෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල
ලිත් ඉලක්කම්
0 1
2 3 4 5 6 7 8 9
තපස්සු භල්ලුක- ඒ කවුද?
ඒ පොළොන්නරුවේ හරි වෙනත් තැනක හරි හාල්මෝලුන් නොවන බව නම් පැහැදිලියි. හාල්මෝලුන්ට මෙතරම් බලයක් හිමි වී ඇත්තේ කෙසේ ද? ආණ්ඩුව නියම කරන පාලන මිලට ඔවුන් අලෙවි නොකරන බව පැහැදිලියි. මේ වෙළෙඳ අධිකාරිවලට වෙළෙඳපොළ හැසිරවීමට ඉඩ දිය හැකි කාලයක් නො වෙයි. කෙසේ වෙතත් කිසි දිනෙක කිසි ම ක්‍ෂෙත්‍රයක වෙළෙඳ අධිකාරි ඇති නොවීම සඳහා අණ පනත් නීති රීති සකසන්න ඕන.
හාල් මෝලුන් නිෂ්පාදනයක් කරන පිරිසක් නො වෙයි. ඔවුන් කරන්නේ මිල දී ගෙන විකිණීම් (බයින් ඇන්ඩ් සෙලින්). ඔවුන්ගේත් එවැනි අන් අයගේත් අධිකාරීත්වය රඳා ඇත්තේ බැංකු ගණුදෙනු ආදිය මත. බැංකු සමග ගණුදෙනු කිරීමේ දී ඔවුන් දේශපාලන සම්බන්ධකම් යොදා ගන්නවා. තම උත්සාහයෙන් කර්මාන්ත දියුණු කළ දාස මුදලාලි යුගය අවසන් වී ඇති බව ඇත්ත. එහෙත් බයින් ඇන්ඩ් සෙලින් අධිකාරිවලට රටේ ආර්ථිකයේ තැනක් හිමි විය යුතු නැහැ. දැන් තපස්සු භල්ලුකට.
තපස්සු භල්ලුක ගැන අප සියල්ලන් ම මෙන් කුඩා කල සිට ම දන්නවා. මේ වෙළෙඳ දෙබෑයන් එක ම දෙමව්පියන්ගේ දරුවන් ලෙසයි කියැවෙන්නේ. ඔවුන්ගේ කතාවේ පළමු කොටස අනුව බුදුහාමුදුරුවන් සම්බුද්ධත්වයට පත් වී අටවැනි සතියේ රජගහ නුවරට යමින් සිටි දෙබෑයන්ට දෙවඟනක ලෙස ඉපිද සිටි තම මව කියා ඇත්තේ බුදුහාමුදුරුවන්ට කිරිපිඬූ දානය කරන ලෙසයි. (දෙවඟන මිථ්‍යාවක් ද නැත් ද දෙවඟනක් සමග සන්නිවේදනය කළ හැකි ද ආදී වැඩකට නැති කතා නොකර පඬියන් අංශක 100 කියන ජලය වාෂ්ප වන උෂ්ණත්වය තිබිය දී වැලේ වනන තෙත රෙදි වේලන්නේ කවුද යන ප්‍රශ්නය ගැන හිතනවා ද? අංශක 100ට කලින් රෙදි වේලෙනවා. ඒ සඳහා වෙනත් කතාවක් අවශ්‍ය නේ ද?) ඒ අනුව ඔවුන් බුදුහාමුදුරුවන්ට කිරිපිඬූ පූජා කර දෙසරණ (බුද්ධ ධම්ම) සරණ ගිහින්. එකල සංඝයා වහන්සේ නොවූ බැවින් තිසරණ සරණ යෑමක් සිිදු වී නැහැ. තපස්සු භල්ලුක ලොවේ දෙසරණ සරණ ගිය පළමු උපාසකයන් දෙදෙනා.
දෙසරණ සරණ යෑමෙන් පසු ඔවුන් ආපසු ගෙන යෑමට යමක් බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලා තියෙනවා. බුදුහාමුදුරුවන් ඔවුන්ට කේශධාතුන් වහන්සේ අටමිටක් දී තියෙනවා. ප්‍රශ්නය ඔවුන් ඒ කේශධාතුන් වහන්සේට කෙළේ කුමක් ද යන්නයි. ඒ ප්‍රශ්නයට පිළිතුරු තුනක් තියෙනවා. කතාවේ දෙවැනි කොටස ඒ පිළිතුරු සමග ආරම්භ වෙනවා.
පළමු පිළිතුර ෂුආංසාන්ග් (මේ ලියා තියෙන හැටි නිවැරදි ද දන්නේ නැහැ. ඒ ඒ භාෂා උගත් අයට පුළුවන් වුණත් සෙස්සන්ට ඒ ඒ වචන නිවැරදි ව ලියන්න අමාරුයි) වාර්තා අනුව. එයින් කියැවෙන්නේ ඇෆ්ගනිස්ථානයේ දෙබෑයන්ගේ බල්ක් (?) නගරයේ දොරටුව අසළ විහාරයක් කළ බවයි. හත්වැනි නවවැනි සියවස්වල ප්‍රසිද්ධ වූ නවවිහාරයක් ගැනත් කියනවා. මෙහි යම් විශ්වාසනීයත්වයක් ඇත්තේ භල්ලුක හා බල්ක් අතර සමීප බවක් තියෙන නිසා පමණයි.
දෙවැනි පිළිතුර අපේ පිළිතුරයි. ඒ අනුව තපස්සු භල්ලුක දෙබෑයන් කේශධාතුන් වහන්සේ නිධන් කර තිරියායේ චෛත්‍යයක් ගොඩ නගා තියෙනවා. ඔවුන් දෙදෙනා පමණක් එය කළා යැයි සිතන්න බැහැ. මෙරට එකල ද ස්ථිර නේවාසිකයන් (රටවැසියන්) සිටි බව පැහැදිලියි. එහෙත් එකල විවිධ පඬියන් නම් සිට නැහැ.
තුන්වැනි පිළිතුර මියන්මාරයෙන්. ඒ අනුව තපස්සු භල්ලුක යැංගුන් නුවර චෛත්‍යයක් ගොඩනගා තියෙනවා. ඒත් කේශධාතුන් වහන්සේ නිධන්කර. එකල රජතුමා එයට අනුග්‍රහය දක්වා තියෙන බව පැහැදිලියි. ජනප්‍රවාදය අනුව පළමු ෂ්වෙදගොන් චෛත්‍යය මෙය ලෙස සැලකෙනවා.
දැන් මේ පිළිතුරු තුන එකතු කරන්නේ කොහොම ද? තපස්සු භල්ලුක මේ තැන් තුනට ම යන්න ඇත කියා කියන්නත් පුළුවන්. ඔවුන් වෙළෙන්දන්. එහෙත් ඇෆ්ගනිස්ථාන් කතාව පසුව ගොතපු එකක් වෙන්න ඉඩ තියෙනවා.
සංගත කතාව වන්නේ තපස්සු භල්ලුක මියන්මාර වැසියන් බවත් ඔවුන් රජගහ නුවර සිට ආපසු යෑමේ දී ලංකාවටත් පැමිණ ඇති බවත්, වරායේ ටික කලක් රැඳී සිටි ඔවුන් රටවැසියන්ට කේශධාතුන්වහන්සේ ප්‍රදානය කර චෛත්‍යයක වැඩ ආරම්භ කර ඇති බවත්.
පසුව ඔවුන් මියන්මාරයට ගොස් රජතුමාට ඉතිරි කේශධාතූන් වහන්සේ ලබා දී ඇති බව ජනප්‍රවාදය අනුව හිතන්න පුළුවන්. රජතුමා කලක් ගත වී ධාතුන්වහන්සේ තැන්පත් කිරීම සඳහා නියම කරන ලද ලද සිංගුත්තර කන්ද සොයා ගෙන චෛත්‍යය නිම කර තිබෙනවා.
මේ ගැන තවදුරටත් කරුණු හොයනවා නම් හොඳයි. එහෙත් එය මෙරට කසිකබල් ඉතිහාසඥයන්ට භාර දිය යුතු නැහැ. ඔවුන් තපස්සු භල්ලුක ගැන සාක්‍ෂි නැති බවට ඊනියා කරුණු ඉදිරිපත් කරාවි.