Main Logo

Friday 8 May 2020

දුම් හට්ටිය ආණ්ඩුවට කියන දේ

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 



දුම් හට්ටිය ආණ්ඩුවට කියන දේ

පඬි නැට්ටන් දුම් හට්ටියේ ප්‍රශ්නය මැයෙන් මා ලියූ ලිපියේ වැරදි දෙකක් හොයා ගෙන. හොයා ගෙන කියන වචනය වැරදි බව මේ උදාහරණවලිනුත් පේනවා. ඔවුන් වැරදි දෙකක් නිර්මාණය කර ගෙන. එක් පඬි නැට්ටකුට අනුව බටහිර විද්‍යාව පට්ටපල් බොරු නම් විවිධ ද්‍රව්‍යවල ආසනික් තිබෙන බව පෙන්වීමට බටහිර විද්‍යාව (රසායන විිද්‍යාව) යොදා ගැනීම වැරදියි. මෙය අලුත් ප්‍රශ්නයක් කියා පඬි නැට්ටා හිතනවා ඇති. ඒ ප්‍රශ්නය නිර්මාණය කිරීමෙන් තමන් ඉතා වැදගත් සමාජ කාර්යයක් ඉටු කර ඇති බවත් ඔහු හිතනවා ඇති. 

මේ ප්‍රශ්නයේ මුල අවුරුදු තිස්පහක් පමණ ඈතට යනවා. මා එකල අලුත් වූ ජපන් කාරයකින් යන්නේ ඇයි ද කියා සුවාදීනයන් මෙන් ම ජ වි පෙ හිතවතුන් ද ඇහුවා. එකල නම් මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියා තිබුණේ නැහැ. අවුරුදු තිස්පහක් තිස්සේ මගේ අදහස් විකාශය වෙලා තියෙනවා. කිසිම දිනක අදහසක් නිර්මාණය කරල නැති අයට අදහස් විකාශය ඔවුන් අහල ඇති බටහිර පඬියකුගෙ වැඩ වලට සීමා වනවා ඇති.  

ඔවුන් තරුණ මාක්ස් මහළු මාක්ස් ආදී වශයෙන් මාක්ස් බෙදා ඇති කෘති කියවල ඇති. ඔවුන්ගේ අදහස් නම් අනෙකුන්ගේ අදහස්වලට සීමා වෙනවා. එක් අතකට යමකු අනෙකා විසින් නිර්මාණය කෙරෙනවා යැයි කීමේ වැදගත් කමක් පඬි නැට්ටන් සම්බන්ධයෙන් තියෙනවා. 

බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීමෙන් අප එය ප්‍රතික්‍ෂෙප කරන්නේ නැහැ. මා කියා කෙනකු ඇතැයි කීම බොරුවක් වුණත් මා නැතිව අප කිසිවකුට ජීවත් වන්න බැහැ. තවත් ඈතට ගියොත් මා නැතිව සසර සැරිසරන්නේ නැහැ. අප මා සමග ජීවත් වෙනවා. මා බොරුවක් බව ප්‍රත්‍යක්‍ෂ කළ දින සසර ගමන නවතිනවා. එයින් කියන්නේ ඒ සමග මැරෙන බව නො වෙයි. ඒ භවය අවසන් වත් ම සසර ද අවසන් වෙනවා. යළි ඉපදීමක් නැහැ. මේ සියල්ල ඇඟිල්ලෙන් ඇන කියන්න සිදු වන්නේ පඬි නැට්ටන්ගේ තීක්‍ෂණ බුද්ධිය නිසයි. 

අප බටහිර විද්‍යාව යොදා ගන්නේ අවස්ථාව පරිදයි. කෘමිනාශකවල ආසනික් ඇති බව ඒ ආනයනය කරන සමාගම් නියෝජිතයන්ට පෙන්නන්න වෙන්නෙ බටහිර විද්‍යාව යොදා ගෙන. ඔවුන්ට එය ආධ්‍යාත්මික ව ප්‍රත්‍යක්‍ෂ කර ගන්න කියා ඉල්ලන්න බැහැ. එහි දී බටහිර විද්‍යාව යොදා ගන්නේත් එය හරි නොව යම් ප්‍රමාණයකට හරි යන්නේ ය වැඩ කරන්නේය යන තේරුමෙන්. 

බටහිර විද්‍යාව පට්ටපල් බොරුය යන්නෙන් බටහිර විද්‍යාවට ගැලවීමක් නැහැ. ඊයේ පළ වූ වෙසක් සිතුවිලි ලිපිය කියවන්න. මේසය යන්න බොරුවක් බව කියන එකෙන් අපට ගැලවීමක් නැහැ. එය බෞද්ධයනට පමණක් සීමා වූවක් නො වෙයි. A=A බව පෙන්වන්නේ කෙසේ ද? ඊනියා අපෝහකයේ ඒ ගැන කියන්නෙ මොකක් ද? මාක්ස් එංගල්ස් ලෙනින් ට්‍රොට්ස්කි විතරක් නොවෙයි හෙගල් තම Logic නම් කෘතියෙහි කියන්නේ මොනවා ද? මේසය මේසයට සමාන ද? මම කියන්නෙ කවුද? 

තව පඬි නැට්ටකුට අනුව දුම් හට්ටයේ ප්‍රශ්නය ලිපියේ ම ඇති "හමුදා රෝහලේ මොන වෙදකම් ද කරන්නෙ කියන එක හමුදාපතිගෙ තීරණයක් මිස බටහිර වෛද්‍ය සභාවෙ තීරණයක් නො වෙයි". … …….."ඒ කොහොම වෙතත් වැලිසර නාවික හමුදා රෝහලේ දුම් හට්ටිය අල්ලන එක ඊයෙ ඉඳලා නවත්තලා. එය පිටුපස ඉන්නෙ එම රෝහලේ ම සේවය කළ බටහිර වෙදමහතකු බව දැන ගන්න ලැබුණා" වාක්‍ය අතර පරස්පරයක් තියෙනවා. මා හිතන්නෙ පඬි නැට්ටා බටහිර වෙදමහතකු බවයි. 

ඒ වාක්‍යවලින් කියැවෙන දේ පැහැදිලියි. හමුදා රෝහලේ කරන වෙදකම තීරණය කරන්න ඕන හමුදාපති. එහෙත් හමුදාපති තීරණයකට එළඹිලා තියෙන්නෙ ඒ රෝහලේ ම සේවය කළ බටහිර වෙදමහතකුගෙ උපදෙස් පරිදි. බොහෝ විට තීරණ ගන්නා අය තීරණ ගැනීමට පෙර තවත් අයගෙන් අහනවා. වෙදකම පිළිබඳ ව බටහිර වෙදමහතුන් රටට ඉතා අහිතකර ආධිපත්‍යයක් දරණවා. නාවික හමුදාවෙහි  සිදු වූ හා සිදු වෙන දේ තවමත් පැහැදිලි නැහැ.  මෙයට වගකිවයුත්තා හෝ වගකිවයුත්තන් හෝ දැන ගන්න ඕන. 

බටහිර වෙදකමට මෙරට ඇත්තේ රටට අහිතකර ආධිපත්‍යයක්. මා අද අහගෙන එක් කසිකබල් නාළිකාවක බටහිර වෙදමහතකු පැමිණ කංසාවලට විරුද්ධ ව කරුණු කියනවා. කංසා ඇතැම් පෙරදිග වෙදකම්වල ඖෂධයක්. අර බටහිර වෙදමහතා මහත් උජාරුවෙන් කියනවා එය තවමත් ඖෂධයක් ලෙස නොපිළිගන්නා බව. ඔහුට එය ඔප්පු කළ හැකි බව. මේ බටහිර වෙදමහතා ඔය ඊනියා ඔප්පු කිරීම කරන්න යන්නේ බටහිර වෛද්‍ය පොත්පත් සඟරා ආදියෙහි ඇති දේ අනුව. 

පාරම්පරික වෙදකමේ ඇති ඖෂධ ගැන බටහිර වෙදකමෙන් අහන්නෙ කොහෙම ද? පන්සලේ වැඩ කෙරෙන්න ඕන පල්ලිය කියන ආකාරයට ද? එහෙම නැති වුවත් අද මේ රටේ වැඩ කෙරෙන්නෙ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට අවශ්‍ය ආකාරයට. 

බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය තමයි මෙරට අධිපතිවාදී සංස්කෘතිය. මෙරට පමණක් නොව ලෝකයේ ම. බටහිරයන් දන්නවා අප රවටන ආකාරය. අපට හෝඩියේ ඉඳලා පුරුදු කරන්නෙ බටහිරයන් කියන විධියට වැඩ කරන්න. එහෙම නොකරන අය ඔවුන්ගෙ ව්‍යවහාරය අනුව  කළු බැටළුවො. 

ඊයේ ලෝකයේ ම වෙසක් උත්සවය වෙනුවෙන් නිවාඩු. ඒ ව්‍යාජ නිවාඩුවක්. රටවල් කීයක ඇත්තට ම නිවාඩු දුන්න ද? එංගලන්තයෙ ඉන්න බෞද්ධයනට සිල් ගන්න ලබන ඉරිදා වෙනකම් ඉන්න ඕන. දැන් පඬි නැට්ටන් කොවිඩ් 19 එල්ලිලා නිවාඩු ගැන කතා කරන්න ඕන නැහැ. පඬි නැට්ටන්ට ලොකු රුදාවක් තියෙනවා බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යය රකින්න. පඬි රුදාව!

පඬි නැට්ටන් දැන් කාලෙක ඉඳලා සිංහලයන්ට පහර දෙන්න ඕන වුණාම ගන්න පොතක් තමයි බෙනඩික්ට් ඇන්ඩර්සන්ගෙ Imagined Communities පොත. ඇංග්ලො අයිරිෂ පියකුට දාව ඉංගිිරිසි මවකගේ කුසින් චීනයේ උපන් බෙනඩික්ට වුණත් ජාතිය කියන එක ව්‍යාජ සංකල්පයක් වුණෙ නැහැ. පඬි නැට්ටන් නම් ඇන්ඩර්සන්ගෙ පොත යොදා ගන්නෙ සිංහල කියල ජාතියක් නැති බව පෙන්වීමට. එහෙත් පඬි නැට්ටන්ට දෙමළ ජනවර්ගය නම් ඊනියා යථාර්ථයක්. 

පඬි නැට්ටන් හරියට පොත කියවල නැහැ. ඇන්ඩර්සන් කියන්නෙ සියල්ලන් එකිනෙකා ඇහැට හමු නොවන ජනකායක් යම් ආකාරයකට මවාගත් එකක් විය යුතු ය යන්නයි. ඒ අර්ථයෙන් නම් පාසල් ආදි ශිෂ්‍ය සංගම් ද මවාගත් ජනකායන්. ඇන්ඩර්සන්ට ඇත්තේ ඉතා පටු අදහසක්. සියලු දෙනා එකිනෙකා ඇහැට හමුවන ජනකායක් ඡන්ද කොට්ඨාශයකවත් නැහැ. ඇන්ඩර්සන්ගෙ මතයට විරුද්ධ ව පොත්පත් ලියැවිලා තියෙනවා. එහෙත් පඬි නැට්ටන්ට ඉන් වැඩක් නැහැ. ඔවුන්ට අවශ්‍ය කෙක්කෙන් හරි කොක්කෙන් හරි සිංහලයන් ජාතියක් නො වෙයි කියල කියන්න. මෙතැනදිත් ඔවුන් ඒ සඳහා යොදා ගන්නෙ බටහිර දැනුමක්. වෙදකමේ හරි සමාජයීය විිද්‍යාවන්හි හරි එක ම මිනුම් දණ්ඩ බටහිර මිනුම් දණ්ඩ ලෙස සැලකීමට තමයි අපට පාසල්වල හා කසිකබල් විශ්වවිද්‍යාලවල උගන්වන්නෙ.

මේ මිනුම් දණ්ඩ අද කැඩිලා. අර පීසීආර් පරීක්‍ෂණ ගන්න. එක් යන්ත්‍රයකින් ආසාදිතයකු කියන අයකු තවත් යන්ත්‍රයකින් ආසාදිතයකු නො වේය කියා කියනවා. ඉන්දියාවෙ හදපු යන්ත්‍රයක් එකක් කියන විට තවත් රටක හදපු යන්ත්‍රයක් වෙනස් දෙයක් කියනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනය එකක් කියන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තවත් එකක් කියනවා.  මට පීසීආර් පරීක්‍ෂණ ගැන සැකයක් ඇති කරන්න අවශ්‍ය නැහැ. ජාසිංහ මහතා වෙහෙස නොබලා කරන සේවය අප අගයනවා. එහෙත් ජාසිංහ මහතා කියන හැම දෙයක් ම පිළිගැනීමට අප බැඳිලා නැහැ. 

කිසිම ශාස්ත්‍රයක් එහි විශේෂඥයන්ට පමණක් භාර දෙන්න බැහැ. මේ ඊනියා විශේෂඥයන් බටහිර විශේෂඥයන් යන්න කොහොමටවත්  අමතක කරන්න බැහැ. සෝවියට් දේශයේ ඉගෙන ගත් අයට ඊනියා විද්‍යාත්මක ද්‍රව්‍යවාදී දර්ශනයත් ඉගැන්නුවා! දුම් හට්ටිය ආණ්ඩුවට කියන්නේ බටහිර වෙදකම ඇතුළු බටහිර දැනුමේ ආධිපත්‍යය බිඳ දමන්නයි.