Main Logo

Saturday 30 May 2020

පිටරට අපේ ආසාදිතයෝ

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9



පිටරට අපේ ආසාදිතයෝ 



කුවේටයේ යම් ප්‍රශ්නයක් තියෙන බව පැහැදිලියි. දැන් තානාපති සේවයේ වැඩ කරන මට වෙනත් තානාපති කාර්යාලයක කටයුතු ගැන කතා කිරීම සුදුසු නැහැ. ඒ අතින් විශ්වවිද්‍යාල පද්ධතියේ නිදහසක් තියෙනවා. විශ්වවිද්‍යාල ගුරුවරු ඉතා වැඩි පිරිසක් මට විරුද්ධ වුණා පමණක් නොව කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ගුරුවරු මට විරුද්ධ ව පාරේ හිඳිමින් සිසුන්ට හා අනෙක් අයට අත්පත්‍රිකා බෙදුවා. වෙනත් තානාපති කෙනකුගේ හොඳ කියන්න හරි නරක කියන්න හරි මට අවශ්‍ය නැහැ. කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ගුරුවරුන් තම ඊනියා නිදහස යොදා ගත් ආකාරය පමණයි මට සඳහන් කිරීමට අවශ්‍ය වුණේ. 


කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැමුන් එයටත් එහා ගියා. ඔවුන් මට විරුද්ධ ව ඊනියා චෝදනා නගමින් උපකුලපති ඇතැම් අවස්ථාවල වැඩ බැලූ උපකුලපති  (සරච්චන්ද්‍ර වරක් උපකුලපති හැඳින්වූයේ ගෙදර බාප්පා ලෙසයි. වැඩ බලන උපකුලපති වැඩ බලන බාප්පා විය හැකියි) මහාචාර්යවරුන් පීඨාධිපතිවරුන් යොදා ගෙන විශේෂ සනාතන සභා රැස්වීම්, විශේෂ පාලක සභා රැස්වීම් කැඳවමින් මගේ වැඩ තහනම් කිරීමට ක්‍රියා කළා. පසුව විශ්වවිද්‍යාලය විසින් ම පත් කරන ලද ඊනියා ගෘහස්ථ පරීක්‍ෂණ කමිටුවක් මගින් මා සේවයෙන් නෙරපුවා. 

ඒ සියල්ල ජාතික චින්තනයක් ඉගැන්වීමේ වරදට. පසුව කම්කරු විනිශ්චය සභාවේ දී ඒ අභූත චෝදනාවලින් මා නිදහස් කරනු ලැබුවා. එහෙත් ඔවුන් මා අවුරුදු දහයක් සේවයෙන් පහකර තැබීමට සමත් වුණා. ඔවුන්ගෙන් දෙදෙනකු මිය ගිහින්. ඇතැමුන් රජයේ උසස් තනතුරු දරනවා. මාත් තානාපති ධුරයක වැඩ කරනවා. ආණ්ඩුවක් කියන්නෙ සමජාතීය පද්ධතියක් නොවෙයි. 

කුවේට් හා බටහිර ආසියාවේ රටවල ඉන්න අපේ ශ්‍රමිකයන් සමහරුන් වීසා නොමැති අය. ඔවුන්ගේ වීසා කාලය අවසන් වී. බටහිර රටවලත් එවැනි අය ඉන්නවා. එහෙත් විවිධ ක්‍රමවලින් බොහෝ විට ඔවුන්ට වෙනත් වර්ගවල වීසා ලබා ගන්න පුළුවන්. බටහිර ආසියාවේ ශ්‍රමිකයන්ට එහෙම අවස්ථා ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ වීසා කාලය නිම වීමෙන් පසු ඔවුන් එන්න ඕන. එහෙත් ඇතැමුන් විවිධ හේතු නිසා ඒ රටවල ම රැඳී ඉන්නවා. 

මේ අයට ආපසු යෑමට කාලයක් දී තිබෙන බවයි කියැවෙන්නේ. එහෙත් ඔවුන් ලංකාවට ආපසු පැමිණ නැහැ. ඒ ඇතැමුන්ට කොවිඩ් 19 වැළඳී ඇති බවයි පේන්න තියෙන්නෙ. ඔවුන් ගුවන් යානයක පටවා ආපසු එවා තිබෙන බවක් තමයි කියැවෙන්නෙ. මෙහි වරද කොතන ද කියන්න මා ඉක්මන් වන්නේ නැහැ. 

රෝගීන් ආපසු යවන එක ඊනියා ජාත්‍යන්තර සෞඛ්‍ය නීති සමග ගැලපෙනවා ද ආදිය සාකච්චා කරන්න පුළුවන්. ඒත් මා නම් ඔය ඊනියා ජාත්‍යන්තර නීති රීති ගැන කතා කරන්නේ නැහැ. ජාත්‍යන්තර නීති කියන්නෙ බටහිරයන්ගෙ නීති. ඔය ඇතැම් ආයතනවල සුද්දන් නොවන අය සභපතිලා වෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට වැඩ කරන්න වෙන්නෙ බටහිරයන්ගේ නීති රීතිවලට යටත් ව. 

මොන කතන්දර කිවුවත් ශ්‍රමිකයන් කොවිඩ් ආසාදිතයන් වුවත් නැතත් ඔවුන් වීසා වංචා හරි වෙනත් වැරදි හරි කරල තිබුණත් ඔවුන් ආපසු ගෙන්වා ගැනීම අපේ වගකීමක්. කොවිඩ් 19 අපට උගන්වන පළමු පාඩම තමයි ඊනියා ලෝක ගම්මානය කඩා වැටී ඇති බව. අප අර රටේ මේ රටේ සේවයට යන්න පුළුවන්. අප ගෝත්‍රවාදීන් ජාතිවාදීන් ජාතිකවාදීන් නොවන ජාත්‍යන්තරවාදීන්, මනුෂ්‍ය වර්ගයට මිස ජාතියකට අයත් නොවන්නන් ලෙස පඬි වදන් වමාරන්න පුළුවන්. 

ඒ මොකක් වුණත් අපට රටවැසිකම කියා එකක් තියෙනවා. කිහිප දෙනකුට විවිධ අවශ්‍යතා නිසා ද්විත්ව රටවැසිකම් තියෙන්න පුළුවන්. එහෙත් අපට රටවැසියා කියා කිවහැකි රටක් තියෙනවා. අපට ඒ රටේ ඡන්ද බලය තියෙනවා. අපට අපේ පාලකයන් (රටේ භාරකාරයන්) පත් කර ගන්න පුළුවන්. 

අපට ට්‍රම්ප් ගැන හරි ජොන්සන් ගැන හරි ලොකු කතා කියන්න පුළුවන්. එහෙත් අවශ්‍ය වුණත් ඔවුන්ට පක්‍ෂව හරි විපක්‍ෂව හරි ඡන්දයක් දෙන්න බැහැ. අපේ ඊනියා විශ්ලේෂණ අපට ම පමණක් සීමා වෙනවා. ඒ රටවල අයට අප කියන දෙයක් ඇහෙන්නෙවත් නැහැ. අපට මෙරට ඉංගිරිසි පත්තරේකට ලියල හීන් සතුටක් ලබන්න නම් පුළුවන්. 

රටවැසිකම කියා එකක් සහ රට කියා එකකුත් තියෙනවා. එය ගෝත්‍රවාදී ද? වෙන රටකට යනව නම් වීසා ගන්න ඕන. ඒක අපේ රට නො වෙයි. ඒ රටේ සංස්කෘතික වෙනස්කම් තියෙනවා, ඒවා දැනෙනවා. අප ඒවාට හුරු වෙන්න උත්සාහ කරනවා. එහෙත් ඒක හිතන තරම් ලෙහෙසි නැහැ. අපි බත් ටිකක් කන්න කැමතියි. සම්බෝලයක් එක්ක නම් තවත් හොඳයි. අනේ මෙහෙම ආශාවක් අනේ මෙහෙම තණ්හාවක් කියන්න ඕන නැහැ.

අපි මියන්මාරයෙදි කන්නෙ ලංකාවෙ හැටියට. වාසනාවකට මෙහෙ ලංකාවෙ තියෙන හැම දෙයක් ම වගේ තියෙනවා. ගොරක විතරයි නැත්තෙ. අපි ඒ නිසා ගොරක ගෙනාවා! කොස් පොළොස් වරකා අඹ මේ හැම දෙයක් ම තියෙනවා. ඊයෙ අප අඹ ජාතියක් කැවා. ඒවගෙ යටින් වරකා රහකුත් එනවා. අප ඒව වරක අඹ කියා නම් කළා. තානාපති වත්තෙ කොස් ගස් කිහිපයක් ම තියෙනවා. අද දවල්ට තව ටිකකින් අපි කොස් එක්ක බත් කාලා වරකා කනවා. ටිකක් එවන්න ද? 

පඬි නැට්ටකු අහන්න පුළුවන් තානාපතිලා ලියන්නෙ මේ වගේ සරල දේ ද කියලා. මට මහා සංකීර්ණ ජීවිතයක් නැහැ. මා උගතකුවත් බුද්ධිමතකුවත් වියතකුවත් නොවන නිසා මට සරල දේ ලියන්න පුළුවන්. කොහොමත් මා ලියන්නෙ සරල දේ පමණයි.

අප මොන මානව කතන්දර කිවුවත් අපට අමාරු ලෙඩක් හැදුන ම මතක් වෙන්නෙ අපේ රට. අපට විතරක් නොවෙයි ලෝකයෙ අතිමහත් බහුතරයට එහෙමයි. ඒ තමයි සංස්කෘතික බැම්ම. කොවිඩ් 19 නිසා මිනිසුන්  ආපසු තම රටවලට යෑමට පටන් ගත්තා. අපි මානවයො අපිට කොහෙත් එකයි කියල කී දෙනකු කිවුව ද කියා මා දන්නේ නැහැ. මිනිසුන් මොන බොරු පඬි කතා කිවුවත් අමාරුවෙ වැටුණ ම රට ගම මතක් වෙනවා. 

බටහිර ආසියාවෙ ශ්‍රමිකයන් මොන වැරදි කරල තිබුණත් අප ඔවුන් ගෙන්වා ගන්න ඕන. ඔවුන් අපේ රටේ මිනිස්සු. අප ඔවුන් කවදාවත් දැකලා නැහැ. එහෙත් අපට ඔවුන් සමග බැම්මක්, බැඳීමක් තියෙනවා. එහෙත් දහස් ගණන් එක්වර ගේන එකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුවට එය ක්‍රමවත් ව නිරෝධායන පහසුකම් ඇති කර රෝගය රට ඇතුළට නොයන ලෙස කරන්න ඉඩ ලබා දෙන්න ඕන. ඒ සඳහා යම් කාලයක් ගත වේවි. එතෙක් අප කාට කාටත් ඉවසන්න වේවි.