Main Logo

Sunday 10 May 2020

අභිනව පාර්ලිමේන්තුව හා මාස තුන

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 




අභිනව පාර්ලිමේන්තුව හා මාස තුන

මේ රටේ තරම් කුහක දුර්දාන්ත අදමිටු විපක්‍ෂයක් තවත් කොහේවත් ඇතැයි කියල හිතන්න බැහැ. විපක්‍ෂය සජිත්ගෙ නායකත්වයෙන් නැවතත් උසාවියට ගිහිල්ල. එකක් කල් ඉකුත් වූ පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා ගැනීමේ අරමුණින්. අනෙක ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස පත්වීම අවලංගු කර ගැනීමේ අරමුණින්. විපක්‍ෂය කොවිඩ් මැඩීමට ආණ්ඩුවට ආධාර කරන්නේ නැහැ. වගකිව යුතු විපක්‍ෂයක් නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවක් නැති අවස්ථාවක වෙනත් ආකාරයකින් හරි ආධාර කරන්න. එහෙත් ඔවුන් එයට සූදානම් නැහැ. අගමැති මහින්ද රාජපක්‍ෂ සියලු හිටපු (2015 පාර්ලිමේන්තුව පමණක් නො වේ) මන්ත්‍රින් කැඳවූ අවස්ථාවෙ සජිත්ලා අනුරලා එයට ගියේ නැහැ. සුමන්තිරන්ටත් වැඩියෙන් ඕන කළේ දෙමළ ජනතාවගෙ ඊනියා ප්‍රශ්න කතා කරන්න. 


ගෝඨාභය රාජපක්‍ෂ තම එක්සත් රාජ්‍යවල (ඇමරිකාවෙ) රටවැසි අත්හැරපු බව ඊයෙ පෙරේදා නිකුත් කරපු නිවේදනයක පළ වෙලා. මංගලලා සජිත්ලා කියන්නෙ ඒ හින්දා ජනාධිපතිවරණ කාලෙ ගෝඨාභය එක්සත් රාජ්‍යවල රටවැසියකු කියලා. මෙහෙමත් මගෝඩියන් රැළක් ලංකාවෙ විපක්‍ෂයෙ ඉන්න එක රටට ම නින්දාවක්. ඔය ප්‍රශ්නය ජනාධිපතිවරණ කාලෙත් කතා කළා. ඒ කාලෙ නිකුත් වුණු නිවේදනවල ගෝඨාභය රාජපක්‍ෂගෙ නම නැහැ කියලයි කිවුවෙ. ඒ වෙලාවෙ ඉතා පැහැදිලිව කියන්න යෙදුණ ඔය නිවේදනය රාජ්‍ය නිවේදනයක් නොවන බවත් ආදායම් බදුවලට අදාළ ව භාණ්ඩාගාරය නිකුත් කරන නිවේදනයක් බවත් එය නිකුත් කිරීමට සාමාන්‍යයෙන් පුරවැසිකම ඉවත් කෙරී අවුරුද්දක් පමණ කල්ගත වන බවත්.

මංගලත් සජිතුත් නොබෙල් තෑගි දිනා ගෙන නැති වුණත් ඔවුන්ගෙ ඉංගිරිසි ෂේක්ස්පියර්ගෙ ඉංගිරිසිවලට වඩා හොඳ වෙන්න පුළුවන්. ඒත් ඔවුන් මහා ඉහළ බුද්ධිමතුන් නො වෙයි. ඒ වුණත් මා හිතන් ඉන්නෙ ඔවුන් පට්ටපල් මෝඩයන් ම නොවන බව. ඒත් දැන් මේ කියන කතා ජනතාව රැවටීමට කරන ඒවා නොවේ නම් මගේ උපකල්පනය වෙනස් කරන්න වේවි. මංගලත් සජිතුත් ජනාධිපතිවරණ කාලෙ ලංකාවෙ හිටිය නම් ඔය ද්විත්ව රටවැසිකම ගැන ඇති වෙච්ච වාදය දැන ගෙන ඉන්න ඕන. ඒ කියන්නෙ ගෝඨාභයගෙ එක්සත් රාජ්‍ය රටවැසිකම ඉවත් කෙරී අවුරුද්දක පමණ කාලයක් යන තුරු ඔය කියන නිවේදනයෙ ඒ බව සඳහන් නොවෙන බව දැන ගෙන ඉන්න ඕන. දැන ගෙන හිටියෙ නැත්නම් ඔවුන්ගෙ ඉංගිරිසි කොතරම් "හොඳ" වුණත් පට්ටපල් මෝඩයන් කියල නිගමනය කරන්න වෙනවා. අප ඒ නිගමනයට නොයන්න නම් ඔවුන් ජනතාව රවටන්නන් වෙන්න ඕන. සමහර විට වෙනත් නිගමනත් ඇති. කල්පනා කරල බලන්න ඕන. නිගමනවලට එන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ. 

එතකොට පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවන එක. විපක්‍ෂයේ අයගෙ තර්කවල මහා පොදු සාධකය මේ වගේ එකක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 70 (5) අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් යෑමට පෙර අභිනව පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. මැතිවරණ දිනය වෙනස් කරන එක මැතිවරණ කොමිසමට කරන්න පුළුවන් යම් දිස්ත්‍රික්කයක පමණයි. මැතිවරණය සම්පූර්ණයෙන් ම කල් දාන්න බැහැ. කොහොමටත් 70(5) උත්තරීතරයි. හැම පනතක් ම එයට යටත්වෙන්න ඕන. ඒ නිසා යම් දිස්ත්‍රික්යක වුණත් මැතිවරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මාස තුනක් ඇතුළත සිද්ධ කරන්න ඕන. ඒ කියන්නෙ කොමිසමට ජූනි 20 වන තුරු මැතිවරණය මුළුමනින් ම තියා යම් දිස්ත්‍රික්කයකවත් කල් දාන්න බැහැ. මැතිවරණ කොමිසම නීති විරෝධී ව වැඩ කරලා. අවාසනාවකට ඉංගිරිසියෙන් ලියන ෂෙනාලි වඩුගේ වැන්නවුන් ද යම් ප්‍රමාණයකට ඒ තර්කයට අනුගත වෙනවා. 

දැන් තිබෙන තත්වය අනුව ජූනි 2ට කලින්, ඒ කියන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා හැරල මාස තුනක් ඇතුළත අභිනව පාර්ලිමේන්තුව කැඳවන්න බැරි බව විපක්‍ෂය කියනවා. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවක් නැතිව මාස තුනකට වඩා රට කරගෙන යන්න වෙනවා. එය නීිති විරෝධියි. පාර්ලිමේන්තුවක් නැතිව තියෙන්න පුළුවන් මාස තුනක් විතර බව 70(5)න් ගම්‍ය වෙනවා. ඒත් දැන් ජූනි 2ට කලින් අභිනව පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම ඉඩක් නැහැ. ඒ නිසා පරණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය අවලංගු කර වහාම එය නැවත කැඳවිය යුතුයි. මේ තමයි විපක්‍ෂයේ තර්කය.

දැන් 70(5) කියන්නේ කුමක් ද? අපි නැවතත් එය කියවමු. නැහැ පඬියන්ගේ අර්ථයෙන් කියවීමක් නො වෙයි. "70 (5) (අ) පාර්ලිමේන්තුව විසුරුවා හරින ප‍්‍රකාශනයෙහි, අභිනව පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරයන් තෝරාපත් කර ගන්නා දිනය හෝ දින නියම කොට තිබිය යුත්තේ ය. එසේ ම, එකී ප‍්‍රකාශනය නිකුත් කළ දින  සිට මාස තුනක් ගත වන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැස්වීම ඒ ප‍්‍රකාශනයෙන් ම කැඳවිය යුත්තේ ය.

(ආ) 62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාවේ විධිවිධාන ප‍්‍රකාර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තේරීම සඳහා ප‍්‍රකාශනයක් මගින් නොපමාව දිනයක් හෝ දින නියම කොට අභිනව පාර්ලිමේන්තුව, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් මාසයකට පසු දිනයක් නොවන දිනයක රැස්වන ලෙස කැඳවිය යුත්තේ ය.

(ඇ)   (අ) ඡෙදයේ හෝ (ආ) ඡෙදයේ විධිවිධාන යටතේ ප‍්‍රකාශනයක් මගින් අභිනව පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැස්වීම  සඳහා නියම කරන ලද දිනය ඉන් පසුව කරන ප‍්‍රකාශනයක් මගින් වෙනස් කරනු ලැබිය හැක්කේ ය. එහෙත් පසුව කරන ප‍්‍රකාශනය මගින් නියම කරන දිනය මුල් ප‍්‍රකාශනයේ දින සිට මාස තුනකට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේ ය."


මෙයින් කියැවෙන්නේ  මාස තුනකට පසු නොවන දිනයක රැස්්වන ලෙස අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ය. ජනාධිපති එසේ කර ඇත. එහෙත් අභිනව පාර්ලිමේන්තුව එසේ මාස තුනකට පසු නොවන දිනයක රැස්විය යුතු යැයි කියා නැත. රැස්වීම කැඳවීම අනිවාර්ය වුවත් රැස්වීම අනිවාර්ය (mandatory) නැත. ජනාධිපති රැස්වීම කැඳවීමෙන් පසුව විවිධ දේ සිදුවිය හැකි ය. ඒ සෑම දෙයකට ම ප්‍රතිපාදන සකස් කිරීම ව්‍යවස්ථාවකට කළ නො හැකි ය. පාර්ලිමේන්තුව රැස්වීමට මැතිවරණයක් තිබිය යුතු ය. මැතිවරණය තිබීමට සුදුසු තත්වයක් ඇත්නම් කොමිසම මැතිවරණය පැවැත්විය යුතු ය. නැත්නම් මැතිවරණ පනතේ 24(3) යටතේ මැතිවරණ කොමිසමට වෙනත් දිනයක් නියම කිරීමට හැකි ය. එය එක් මැතිවරණ දිස්ත්‍රික්කයකට පමණක් සීමා විය යුතු නො වේ. යම් කියන වචනයට එකකට වඩා ඇතුල්වන්න පුළුවන්. සියල්ල ම වුණත් ඇතුල් වන්න පුළුවන්. මේ පිළිබඳ මා ලියා ඇති නීතියේ යම් යම් ප්‍රශ්න ලිපිය http://www1.kalaya.org/2020/05/blog-post_3.html

කියවන්න. 


70(6)න් කියැවෙන්නේ මොකක් ද කියා බලමු. “70 (6) ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයත්, මේ ව්‍යවස්ථාවේ (5) වැනි අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව රැු ස්විය යුත්තේ යම් දිනයකට පෙර ද ඒ දිනයත් අතර දිනයක දී පැවැත්වීමට නියමිතව ඇති අවස්ථාවක, ඒ අනුව්‍යවස්ථාවේ කවර විධානයක් තිබුණ ද, පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයේ සිට සිව් මසකට පසු දිනයක් නොවන දිනයක රැස්වන ලෙස අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ ය.”

ඉතා පැහැදිලි ව මෙය 70(5) ඉක්මවා යෑමකි. මේ යම්කිසි විශේෂ අවස්ථාවක්. එහි දී පාර්ලිමේන්තුව රැස්වීම කැඳවීම පවා සිවු මසකට පසු දිනයක් නොවන දිනයක් බව ප්‍රකාශ කර ඇත. එවැනි අවස්ථාවක අභිනව පාර්ලිමේන්තුව අර මාස තුනට කලින් රැස්විය යුතු නො වේ. මාස තුනේ කතාව අනිවාර්ය (mandatory) නො වේ. 

මැතිවරණ කොමිසම හදිසි තත්වයක් යටතේ (මහජන ආරක්‍ෂක පනතේ හදිසි තත්වය නොවේ)  මැතිවරණ පනතේ 24(3) යටතේ ජූනි 20 දක්වා මැතිවරණය ඒ ඒ දිස්ත්‍රික්කවල කල් දමා ඇත. තත්වය අධ්‍යයනය කර අවශ්‍ය නම් එය නුවර පෙරහැර දක්වා කල් දමන්න පුළුවන්. මැතිවරණය පවත්වන දිනය නිශ්චිත වූ පසු ජනාධිපති පාර්ලිමේන්තුව කැඳවනු ඇත. මැතිවරණය පැවැත්වීමට පෙර අභිනව පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බව පැහැදිලිය. 

එතකොට 70 (7). අපි එයත් උපුටා දක්වමු. "70 (7) පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුව ද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍යවන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප‍්‍රකාශනයක් මගින්, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයක දී රැස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය අවසන් වීම යන මෙයින් කලින් එළඹෙන අවස්ථාවේ දී විසිරෙන්නේ ය."

අද හදිසි තත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහිමකට පත් වී ඇතැයි සිතමි. එතුමා මැතිවරණ කොමිසම ජූනි 20 දාට මැතිවරණය කල් දැමීම ගැන කිසිවක් නොකියා එය පිළිගෙන ඇති බව මගේ විශ්වාසයයි. ජනාධිපතිවරයා එසේ හදිසි තත්වයක් උද්ගත වී ඇති බවට සෑහිමකට පත්වුවහොත් පරණ පාර්ලිමේන්තුව කැඳවීමට බලය ඇත. එහෙත් බලය ඇත යනු පරණ පාර්ලිමේන්තුව කැඳවිය යුතු ය යන්න නො වේ. මා ජනාධිපති නම් මා සිතන්නේ ඔය කල් ඉකුත් වූ ජනමතයට විරුද්ධ හුචක්කුව නැවත කැඳවන්නේ අහවල් දේකට ද කියායි.