Main Logo

Thursday 28 May 2020

සිංහල බෞද්ධ විරෝධීන්ගේ පාර්ලිමේන්තු තදියම

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9



සිංහල බෞද්ධ විරෝධීන්ගේ පාර්ලිමේන්තු තදියම




ඊයේ මා කියා සිටියේ මිනිසුන් ඊනියා තර්ක හේතු ඉදිරිපත් කරන්නේ තමන්ගේ හිතළු (නිගමන) තහවුරු කිරීමට මිස අනෙක් පැත්තට නොවන බවයි. එනම් මිනිසුන් ඊනියා තර්ක හේතු ආදිය උපයෝගි කර ගෙන නිගමනවලට නොඑළඹෙන බවයි. අද ලෝකයේ ධනවාදයක් හා සමාජවාදයක් අතර සටනක් නැහැ. දේශපාලන පක්‍ෂ බෙදෙන්නේත් එවන් මතවාදී අරගලයක් වෙනුවෙන් නො වෙයි. අද ඇත්තේ ජාතිකත්ව පක්‍ෂ හා ජාතිකත්ව විරෝධී පක්‍ෂ. බටහිර බොහෝ විට ජාතිකත්ව පක්‍ෂ දැකිය හැක්කේ ඊනියා දක්‍ෂිණාංශයෙහි. ඊනියා වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ බොහෝ විට තවමත් ජාත්‍යන්තරවාදී ස්වරූපයක් ගන්නවා. 


ලංකාවේ එලෙස වමක් දකුණක් යනුවෙන් බෙදීමක් නැහැ. මෙරට ඇත්තේ ජාතිකත්ව පක්‍ෂ හා ජාතිකත්වයට විරුද්ධ පක්‍ෂ. ඊනියා දකුණේ වුණත් වමේ වුණත් සජිත්ට, අනුරට, හකීම්ට, රනිල්ට, සුමන්තිරන්ට, වික්‍රමබාහුට ආදී කාට කාටත් ජාතිකත්වයට විරුද්ධව එකට ඉන්න පුළුවන්. සකර්බර්ග් වම්මුන් ඇතුළු වම්මුන්ට, තුට්ටු දෙකේ බටහිර අනුකාරකයන්ට (තම සිතැඟි පරිදි ඊනියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව),  සිවල් සංවිධානවලට ආදීන්ට තමන්ට අවශ්‍ය පරිිදි සමාජවාදයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මානව හිතවාදයක් ගැන කතා කරමින් ජාතිකත්ව විරෝධී දේශපාලන පක්‍ෂයකට සහාය දෙන්නත් පුළුවන්. 

අද මෙරට  ඉන්න වම්මුන්ගෙන් බහුතරය කිසියම් වූ කරුණක් නිසා සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වූ අය. ඔවුන් තම විරෝධය සාධාරණය කරන්නේ ඊනියා ධනවාදයක් ආරෝපණය කරමින්. ඔවුන්ට තියෙන්නේ සිංහල බෞද්ධ විරෝධයක් මිස ධනවාදයට විරෝධයක් නො වෙයි. අද ධනවාදයට විරුද්ධව ඔවුන්ට  විකල්පයක් තියෙනවා ද? විකල්පයක් තිබුණත් එය සාක්‍ෂාත් කර ගැනීමට මගක් වේ ද? (අපට පුතේ මගක් නැතේ). ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීමේ විකල්පයත් එයට මගක් ලෙස බටහිර අනුග්‍රහයත් නම් තියෙනවා. ඔවුන්ගේ ධනවාදී විරෝධය හුදෙක් සිංහල බෞද්ධ විරෝධයක් පමණයි. ධනවාදයට විරුද්ධ ව ඔවුන්ට කළ හැකි කෙංගෙඩියක් නැහැ, නිකම් බොරු පොර කතා කිය කියා ඉන්න එක හැර. 

අද මෙරට ජාතිකත්ව විරෝධී කඳවුර  ජුනි තුන්වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදයේ කූටප්‍රාප්තිය ලෙස සලකා කූට ප්‍රාප්තියකින් කටයුතු කරනවා. ඔවුන්ට අවශ්‍ය පරණ පාර්ලිමේන්තුව කැඳවීම. ඔවුන්ට පාර්ලිමේන්තු තදියමක් හැදිලා. කල් ඉකුත් වූ ජනමතය නියෝජනය නොකරන ආයතනයක් කැඳවිය යුතු ය යන නිගමනයේ ජාතිකත්ව විරෝධීන් ඉන්නවා. එය ඊනියා තර්කයකින් ලබාගත් නිගමනයක් නො වෙයි. ඒ ඔවුන්ගේ අවශ්‍යතාව. ඔවුන් කරන්නේ ඒ අවශ්‍යතාව, නිගමනය තහවුරු කිරීම සඳහා ඊනියා තර්ක ඉදිරිපත් කිරීම පමණයි. 

අද පුවත්පතක එක්තරා ප්‍රබුද්ධ යැයි කියන සංසදයක් ද ඒ සඳහා තර්ක ඉදිරිපත් කර තිබුණා. ඔවුන්ගේ එක් තර්කයකට අනුව අලුත් පාර්ලිමේන්තුවට පත් වේ යැයි සිතන්නන්ගෙන් විශාල පිරිසක් පරණ පාර්කිමේන්තුවේ ද ඉන්නා බැවින් පරණ පාර්ලිමේන්තුව කැඳවීම නුසුදුසු නොවන බවයි. අපි ඒ මහත්වරුන්ගෙන් හා නෝනා මහත්වරුන්ගෙන් ඇහුවොත් අලුත් පාර්ලිමේන්තුවේ සංයුතිය පරණ පාර්ලිමේන්තුවේ මෙන් ම වේද කියා ඔවුන් දෙන පිළිතුර කුමක් වේ ද? ප්‍රශ්නය ඇත්තේ අරයා මෙයා පාර්ලිමේන්තුවේ ඉන්නවා ද නැද්ද යන්න නොව සංයුතිය කුමක් ද යන්නත් ජනමතය සංයුතියෙන් නියෝජනය වන්නේ ද යන්නත්.  

මේ අතර තවත් ප්‍රබුද්ධයෙක් මතක් කරල තිබුණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාව ගැන. ඒ ව්‍යවස්ථාව මෙසේයි. “4. ජනතාවගේ පරමාධිපත්‍යය ක‍්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ යඃ-
(අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත‍්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක‍්‍රියාත්මක කළ යුත්තේ ය,
(ආ) රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේ ය,
(ඇ) නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක‍්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත‍්‍රීවරයන්ගේ වරප‍්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේ ය,

මොහු කියන්නට වෑයම් කරන්නේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් ඇති කරන ලද අධිකරණ හා වෙනත් ආයතන මගින් ක්‍රියාත්මක වන බැවින් ජූනි තුන්වැනි දා ට පෙර පරණ පාර්ලිමේන්තුව කැඳවන ලෙස ය. ඔහු කරන්නේ යම් සැකයක් ඇති කිරීමක් පමණක්. අධිකරණ පමණක් නොව රටේ බොහෝ සංස්ථා ආයතන ක්‍රියත්මක වන්නේ පාර්ලිමේන්තුව විසින් ඇති කරන ලද පනත් මගින්. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය පමණින් ඒ ආයතන අක්‍රීය වන්නේ නැහැ. පාර්ලිමේන්තුව ජූනි තුන්වැනි දා ට පෙර රැස් නොවුණහොත් (රැස් වන්නේ නැති බව පැහැදිලියි) අධිකරණය තබා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවවත් අක්‍රීය වන්නේ නැහැ. 

සිංහල බෞද්ධ විරෝධී කඳවුරට අද අවශ්‍ය වී ඇත්තේ කෙසේ නමුත් කල් ඉකුත් වූ පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට හා පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කිරීමට. ඔවුන් ඒ අවශ්‍යතාව මත සිටිමින් බොරු තර්ක ගේනවා තමන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් හා රටේ සෞඛ්‍යාරාක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින බවක් පෙන්වමින්. තර්ක යනු තර්ක පමණක් බවත් අවශ්‍යතා අරමුණු වෙනත් දේ බවත් වටහා ගැනීමට සිංහල බෞද්ධ විරෝධී කඳවුරේ ක්‍රියාකාරීත්වය උපකාර වෙනවා.