Main Logo

Thursday, 7 May 2020

වෙසක් සිතුවිලි

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 





වෙසක් සිතුවිලි 

අද වෙසක්. අවුරුදු දෙදහස් පන්සීයකට පමණ පෙර බුදුන් වහන්සේ සම්මාබෝධ කළ දෙයට වඩා දෙයක් ඉන්පසු කාලයෙහි පෙරදිග හෝ අපරදිග හෝ කිසිවකුට "දැන ගැනීමට" නොහැකි වී ඇත්තේ ඇයි. පොත් ලක්‍ෂ ගණනක් ලියැවී ඇතත් බුදුන් වහන්සේ දේශනා කළ දෙය ඉක්මවන්නට කිසිවකුට නොහැකි වූයේ ඇයි? ඒ බුදුන් වහන්සේ කිසි දෙයක් දේශනා නොකළ නිසා. එසේ කීම සාහසික ප්‍රකාශයක් ලෙස කිසිවකුට සිතෙන්න පුළුවන්. විශේෂයෙන් බෞද්ධයන් එසේ සිතන්න පුළුවන්. සූත්‍ර දේශනාවල කිසිවක් නැද්ද කියා අහන්න පුළුවන්.  අද මේ වෙසක් දිනයෙහි කිසිවකු මා සමග කෝප විය යුතු නැහැ. මගේ අරමුණත් කිසිවකු කෝප කරවීම නො වෙයි.


යම්කිසිවකු යමක් කී විට එය ඉක්මවා යන දෙයක් කියන්න පුළුවන්. එය සමහර විට අවුරුදු පන්සීයකින් වෙන්න පුළුවන්. එහෙත් කිසිවක් නොකී කල ඒ ඉක්මවා යන්න බැහැ. බුදුන් වහන්සේ ඉක්මවන්න කිසිවකුට බැහැ. බුදුන් වහන්සේ දේශනා කෙළේ නොදැනුම බවයි මා කියන්නේ. උන්වහන්සේට තිබූ ප්‍රශ්නය, මා බුදු හාමුදුරුවන්ගෙ ප්‍රශ්නය ලෙස හඳුන්වන්න, අන් කිසිවක් නොව නොදැනුම දැනුමක් ලෙස ප්‍රකාශ කිරීමයි. 

උන්වහන්සේ පළමුව සිතා ගෙන ඇත්තේ දේශනා නොකිරීමට. එහෙත් සහම්පති බ්‍රහ්මයා පැමිණ ආරාධනා කිරීමෙන් පසුව දේශනා කිරීමට එකඟ වී තිබෙනවා. අසිත තවුසා ආදීන් මිය ගිය බව දැන ගැනීමෙන් පසුව දැනුමෙන් අග්‍ර වූ කොණ්ඩඤ්ඤ තවුසන් ප්‍රධාන පස්වග තවුසන්ට දේශනා කිරීමට මිගදායට වැඩම කර තියෙනවා. 

නොදැනුම දැනුමක් ලෙස ප්‍රකාශ කිරීම පහසු දෙයක් නොවෙයි. මා හිතන්නේ පසේ බුදුන් වහන්සේ නමකට නොදැනුම දැනුමක් ලෙස ප්‍රකාශ කිරීමට නොහැකි ය කියා. ඒ පාරමී ධර්මවල අඩුවක් නිසා වෙන්න ඇති. අවශ්‍ය නම් ඇතැම් බුද්ධඥාන නැති නිසා යැයි කියන්න. එහෙත් ඔය ඥානකතා බුදුන් වහන්සේලා සම්බන්ධයෙන් වලංගු නොවන බවයි මා හිතන්නෙ. අටුවාවෙ තියෙන්නෙ කොහොමද කියන එක මට ප්‍රශ්නයක් නො වෙයි. අටුවාව ලිවුවෙ බුදුහාමුදුරුවන් නො වෙයි. 

මේ සියළු දැනුම් බොරු ය කියන එකයි බුදුන් වහන්සේගේ දේශනය. අප කළ යුත්තේ දැනුම අත්හැරීමයි. අද භික්‍ෂූන් වහන්සේ බොහෝ විට ඒ ඒ දේ අත්හරින්න උගන්වනවා. එහෙත් දැනුම අත්හරින්න කියා දේශනා කරන්නේ නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත යන්න ශූන්‍යය පිළිබඳ දේශනයක්. මෙහි දුක්ඛ යනු අයහපත් හිස් බවයි. ඛ යනු හිස් බව දු යනු අයහපත් බව. ඊනියා ලෝකය හරි විශ්වය හරි ශූන්‍යයි. බුදුන් වහන්සේ ඇතැම් විට අනිච්ච දුක්ඛ අනත්ත ශූන්‍ය කියලත් දේශනා කරල තියෙනවා. 

මේ ශූන්‍යය ඊනියා උත්තරානුභූතියක් අනුභූති උත්තර දෙයක් නො වෙයි. එය සම්මාබෝධ කළ හැක්කක්. එහෙත් එය මනසින් කළ හැක්කක් නො වෙයි. මා අවබෝධය කියා යොදන්නේ මනස ආධාරයෙන් කරන දෙයක්. නිවන අවබෝධ කරන්න බැහැ. එහෙත් අප සම්මුතියෙන් නිවන් අවබෝධයක් ගැන කියනවා. මනස කියන්නෙත් තවත් දැනුමක් පමණයි.

සම්මාබෝධය නැති තැන අවබෝධය, නැත්නම් දැනුම ඤාණය ආදී වශයෙන් හඳුන්වන්න. කොණ්ඩඤ්ඤ හාමුදුරුවනට අඤ්ඤාකොණ්ඩඤ්ඤ  හාමුදුරුවන් කියා කියනවා. මේ වචනය පරස්පර වගේ පේනවා. කොණ්ඩඤ්ඤ කියන්නෙ ඤාණයේ මුදුන. කොණ්ඩ කියන්නෙ මුදුන. 

අසිත තවුසන් ආදීන්ගෙන් පසු කොණ්ඩඤ්ඤ තවුසන් වෙන්න ඕන එකල ඤාණයේ මුදුන. බුදුන් වහන්සේ දේශනාව සඳහා අනුපිලිවෙල බලා තියෙන්නෙ ඤාණයෙන් අග්‍ර අය. බණ ඇහුවට පස්සෙ කොණ්ඩඤ්ඤ තවුසන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙනවා. ඇතැමුන් කියනවා මෙහි අඤ්ඤා කියන්නෙ විශිෂ්ට ඤාණය කියල. එහෙත් මට නම් එයට වඩා ලෙහෙසියි අඤ්ඤා කියන්නෙ නොදැනුම කියා කියන්න. 

මෙහි ඇත්තෙ දැනුම නොදැනුම බවට පත් කිරීමේ කතාවක්. ඤාණයෙන් දියුණු අයට දැනුම නොදැනුම කරන්න පහසුයි කියල හිතෙනවා. උපතිස්ස හෙවත් ශාරිපුත්‍ර බ්‍රාහ්මණ පුත්‍රයා අස්සජී මහරහතන් වහන්සේගේ ගාථාවේ පළමු පද දෙක ඇසූ විගස සෝවාන් ඵලයට පැමිණුනා. සෝපාකට වුණත් දැනුම නොදැනුම බවට පත් කිරීමේ හැකියාව තියෙන්න ඇති.

මට හිතෙන්නෙ අමාරුම දෙය ඊනියා දැනුම ලබා ගැනීම නො වෙයි. පාසල් ගොස් දැනුම ලබා ගැනීම අමාරු වැඩක් නො වෙයි. විශ්වවිද්‍යාලයක දැනුම ලබා ගැනීම ඊටත් වඩා පහසුයි. ලංකාවෙ උසස් පෙළෙන් විශ්වවිද්‍යාලයට තේරෙන්න බැරි වුවත් පිටරට විශ්වවිද්‍යාලයකට ගිහින් උපාධිධාරියෙක් වෙන්න පුළුවන්. එහෙත් එසේ කොහොම හරි ලබා ගන්න දැනුම, ඤාණය අත්හරින එක ලෙහෙසි වැඩක් නො වෙයි. 

බුදුහාමුදුරුවො අනත්ත ගැන දේශනා කළා. ආත්මයක් ඇතැයි ගැනීම විතරක් නොවෙයි මම කියන දැනුම ඇති කර ගැනීම ම වැරදියි. මම කියන්නෙ බොරුවක්. මම කියල කෙනෙක් නැහැ. මම කියන්නෙ සංයුක්ත දැනුමක්. අප මේසය කියල දෙයක් ඇතැයි කියනවා. එය පංචෙන්ද්‍රිය ගෝචර දෙයක් කියල කියනවා. පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මනස හා සම්බන්ධයි. මනස නැතිව මේසය කියන දැනුම අපට ලැබෙන්නෙ නැහැ. අප වැඩ කරන බොරු නැත්නම් හරි යන (හරි නොවෙයි) බොරු යොදා ගන්නවා. 

මනසක් නැති මේසයට මේසය කියල දැනුමක් තියෙනවා ද? මේ දැනුම මනසට ගෝචර මනස විසින් තනා ගත්තක්. බුදුහාමුදුරුවන් දේශනා කෙළේ මේ දැනුම බොරු කියල. මේසය කියල එකක් නැහැ. මම කියල එකෙක් නැහැ. බුදුහාමුදුරුවන් එකෙක් කියල කියන්නෙ නැතිව ඇති. 

ඊනියා බුද්ධිමතුන් කරන්නෙ මේ දැනුම නිර්මාණය කරන එක. අනෙක් අයත් එය කරනවා. හැමෝ ම කතන්දර හදනවා. බුද්ධිමතුන් කියන අය ප්‍රවාද හදනවා. අනෙක් අය ජනප්‍රවාද හදනවා. මේ ඔක්කොම කතන්දර. එක් අයකු හදන කතන්දරයක් තව කෙනකුට ඉක්මවා යන්න පුළුවන්. තවත් බොරුවක් හදන්න පුළුවන්. 

කොවිඩ් 19 ගැන හදන කතා දවසින් දවස වෙනස් වෙනවා. ඒත් අපට බොරු ඕන වෙනවා. ජීවත් වෙන්න බැහැ මේසය බොරුවක් බව කියල. අපට මේසය ලියන්න හරි සමහර වෙලාවට කෑම තියන්න හරි අවශ්‍ය වෙනවා. මේසය කියන්නෙ බොරුවක් කියල අප මේසය විසි කරන්නෙ නැහැ. විසි කරන්නෙත් මේසය නොවැ. අප මේසය හිතෙන් විසිකරන්න, අත්හරින්න ඕන. ඒත් මේසය පාවිච්චි කරන්න වෙනවා. අප වැඩ කරන බොරු නැත්නම් හරි යන (හරි නොවෙයි) බොරු යොදා ගන්නවා. 


එය සම්මුතිය. මට දරුවන් ඉන්නවා. මා ඔවුන්ගෙ සුබසිද්ධියට එතරම් දෙයක් කරල නැහැ. ඔවුන්ගෙ ජීවිතයෙ අවුරුදු දොළහක් විතර මා රැකියාවක් කර නැහැ. ඒ දරුවන් නැහැ කියන හැඟීමෙන් නො වෙයි. මගේ මිතුරන්ට පින් සිදුවන්න රැකියාව අහිමි කෙරුණා. දරුවන් හිටියත් ඒ සම්මුතියෙන්. ඒ කියන්නෙ පරමාර්ථයෙන් දරුවන් නැහැ කියන එක නො වෙයි. 

පරමාර්ථය කියල එකක් නැහැ.  එය බමුණුන්ගෙන් මහායානිකයන් ලබා ගත් තවත් දැනුමක්. බොරුවක්. පරමාර්ථය කියන්නෙත් සම්මුති දැනුමක්. නිවන පරමාර්ථයක් නො වෙයි. බොරුව බොරුවක් බව සම්මාබෝධය තමයි නිවන. නිවන තියෙන දෙයක්වත් යන තැනක්වත් නො වෙයි. 

මේසය කඩාගෙන කඩාගෙන ගියා ම කඩන්න බැරි දේ පරමාර්ථයක් කියල කියන එක බොරුවක්. කඩන්න බැරි දෙයක් නැහැ. ඉලෙක්ට්‍රොනය ක්වාකය මේ සියල්ල කඩන්න පුළුවන්. කලකට පෙර භාරතයේ පරමාණුව කියන සංකල්පය තිබුණ. ඒ පරම අණුව නැත්නම් කඩන්න බැරිය කියන තේරුමෙන්. බටහිර විද්‍යාව ඊට බොහෝ කලකට පස්සෙ ඇටම් කිව්වෙත් පරම දෙයක් ගැන. ඒත් අද ඔය මූලික අංශු කියන ඒවා ඩිරුක් සමීකරණයෙහි විසඳුම් බවට පත් වෙලා. පරම කතා නැහැ. බුදුහාමුදුරුවො පරම කතා කියල නැහැ.

සියලු දැනුම් බොරු. බුදුන් වහන්සේ නොදැනුම දැනුමක් හැටියට ප්‍රකාශ කළා. ඒකත් සම්මුතියක් පමණයි. සම්මුති වචන යොදා ගෙන තමයි බුදුන් වහන්සේ එය කෙළේ. ඒක පහුරක් පමණයි. පහුර විසි කරන්න වෙනවා. පහුර කරේ තියාගෙන ගියොත් නිවනක් නැහැ. 

මේ දැනුම් අතර වියුක්ත දැනුම් තියෙනවා. ඒ දැනුම්වලට මා පට්ටපල් බොරු කියල කියනවා. බටහිර විද්‍යාවෙ ප්‍රවාද කතන්දර වියුක්තයි. ඒ බටහිර විද්‍යාවෙ සාධාරණිකරණයට ලක් කෙරෙන නිසා. සාධාරණීකරණය වියුක්තයි. නිව්ටන් කතා කෙළෙ අර පොල් ගෙඩිය මේ පොල් ගෙඩිය ගැන තබා පොල් ගෙඩි ගැනවත් ගෙඩි ගැනවත් නො වෙයි. ඊනියා වස්තු ගැන. පොල් ගෙඩිි  ඇපල්  ගෙඩි ඔක්කොම වස්තු. පොල් ගෙඩියක් හිතෙන් මවා ගන්න පුළුවන් වුණාට වස්තුවක් හිතෙන් මවා ගන්න පුළුවන් පෙම්වතුන්ට හා පෙම්වතියන්ට පමණයි. ඒත් වස්තු නො වෙයි.

බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන එකෙන් කියන්නෙ නැහැ අප බටහිර විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරන බවවත් බටහිර තාක්‍ෂණය (එය විද්‍යාව නො වෙයි) යොදා ගන්නෙ නැති බවවත්. මේසය බොරුවක් වුණත් අප මේසය යොදා ගන්නවා. පරිගණකය බොරුවක් වුණත් මම බොරුවක් වුණත් මා මේසය මත පරිගණකය තියා ගෙන ලියනවා. ඒ සම්මුති දැනුම. සියලු දැනුම් සම්මුති. ඒ දැනුම් සත්වයන්ගෙ නිර්මාණ, ඒ සත්වයන්ගෙ ඉන්ද්‍රිය පද්ධතියට මනසට සාපේක්‍ෂයි. මිනිසුන්ගෙ නම් සංස්කෘතියටත් සාපේක්‍ෂයි. ඒ කතාවත් සම්මුතියක් පමණයි. ඒ කතාව සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ව නිර්මාණය වූවක්.