Main Logo

Thursday 14 May 2020

සුමන්තිරන් හා තැබෑරුම්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9






සුමන්තිරන් හා තැබෑරුම් 


සුමන්තිරන් අගමැති රාජපක්‍ෂ  හමුවෙලා. සුමන්තිරන්ට දෙමළ පක්‍ෂ විරෝධය පාලා.  ඔහු කොටි සංවිධානය ගැන කී ඇතැම් දේට දෙමළ පක්‍ෂ කිපුණු බවක් පේන්න තියෙනවා. ඒ අතර මුහුදු මහා විහාරයට හිමි අක්කර තිහක් පමණ ආපසු විහාරයට එක් කිරීමට ජනාධිපති රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව තීරණය කරලා. දුම් හට්ටිය නාවික හමුදා රෝහලේ අල්ලනවාට ඇතැම් බටහිර වෙදමහතුන් විරුද්ධ වෙලා. ඊයේ තැබෑරුම් ඇරිය ම මිනිසුන් පොර කකා බෝතල් ගන්න ගිහින්. කිසිම නීතියක් රීතියක් නැතිව ඔවුන් පොර කාලා. සමහර විට ඒ අයගෙන් ඇහුව නම් කියන්න බැරි නැහැ අර පන්දාහ තාම ලැබුණෙ නැහැ කියලත්. එක් අයකු කිව්වා තමන් බෝතල් ගත්තෙ නැත්නම් කසිප්පු කාරයො රජ වෙනවා කියලත්. ඒකත් හොඳ තර්කයක්. 


රාජිත නැවතත් රක්‍ෂිත බන්ධානාගාරයට. මෙවර ඔහුගේ පිහිටට එන්නේ නිරෝධායනය. ඔහුට කලක් නිරෝධායන කඳවුරේ ඉන්න පුළුවන්. ඔය ඔක්කොම අස්සෙ පරණ හුචක්කු පාර්ලිමේන්තුව කැඳවන්න සජිත් චම්පක ආදීන් මරාගෙන මැරෙන සටනක.  පඬියන් සකර්බර්ග් වම්මුන් ආදීන් තම නොවතින විප්ලවය කිසිම විවේකයක් නැතිව මුහුණු පොතේ ගෙනි යනවා. ඒ ඔවුන්ගේ අන්තිම සටන. ඔවුන් ඒ සඳහා සැරසිලා ටිකක් කල්. 

මද්‍රසා පාසල්වල ඉගැන් වු දේ දැන් ටික ටික හෙළි වෙනවා. අර නීතිඥයා ශුද්ධවන්තයකු හුදෙක් නීතිඥයකු පමණක් නොවන බවට දරුවන් සාක්‍ෂි දීලා. දරුවන්ගේ අයිතිකරුවන් කියන අය ඒ සාක්‍ෂි ලබා ගැනීමට විරුද්ධ ව අධිකරණයට ගිහිල්ලා. රෝම ලන්දේසි නීතියත් බටහිර වෙදකමත් සිංහල බෞද්ධ සංස්කෘතියට පක්‍ෂපාති නොවන බව ඊනියා වෘත්තීයකයන්ට තේරෙන්නේ නැහැ. ඔවුන්ට තම දැනුම වාස්තවිකයි.  ඒ අතර දෙවියන්ගෙන් දැනුම ලබා ගන්න අයත් විවිධ දේ කියනවා. දෙවියන් අතරත් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ අය ඉන්නවා. අප ආධ්‍යත්මික ව දැනුම ගනිද්දීත් පරෙස්සම් වෙන්න ඕන. අප නොමග යවන දෙවියන් ඉන්නවා.

මේ සියල්ල අතර සම්බන්ධයක් ඇති බව මට පේනවා. මගේ එක් ලිපියක ඒ බොහොමයක් ගැන කියන එකට ඇතැමුන් විරුද්ධයි. ඔවුන්ට අනුව මට ලිපියක් ලියන්න තේරෙන්නෙ නැහැ. මට එල්ලයක් නැහැ. ලිපිවල ඊනියා නාභිගත (focus) කිරීමක් නැහැ. මා නාභිගත වන්නේ සිංහල ජාතියට, විශේෂයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතියට. ඉහත සඳහන් සියල්ල පිටුපස ඇත්තේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නොදීම පිළිබඳ ප්‍රශ්නය. මා ඒ එකක්වත් අනෙකෙන් වෙන් කරන්නේ නැහැ. එය සමස්තයක් ලෙසයි මා ගන්නේ. 

මුහුදු මහා විහාරයට අයත් තවත් ඉඩම් පහුගියදා කොල්ල කාලා. අවසාන වශයෙන් මුහුදු මහා විහාරයට තිබුණේ අක්කර 17ක් පමණක් බවත් ඉනුත් ඉඩම් අල්ලා ගෙන ඇති බවත් දැනගන්න ලැබුණා. වරක් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය මට කතා කළ වෙලේ මා පැවසුවේ නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන හා පූජා ඉඩම් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඒ අසල ස්ථිර පොලිස් ස්ථාන පිහිටුවිය යුතු බවයි. පොලීසිය ගිහින් ඉඩම් කොල්ලකරුවන් එළවා දැම්මත් පොලීසිය ගිය පසු ඔවුන් නැවත එනවා. සාමාන්‍ය පොලීසියට අමතර ව ඒ ඒ පොලිස් ස්ථානයේ විශේෂ කාර්ය සාධක බලකායේ පොලිස් භටයන් ද ඉන්න ඕන. නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථානවලට සිංහල බෞද්ධ රජවරුන් පූජා කළ ඉඩම් කොල්ල කන්නේ ඒ පළාතේ සිංහල බෞද්ධ රජවරුන් පදිංචි කළ අයගෙන් පැවත එන්නන් වීම ඓතිහාසික වරදක ප්‍රතිඵලයක් ද? 

තැබෑරුම්වල ඊයේ පොරකෑවුන්ගෙන් අති විශාල බහුතරය සිංහල බෞද්ධයන් වෙන්න ඕන. එය සිංහල බෞද්ධ සංස්කෘතියේ වරදක් ලෙස පෙන්වීමට සකර්බර්ග් වම්මුන් උත්සාහ ගනීවි. සිංහල බෞද්ධ සංස්කෘතිය ආක්‍රමණශීලි නැති වීම සිංහල බෞද්ධ විරෝධීන්ට ආධාරයක් වෙලා තියෙනවා. අප ඉදිරියට එන්නේ අමාරු ම අවස්ථාවකට පත් වීමෙන් පසුවයි. සිංහල බෞද්ධයන්ට මත්පැන් මේ ආකාරයට පුරුදු කෙරුණේ ඉංගිරිසින් විසින්. ඉංගිරිසින් සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති ආක්‍රමණශීලි නොවන ගතිය උපයෝගි කර ගනිමින්   අපට මත්පැන් පුරුදු කළා. දැන් පඬියකු අහන්න බැරි නැහැ සුරනිමල සුරා බිව්වේ නැත් ද? කඩොල් ඇතාට සුරා දුන්නේ නැත් ද ආදී ප්‍රශ්න. එකල සුරා පානය හා වත්මන් මත්පැන් පානය අතර ඇත්තේ අහසට පොළොව වැනි වෙනසක්.

අප කුඩා කල තැබෑරුම් වැහීමේ ව්‍යාපාරයක් තිබුණා. අපේ පියාත් එහි කටයුතු කළා. එය යම් පමණකට සාර්ථක වූ නමුත් පසුව නැවතත් තැබෑරුම් විචිධ ස්වරූපවලින් ඇති වුණා. කසිප්පු පෙරීම ද පැතුරුණා. මෙය පිටුපස ඇත්තේ මිනිසුන් තමන්ට අහිතකර දේට ඇති කැමැත්ත හා සිංහල බෞද්ධ විරෝධි ව්‍යාපාර ඒ කැමැත්තට මිනිසුන් පෙළඹවීම. මිනිසුන් සුරා පානය නොකර සිටීමට දෙන උපදෙස්වලට වඩා ඔවුන් සුරා පානයට ඇබ්බැහි කරන ව්‍යාපාරවලට සවන් දෙනවා. කුඩා දරුවන් වඩා කැමති ටොෆි කෑමට ද කරවිල කෑමට ද? තැබෑරුම කියන නමත් අතුරුදහන් වෙලා වයින් ස්ටොර්ස් නම් ඊනියා සම්භාව්‍ය නමකින් ඒ හැඳින්වෙනවා. වයින් ස්ටෝර්ස් නමත් එක් අතකින් ගැලපෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව මිනිසුන් වයින් කරන නිසා.  අද ඊනියා පාසල් මහා ක්‍රිකට් තරග සුරා පානයට සිසුන් පුරුදු කරන තෝතැනි බවට පත් වෙලා. සුරාවට ඇබ්බැහි වූ එකාට සමාජ දුරස්ථභාවය කියා දෙන්න බැහැ. 

සුමන්තිරන් කියන්නෙ දෙමළ මෙතෝදිස්ත භක්තිකයෙක්. ඔහු තමයි මෙරට ප්‍රධාන සිංහල බෞද්ධ විරෝධියා. ඔහුට විශාල බලයක් තියෙනවා. අප අර හුචක්කු පාර්ලිමේන්තුවේ දැක්කා ඔහු තම අසුනින් නැගිට ඇවිත් රනිල්ට හා කිරිඇල්ලට තර්ජනය කළ ආකාරය. 

අගමැති රාජපක්‍ෂ හා ජනාධිපති රාජපක්‍ෂ අතර ක්‍රියාත්මක වීමේ දී වෙනසක් දකින්න පුළුවන්. අගමැති රාජපක්‍ෂ සුමන්තිරන්ට මොනවා කිව්වද කියා අප දන්නේ නැහැ. මොනවා කිව්වත් සිංහල ජාතිකත්වය හමුවේ අගමැතිට ඒ ක්‍රියාත්මක කරන්න බැහැ. ඔහු මෙරට සිටින ඉතාමත් නම්‍යශීලී දේශපාලනඥයා වෙන්න පුළුවන්. ඒ නිසා ම ඔහු සිංහල ජාතිකත්වයටත් හිස නමනවා. සමහරවිට ඔහු සුමන්තිරන් සමග කරන කතා සුමන්තිරන්ගේ වැටීමටත් හේතු වන්න පුළුවන්. මා චමුදිතගේ සාකච්ඡාවට එතරම් වැදගත්කමක් දෙන්නේ නැහැ. චමුදිතත් නැවත නැගිටින්න බලන ජනමාධ්‍යවේදියෙක්. මට වැදගත් වන්නේ සුමන්තිරන් අගමැති රාජපක්‍ෂ සමග කළ සාකච්ඡාව

සුමන්තිරන් නැවතත් අර දෙමළ ජනතාවගේ (එවැනි ජනතාවක් නැහැ. දෙමළ ජන කොටස් තුනක් නම් ඉන්නවා. ඒ උතුරේ නැගෙනහිර හා කඳුකරයේ) ප්‍රශ්නයක් ගැන කියවනවා. එවැනි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය මොකක් ද කියා කිසිවකු කියන්නේ නැහැ. එහෙත් වෙනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ සිංහල බෞද්ධයනට මෙරට හිමි තැන අහිමි කිරීම. මෙය ලන්දේසීන්ගේ කාලයේ සිට ක්‍රියාත්මක වන්නක්. ඒ සඳහා ලන්දේසීන් හා ඉංගිරිසින් දෙමළ වෙල්ලාලයන් යොදා ගත්තා, ගන්නවා. 

දෙමළ වෙල්ලාලයන් පළමුවෙන් ම මෙරටට පැමිණ ඇත්තේ පෘතුගීසි කාලයේ. එහෙත් ලන්දේසි කාලයේ තමයි ඔවුන් වැඩියෙන් ම ආනනය කරනු ලැබුවේ. සුමන්තිරන්ගේ පවුල ලංකාවට පැමිණියේ කවදා ද? ඔහුගේ පවුල මෙතෝදිස්ත වුණේ කවදා ද? ඔහු කොළඹට පැමිණ ඇත්තේ වයස අවුරුදු පහේ දි කියනවා. සමහරව විට පාසල් අධ්‍යාපනය සඳහා රාජකීය විදුහලට ඇතුල් වීමට වෙන්න පුළුවන්. මෙරට සිංහල බෞද්ධ විරෝධ ව්‍යාපරයේ නායකත්වය ගත් වෙල්ලායන් බොහෝ පිරිසක් ඉගෙන ඇත්තේ රාජකීය විද්‍යාලයේ. කිහිප දෙනකු ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබෙනවා. ඒ අය සිංහලයන් සමග වාසය කරමින් සිංහලයන් සමග ඉගෙන ගත්තාට සිංහල විරෝධය නැති කර ගෙන නැහැ.  

ඉංගිරිසින් සිංහලයනට විරුද්ධ ව  දෙමළ වෙල්ලාලයන් යොදා ගෙන ඇත්තේ නෝත් ආණ්ඩුකාරයාගේ කාලයේ සිට. පියසිරි අමරකෝන් සාක්‍ෂි සහිත ව පෙන්වා දී ඇති පරිදි කාසිචේට්ටි නමැත්තකු එහි දී ඉංගිරිසින්ට ආධාර කර තිබෙනවා. එමෙන් ම රට දෙකට බෙදන්න ඕන කියන සංකල්පය මුලින් ම ඉදිරිපත් වී ඇත්තේ දහනවවැනි සියවස මුල ගාල්ලේ පැවති මිෂනාරිවරුන්ගේ සම්මේලනයක දී. සමහර විට දකුණු ආසියාවේ ඉංගිරිසින් පිහිටුවූ මුල් ම පාසල රිච්මන්ඩ් විදහල වෙන්න පුළුවන්. 

කෙසේ නමුත් එලෙස පටන් ගෙන විකාශය වූ සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදය 2009 මැයි දහනවවැනි දා (සංවත්සරයට තව දින පහයි) නන්දිකඩාල් හි පරාජය කෙරුණා. ඉන් පසු ඒ ගැන තවත් කතා නැහැ. ඊනියා දෙවැනි ලෝක යුද්ධ ජයග්‍රහණයේ සංවත්සරයක් ඊයේ පෙරේදා කොවිඩ් අස්සෙත් පැවතණා. කිසිම පඬියකු කියනවා ද නට්සින් සමග නැවත සාකච්ඡා කළ යුතු ය කියා. දෙමළ ජාතිවාදයත් එක් අතකින් නට්සි වර්ගයේ ව්‍යාපාරයක්. ප්‍රභාකරන් බලයට පැමිණියා නම් සිංහලයන් ඉතුරු කරාවි ද? අදත් යාපනයෙන් පන්නපු සිංහලයන්ට ආපසු යන්න බැහැ. 

සුමන්තිරන් සමග නොවෙයි කිසිම දෙමළ ජාතිවාදියකු මුස්ලිම් අන්තවාදියකු සමග සාකච්ඡා අවශ්‍ය නැහැ. කළ යුත්තේ මේ ව්‍යාපාරවල අක්මුල් සොයා ගෙන නිසි පිළියම් යෙදීමයි. කිසිම දෙමළ ජාතිවාදියකු හරි මුස්ලිම් අන්තවාදියකු හරි ආණ්ඩුවට සම්බන්ධ කර ගත යුතු නැහැ. සිංහලයන් ඔවුන් නැතිවාට ආණ්ඩුව පවත්වාගෙන යාවි.