Main Logo

Wednesday 13 May 2020

බටහිර වෙදමහතුන්ට ප්‍රශ්නයක්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9




බටහිර වෙදමහතුන්ට ප්‍රශ්නයක්

ඊයේ එක් නිවේදකයකු පූර්ව පශ්චාත් කොවිඩ් හරි කොරෝනා හරි යුගයක් ගැන කතා කරනවා ඇහුණා. ඒ සමග ම මෙන් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ජාසිංහත් ඒ කතාව කියනවා ඇසුණා. මා දන්නේ නැහැ මේ ප්‍රකාශයේ නිර්මාතෘවරයා කවුද කියා. ඔහු පශ්චාත්නූතනවාදියකු ද පශ්චාත්තාපවාදියකු ද වෙනත් පශ්චාත්වාදියකු ද කියා දන්නේ නැහැ. මේ රටේ විවිධ පශ්චාත්වාදීන් ඉන්නවා. ඒ කොහොම වුණත් අර නිවේදකයාට හා සෞඛ්‍ය ජෙනරාල්ට (ජෙනරාල්ලා හමුදාවෙන් පිටත් ඕන තරම් ඉන්නවා) කියන්න ඕන වුණේ කොරෝනාව (කොවිඩ්) ඉවර බවත් එසේ ඉවර වීමෙන් පසු අප එහි පළමු අදියරේ ඉන්න බවත් වෙන්න පුළුවන්. 


එහෙමත් නැත්නම් කොරෝනාව ඉවර වෙන්න යන බවත් ඒ ඉවර වීමට කලින් යුගයේ අප ජීවත්වන බවත් වෙන්න පුළුවන්. පූර්ව පශ්චාත් කොරෝනා කියන එක පූර්ව (පශ්චාත් කොරෝනා) ලෙස හරි (පූූර්ව පශ්චාත්) කොරෝනා ලෙස හරි ගන්න පුළුවන්. භාෂාවේ අපි ගණිතයේ මෙන් වරහන් දමන්නේ නැහැ, a(bc) හා (ab)c සමාන ද අසමාන ද ආදී වශයෙන් ප්‍රශ්න අහන්නේ නැහැ. වරහන නොදැම්මත් භාෂාවේ දී අප ඉවෙන් මෙන් යම් යම් දේ දැන ගන්නවා. සන්දර්භය වැදගත්. මවගේ (පියාගේ පියා) වැනි ප්‍රකාශයකින් කියැවෙන්නේ කවුද? කල්පනා කරන්න පුළුවන් නම් ටිකක් කල්පනා කරන්න. පඬියන්ට කල්පනා කරන්න බැහැ. ඒ (මවගේ පියාගේ) පියා ද? වරහන් නැතිව අප සන්දර්භය අනුව මවගේ පියාගේ පියා මව් පාර්ශ්වයේ මුත්තකු ලෙස ගන්නවා.  විශ්ලේෂණයෙන් තර්කයෙන් පමණක් අපට ජීවත් වෙන්න බැහැ.

කෙසේ වුණත් අද පවතින සන්දර්භය අනුව මා නම් හිතන්නේ තවමත් කොරෝනාව (කොවිඩ්) ඉවර නැති බවයි. ඒ නිසා පශ්චාත් කොරෝනා යුගයක් ඇත්නම් ඒ අනාගතයට අයත් එකක්. ඒ අර්ථයෙන් නම් අද ඇත්තේ කොරෝනාව ඉවර වීමට පෙර ඇති යුගය කියා හිතන්න පුළුවන්. නිවේදකයා මොනවා අදහස් කළා ද කියා මා දන්නේ නැහැ. නිවේදකයා කවුද කියාවත් නාළිකාව කුමක් ද කියාවත් මට මතක නැහැ. බොගෝ විට රූපවාහිනිය මට පෙනෙන්නේ අහම්බෙන් මෙන්. ඒ කියන්නේ වෙනත් අය බලන රූපවාහිනී වැඩ සටහන් මට පෙනෙනවා. 

ඔය ප්‍රශ්නවලට වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. එ අර නාවික හමුදා රෝහලේ දුම් හට්ටිය ඇල්ලුවා ද නැත් ද යන ප්‍රශ්නය නො වෙයි. මෙරට ඇති බටහිර වෛද්‍ය සභාවට (Medical Council)  යටත් වීම නිසා කිසිම බටහිර වෙදමහතකු කිසි දවසක නාවික හමුදා රෝහලේ පැයකටවත් දුම් හට්ටිය ඇල්ලූ බව කියන එකක් නැහැ. ඔය වෛද්‍ය සභාවට ඇති බලතල අඩු කරන්න පියවර ගන්න ඕන. දුම් හට්ටිය ඇල්ලූ අය තමන් දවසක් හරි දෙකක් හරි ඒ ඇල්ලූ බව කීවත් බටහිර වෙදමහත්තුරු එය කීයටවත් පිළිගන්න එකක් නැහැ. තම වෘත්තියේ ඉන්නවුන් මුසාබස් නොකියන බව සිතන බටහිර වෙදකමෙන් නිර්වින්දනය වූවන් මා කියන දේ පිළිගන්න එකක් නැහැ. ඔවුන්ට අනුව මා මුසා බස් පවසන්නෙක්. 

එමෙන් ම ප්‍රශ්නය චීනයේ සාම්ප්‍රදායික වෙදකම් එකකට වඩා තියෙනවා ද කියන එකත් නො වෙයි. චීන ගැත්තකු චීන වෙදකම යනුවෙන් කීම ගැන උරණ වෙලා. ඔහු ලිපියක් ලියනවා චීන වෙදකම් රාශියක් තියෙන බව කීමට. අප සිංහල වෙදකම කීවාට එහිත් වෙදකම් රාශියක් තියෙනවා. ගමෙන් ගමට ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිංහල වෙදකම වෙනස් වෙනවා. ඒත් අප ඒ සියල්ල ඒකවචනයෙන් හඳුන්වනවා. චීන වෙදකම කීම ගැන උරණ වෙන චීන ගැත්තා සිංහල වෙදකම කීම ගැන උරණ වන්නේ නැහැ. ඒ ඒ අයගේ ගැතිකම ඒ ඒ තැනට.

බටහිර වෙදමහත්තුරුන්ට අද කරන්න පුළුවන් අත් හෝදන්න, මුව ආවරණ පළඳින්න ආදී කතා කියන්න පමණයි. බටහිර පළවන සඟරා නැත්නම් ඔවුන්ට ඉදිරිපත් කරන්න වක්‍ර දත්ත නැහැ. බටහිර වෙදමහත්තුරුන්ගේ නිලධාරි සංගමයට මොකද වුණේ. වක්‍ර හිඟයකින් පෙළෙනවා ද?  

මෙරට මිනිසුන් කැමැත්තකින් අනුන් කියන දේ අහන්නෙ නැහැ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඒ බව දැන ගන්න ඕන. මුහුණු පොතට ගිහින් බලන්න. පඬි කතා කොපමණ තියෙනවා ද කියා. හැමෝට ම වගේ තමන්ගෙ මතයක් තියෙනවා. එය වැදගත් නිර්මාණයක් නොවන්න පුළුවන්. බටහිරයකුගෙ මතයක් වෙන්නත් පුළුවන්. ඒත් තමන්ගෙ වගේ එය ප්‍රකාශ කරනව. බොහෝ දෙනකුට රටට වඩා කට වටිනවා. කට පළමුව රට දෙවනුව. එහෙම නැති අය නෑතුවා නො වෙයි.

මගේ ප්‍රශ්නය ඔය එකක්වත් නො වෙයි. නාවික හමුදාවේ මෙතරම් ආසාදිතයන් ගණනක් ඇති වීමට හේතුව කුමක් ද? මා හිතන්නේ අද ඉන්න ආසාදිතයෙන්ගෙන් හරි අඩක් පමණ නාවික හමුදාවේ. උගතකු නොවන මට ඉදිරිපත් කරන්න සංඛ්‍යා ලේඛන දත්ත නැහැ. එහෙත් නාවික හමුදාවේ විශාල පිරිසක් ආසාදිත වෙලා බව මා දන්නවා. මා අහන්නේ එයට හේතුව මොකක් ද කියා. එය පොකුරක් වගේ උත්තර වැඩක් නැහැ. එය උත්තරයක් නොව ප්‍රශ්නය ම වෙනත් වචනවලින් කීමක්. 

එහෙත් මා හිතන්නේ නව සෞඛ්‍ය ලේකම්තුමා මේ ගැන පරීක්‍ෂණයක් කරනවා නම් හොඳයි කියා. කොවිඩ් 19 කියන්නෙ 2019 දි මුල් වරට හැදුණු  කොරෝනා වෛරස රෝගය. බටහිර විිද්‍යාවේ වචනවලින් කියනවා නම් මේ වෛරසයේ ආම්ලිකත්වය කොපමණ වැඩි ද? පීඑච් අගය 7ට කොපමණ අඩු ද? කොත්තමල්ලි ආදියෙහි පමණක් නොව සබන්වලත් භාෂ්මිකත්වය වැඩි ද? පී එච් 7ට වැඩි ද? සබන් පාවිච්චිය අවුරුදු පන්දාහක් පමණ පැරණි ද? මා බටහිර වෙදමහත්වරුන්ගෙන් ප්‍රශ්නය අසන නිසා පීඑච් අගය ගැන කියන්න වෙනවා.

ඒ මොකක් වුණත් ප්‍රශ්නය නාවික හමුදාවේ මෙතරම් ආසාදිතයන් ඇති වුණේ කොහොම ද කියන එකයි. මේ දවස්වල එතරම් වැඩක් නැති බටහිර වෙදමහත්තුරු ඒ ගැන හිතනවා ද? නාවික හමුදා රෝහලේ දුම් හට්ටිය ඇල්ලුවාද නැද්ද කියන එක මෙහි දී වැඩක් වන්නේ නැහැ. ඒක අපි පස්සෙ බේරා ගනිමු.