Main Logo

Tuesday 26 May 2020

බටහිර ආසියාවේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





බටහිර ආසියාවේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම


කටාර් සිට එරට ජීවත් වූ මෙරට යම් පිරිසක් රැගෙන පැමිණීමට නියමිත ව තිබූ ගුවන් ගමන් වාරයක් තාවකාලික ව අවලංගු කෙරිලා.  ආණ්ඩුව බටහිර ආසියාවේ සිට පැමිණීමට නියමිත ව තිබූ තවත් ගුමන් ගමනුත් එලෙස ම තාවකාලික ව අවලංගු කරලා. ඒ කුවේට් සිට පැමිණි පිරිසක් කොවුඩ් 19 ආසාදිතයන් බවට පත් වීම නිසා බව පැහැදිලියි. එමෙන් ම එය තාවකාලික පියවරක් පමණක් විය යුතු බවත් පැහැදිලියි. 


මේ අප ගෙනෙන්නේ මෙරටින් පිටරට ගොස් ජීවත්වන අසරණ ම පිරිසක්. බටහිර ආසියාව, නැත්නම් බටහිරයන්ට සාපේක්‍ෂ ව ඔවුන්ට පුරුදු ආකාරයට මැද පෙරදිග, අපට විදේශීය විනිමය ලබා දෙන ප්‍රධාන භූමිය හරි ප්‍රධාන භූමිවලින් එකක් හරි. අනෙක් ප්‍රදේශවලට අප විකුණන්නේ භාණ්ඩ. එහෙත් බටහිර ආසියාවේ අප විකුණන්නේ ශ්‍රමය. අප ශ්‍රමය විකුණන තවත් ප්‍රදේශ තියෙනවා. බටහිර රටවලට ගොස් සිටින අය ද මොන තනතුරු දැරුවත් විකුණන්නේ ශ්‍රමය. 

එය කායික හෝ මානසික හෝ වෙන්න පුළුවන්.  බටහිර රටවලට ගොස් ශ්‍රමය විකුණන මෙරට වැසියන් කොපමණ මුදලක් එවනවා ද යන්න මා දන්නේ නැහැ. මහා බැංකු වාර්තාවල කුමක් සඳහන් වන්නේ ද? බටහිර ආසියාවෙන් නම් විශාල මුදලක් ලැබෙන බව මගේ විශ්වාසයයි. 

පසුගිය දා ලංකා බැංකුවේ විශේෂ විදේශ මුදල් තැන්පතු ක්‍රමයක් ඇරඹුවා. පොලිය 5%ක් ගෙවන බවයි මා හිතන්නේ. බටහිර රටවල වාසය කරන අය කී දෙනකු එහි තැන්පතුවක් ඇති කරා ද යන්නත් දැන ගන්න නැහැ. ඒ තැන්පතුව ඔවුන්ට යම් කාලයකට පසු ආපසු ලබා ගන්න පුළුවන්. ඒ විශේෂ තැන්පතු ක්‍රමය අරඹා ඇත්තේ ලංකාවට අවශ්‍ය විදේශ විනිමය සංචිතය වැඩි කර ගන්න. 

අප බටහිර රටවල වාසය කරන යම් පිරිසක් ආපසු ගෙන්වා ගත්තා. ඔවුන් නිරෝධායනය ද කෙරුණා. සමහරුන් හෝටල්වල නිරෝධායනය වුණා. මා එහි වරදක් දකිනවා නො වෙයි. බටහිරින් මෙරටට පැමිණි ඇතැමුන් මෙරට සෞඛ්‍ය නිලධාරීන්ට පඬි කතා කී බවට ආරංචි තියෙනවා. බටහිර රටක රැකියාවක් කිරීමෙන් යමකු ඊනියා වැදගත් පුද්ගලයකු, මහේශාක්‍යකු, බහුශ්‍රැතයකු බවට පත් වන්නේ නැහැ. එහෙත් එවැනි ඇතැමුන් මෙරට දී හැසිරෙන්නේ ඔවුන් දෙව්ලොවින් බට මහේශාක්‍ය පිරිසක් ලෙස සලකමින්. එහෙත් ඔවුන්ට බූමාටු තත්වයක්වත් නැහැ. බුමාටු කියන්නෙ මොකක් ද කියා ඔවුන් දන්නවා ද? දන්නෙ නැත්නම් ආපහු යන්න ඉස්සෙල්ල කාගෙන් හරි දැන ගන්න. 

බටහිර ආසියාවෙන් පැමිණෙන්නන් ඔය පඬි කතා කියන්න යන්නේ නැහැ. ඔවුන් පඬි කතා දන්නෙත් නැහැ. ඔවුන් අසරණයි. මෙය ධනවාදයක කතාවක් නො වෙයි. අද ලෝකය බෙදෙන්නේ ධනවාදී ආර්ථික සමාජවාදී ආර්ථික මත නො වෙයි. ධනවාදයට විකල්ප ක්‍රමයක්   වමට නැහැ. මාක්ස්වාදී සමාජවාදය ඊනියා විද්‍යාත්මක සමාජවාදයක් ලෙසිනුයි හැඳින්වුණෙ. 

ඒ මොකක් වුණත් මාක්ස්වාදී සමාජවාදය කියන්නෙ මනෝ ම මනෝරාජික සමාජවාදයක්. මා අවුරදු තිස්පහකට වැඩි කාලයක් මෙය කියනවා. අවුරුදු තිහකට පමණ පෙර බර්ලින් තාප්පය කඩා වැටුණා. ලන්ඩන් පාලම තවම තියෙනවා. වම්මු තවම කියවනවා. සකර්බර්ග් ඔවුන්ට තම දැවැන්ත වේදිකාවේ ඉතා කුඩා කොණක් ලබා දී තියෙනවා. එය කොහොමටත් 3%ට අඩුයි. 

බටහිර ආසියාවේ ඉන්න ශ්‍රමිකයන් ආපසු ගෙන්න ගන්න ඕන. එහි ප්‍රශ්නයක් නැහැ. මා හිතන්නේ ජනාධිපති කාර්ය සාධක නිලධාරීන් ඒ සඳහා කටයුතු කරන බව. එහෙත් ඔවුන් මුහුණ පාන ප්‍රශ්නත් තියෙනවා. අප නිරෝධායන මධ්‍යස්ථාන තවත් ඇති කරන්න ඕන. විදේශවලින් පැමිණෙන අය සියල්ල නිරෝධායන කරන්න සිද්ධ වෙනවා. හැම රටක ම පාහේ තත්වය එහෙමයි. අප ද මියන්මාරයේ සති හතරක නිරෝධායනයක. 

යම් අයුරකින් මෙරට ආසාදිත රැල්ලක් ඇති වුණොත් අප එයට ද සූදානම් ව ඉන්න ඕන. ඒ නිසා නිරෝධායන ආයතන අතිරික්තයක් තියෙන්න ඕන. ඒ අවශ්‍ය වන නිසා නොව හදිසි තත්වයක් ඇති වුවහොත් එයට මුහුණ දීම සඳහා. මෙය අප ත්‍රිවිධ හමුදාවන්ට විශාල අභියෝගයක් නො වෙයි. ඔවුන් දින කිහිපයකින් අවශ්‍යතා සපුරාලන බවට සැකයක් නැහැ.

මා හිතනවා තාවකාලික ව නවතා ඇති බටහිර ආසියාවේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම ඉක්මනින් ම  නැවත ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි කියා. ඔවුන් හැකි ඉක්මණින් ආපසු කැඳවා ගැනීම අපේ යුතුකමක් මෙන් ම වගකීමක් ද වෙනවා.