Main Logo

Wednesday 27 May 2020

කඳවුරු දෙකක සටනක් හා බොරු තර්ක

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





කඳවුරු දෙකක සටනක් හා බොරු තර්ක 





මිනිසුන් තර්කවලින් නිගමනවලට පැමිණෙණ්නේ යැයි කීම කවුරුන් ඇති කරන ලද කතාවක් වුණත් වැඩ සිද්ධ වෙන්නේ එහෙම නො වෙයි. අප නිගමනවලට (උපකල්පනවලට) පැමිණ ඉන් පසු තර්ක හොයනවා. හිතනවාද නිවුටන් ගුරුත්වාකර්ෂණය ගැන තර්කානුකූල ව නිගමනය කළා කියා. ජීවිතයේ කිසිම දිනෙක දැනුමක් සංස්කරණය නොකළ අයකු නම් එසේ සිතනවා ඇති. 


 අද මෙරට ඇති වී තිබෙන ඉංගිරිසි (බටහිර) දැනුම් ආධිපත්‍යය බටහිරයන් ඇති කළ එකක්. එය දහනවවැනි සියවසේත් දකින්න පුළුවන්. මෙරට වත්මන් ඊනියා ශාස්ත්‍රීය අධ්‍යාපනය ආරම්භයේ කොළඹ රාජකීය විද්‍යාලයීය ගොඩනැගිලිවල විශ්වවිද්‍යාලයීය ආයතනය ඇතිවුණේ පෙරදිග අධ්‍යයන පීඨය හා ශාස්ත්‍ර පීඨය නමින් පීඨ දෙකක් ද ඇතිව. ඉන් පළමු පීඨය හැඳින්වුණේ ඕ ෆැක් (Faculty of Oriental Studies - O Fac) නම් ගර්හිත නමකින්. එහි සිසුන් හරමානිස්ලා වුණා. ශාස්ත්‍ර පීඨයේ හිටියේ කුල්ටන් හෙවත් කුල්ටූර් කොටස්. මෙය භාෂා මාධ්‍යය පිළිබඳ ප්‍රශ්නයක් නො වෙයි. හරමානිස්ලා ද ඉගෙන ගත්තේ ඉංගිරිසියෙන්. එය විෂය දැනුම ආදිය සම්බන්ධ වූවක්. සිංහල දෙමළ පාලි සංස්කෘත බුද්ධාගම (මොන නමකින් වුණත්) ආදිය ගර්හිත දැනුම්.  

මේ ගර්හිත බවින් නිදහස් වීමට හරමානිස්ලාට අදත් නො හැකි වී තියෙනවා. පෙරදිග අධ්‍යයන පීඨයෙහි විශිෂ්ට උගතුන් සිටියත් ඔවුන්ට තැනක් ලැබුණේ නැහැ. පසු කලෙක සරච්චන්ද්‍ර මාර්ටින් වික්‍රමසිංහගේ ද අනුග්‍රහයෙන් නූතනත්ව සාහිත්‍යාංග හඳුන්වා දුන්නත් ඉනුත් ගොඩ එන්න බැරි වුණා. වික්‍රමසිංහ ඊනියා යථාර්ථවාදී සාහිත්‍යයක් ජාතක කතාවේ දකින්න වෑයම් කළා. හරමානිස්ලා ගර්හිත බවින් නිදහස් වීමට තැත් කෙළේ සිංහල, බුද්ධාගම ආදිය නූතනත්වයට යට කිරීමෙන්. කේ එන් ජයතිලක බුද්ධාගම නූතනත්ව බුද්ධාගමක්, ඊනියා බුද්ධිවාදී බුද්ධාගමක් බවට පත් කරන්න උත්සාහ කළා. වල්පොළ රාහුල හිමියන් ලියූ බුදුන් වදාළ ධර්මය මේ නූතනත්ව ව්‍යාපෘතියේ ම  කොටසක්.  

සිංහල පාලි බුද්ධාගම වැනි විෂයන්ට සිදු වූයේ ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව වැනි විෂය පසුපස ගාට ගාට යෑමටයි. ඉතිහාසය කුල්ටූර් විෂයක් වූ නිසා එය මුල සිට ම සකස් වූයේ බටහිර ආකෘතියක. මහාවංසය විවේචනය කිරීම හා බටහිරයන්ට අවශ්‍ය ආකාරයට සිංහල බෞද්ධ නොවූ ඉතිහාසයක් සංස්කරණය (නිර්මාණය) කිරීම ඉතිහාස අංශයේ කාර්යභාරය වුණා. එහෙත් ඔවුන් එය තම දැක්ම හරි කාර්යය හරි ලෙස කොතනකවත් ලියා නැතිව ඇති. ඊනියා සමාජ විද්‍යාව ඒ සඳහා ඉතිහාස අධ්‍යයනංශයට හොඳ තල්ලුවක් දුන්නා.  

අදත් සිංහල හා බුද්ධාගම ඊනියා නූතනත්වයට යට වීමට දඟලද්දී ඉතිහාසය සමාජ විද්‍යාව  ආදී විෂය කරන්නේ සිංහල බෞද්ධ උරුමය නැති කිරීමට අවශ්‍ය ඊනියා සාධක සැපයීමයි. අනගාරික ධර්මපාලතුමා ඔවුන්ගේ ඇහේ ඇණෙන කටුව බවට පත් වුණා. සිංහල ජාතිකත්වය ධර්මපාලතුමාගෙන් පසුව ඇති වු එකක් බවට ඊනියා කරුණු හා තර්ක සැපයීම කසිකබල් ඉතිහාසඥයන්ගේ හා සමාජවිද්‍යාඥයන්ගේ කාර්යභාරය වුණා. සිංහල බෞද්ධ ජාතිකත්වය දිගින් දිගට ම වෙනස් වෙලා. මහාවංසය ලියූ කාලයේ සිංහල බෞද්ධ ජාතිකත්වය අද බටහිර ක්‍රිස්තියානි ආක්‍රමණ හමුවේ යම් යම් දේ එකතු කර ගෙන. එකතු කර ගන්නවා කියන්නේ අලුතෙන් පටන් ගන්නවා කියන එක නොවෙයි. 

දහනවවැනි සියවසේ බෞද්ධ පුනර්ජීවනයට හේතුවක් වූයේ ඇංග්ලිකන් හා මෙතෝදිස්ත පූජකවරුන්, ගිහි දේශකයන් බුදුදහමට පහර ගැසීම නිග්‍රහ කිරීම. එහි දී ඇතැම් දේ සිංහල බෞද්ධ ජාතිකත්වයට එකතු වී තිබෙනවා. ඒ අනගාරික ධර්මපාලතුමා ඇති කළ එකක් නො වෙයි. එතුමා ද එහි ප්‍රධාන අනුගාමිකයෙක් වුණා. 

ජාතිය යන්න වත්මන් සංකල්පයක් ය ආදී විකාර බටහිර උගතුන්ගේ මත පුනරුච්චාරණය කිරීම මේ අනුකාරක ඉතිහාසඥයන්ගේ හා සමාජවිද්‍යාඥයන්ගේ වෘත්තියික ව්‍යාපෘතිය බවට පත් වුණා. මේ අනුකාරකයන්ට සම්මජාතියේ තම මතයක් සංස්කරණය (නිර්මාණය) කරන්න බැහැ. ඔවුන්ට ව්‍යාපෘතියක් දීල තියෙනවා. ව්‍යාපෘතිය මෙරට සිංහල බෞද්ධ උරුමය නැති කිරීම. මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයක් නොතිබි බව පෙන්වීම. මහාවංසය මුසාවක් බව පෙන්වීම. තවත් කරුණු එකතු කරන්න පුළුවන්. ඒ සියල්ලට ම පොදු තේමාවක් තියෙනවා.  

ජාතිය සංස්කෘතිය හා චින්තනය පොතෙහි මේ සම්බන්ධයෙන් ජාතිකත්ව මතයක් කියැවෙනවා. කලකින් මට එය වර්ධනය කිරීමට නොහැකි වුණා. මා බලාපොරොත්තු වෙනවා මියන්මාර ජාතිකත්වය සමග සසඳමින් එය වර්ධනය කිරීමට. මහාවංසය වැනි කෘතියක් පස්වැනි සියවස තරම් ඈත කාලයක ලිවීමෙන් පෙන්වන්නේ ජාතිය කියන සංකල්පය එදා ද තිබූ බවයි. බටහිරයන් ජාතිය නිර්මාණය කරන තෙක් බලා ඉන්න අවශ්‍ය තුට්ටු දෙකේ අනුකාරකයන්ට පමණයි. අපට බොරු තර්ක ගොතන්න අවශ්‍ය නැහැ. අප දිගට අපේ කතාව කියනවා.

අද ලෝකයේ ජාතිකවාදී අදහස් තහවුරු වෙමින් පවතිනවා. මෙරට දේශපාලන පක්‍ෂ ද බෙදෙන්නේ ජාතිකත්වය මත මිස ඊනියා පංතිය මත නො වෙයි. ජ වි පෙ ඊනියා කම්කරු පංති (නිර්ධන පංති) පක්‍ෂයක් ලෙස සිතන්නන්ට පොට වැරදිලා. එය අද සිංහල ජාතිකත්වයට විරුද්ධ පක්‍ෂයක්. මෙරට ඇත්තේ සිංහල ජාතිකත්වයට පක්‍ෂ දේශපාලන පක්‍ෂ හා එයට විරුද්ධ දේශපාලන පක්‍ෂ මිසක් ධනපති/ කම්කරු පංති පක්‍ෂ නො වෙයි. ඊනියා කම්කරු පංති පක්‍ෂවලට ධනවාදයට එරෙහි ව ඇති විකල්පයක් නැහැ. ඔවුන් අද සියල්ලන් ම මෙන් සිංහල ජාතිකත්වයට විරුද්ධ ව එක් කඳවුරක ගාල් වෙලා.

කලකට පෙර බුද්ධාගම පාවාදීම වැනි කෘති පළ වුණේ මේ කඳවුරට තමන්ට අවශ්‍ය ආකාරයට බුද්ධාගම මෙහෙයවා ගැනීමට නොහැකි වූ නිසයි. මොවුන් කොපමණ වෑයම් කළත් සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කරන්න බැහැ. ඒ ඔවුන්ට බටහිරයන්ගේ ආශිර්වාදය, අනුග්‍රහය, ප්‍රවාද, සංකල්ප, මූල්‍යාධාර ආදී සියල්ල තිබිය දී. කොටි සංවිධානය පැරදවීම මේ සියල්ලන්ගේ පරාජයක්. ඔවුන්ට අදටත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කියන්න බැහැ. ඔවුන් සියළු කතා ඇති කෙළේ කොටි දිනවා සිංහල බෞද්ධ ජාතිකත්වය පරාජය කිරීමට. නන්දිකඩාල්  පරාජයෙන් වියරු වැටුණු ඔවුන් 2015 දී ජාතිකත්ව විරෝධී කඳවුරක් ඇති කර ගත්තා. එහෙත් 2018 සිට එය වැටෙන්න පටන් ගත්තා. ජාතිකත්ව කඳවුර අද ශක්තිමත් බව පමණක් හුදී ජන පහන් සංවේගය සඳහා ලියා තබනවා.