍රශ්නයයි. බටහිර වෛද්‍ය පීඨයෙ ගුරුවරු සේවය කරන්නෙ විශ්වවිද්‍යාලයට ද නැත්නම් වෙනත් ආයතනයකට ද කියන එක. විශ්වවිද්‍යාලයට සේවය කරනවා නම් තමන් දන්න දෙයක් විශ්වවිද්‍යාලය නියම කරන විධියට උගන්වන්න ඔවුන් බැඳී සිටින බවත් බැරි නම් අස්වෙලා යන්න පුළුවන් බවත්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා පේරාදෙණියෙ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අර්ජුන අළුවිහාරෙ තීරණය කළා තමන් උගන්වන්න බව.  ප්‍රශ්නය එතැනින් ඉවර වුණා.

මා හෙළ වෙදකමට කර ඇති කිසිම සේවයක් නැතිව වෙන්න පුළුවන්. චින්තන පර්ෂදයෙ උගතුන් ද මා කර ඇති සේවයක් නැති බවත් මට දෙරණෙ වැඩ සටහන් ලැබෙන්නෙ තමන් නිසා බවත් කියන්නෙ. ඊනියා ජාතික සංවිධාන මගෙන් සේවයක් වී නැති බවයි කියන්නෙ. ඒත් අදත් නාථ දෙවියන් වෙනුවෙන් බැණුම් අහන්නෙ මිථ්‍යාමතධාරියකු වූ මා මිස උගත් භික්‍ෂූන් වහන්සේවත් ජාතික උගත් ගිහියන්වත් නො වෙයි.