Main Logo

Friday 1 May 2020

වෛරසයේ නිජ භූමි හා වෛරයේ නිජභූමිය

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯


                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 




වෛරසයේ නිජ භූමි හා වෛරයේ නිජභූමිය  



ඊයේ මා ප්‍රංශයේ විද්‍යාඥයන්ගේ අදහසක් ප්‍රකාශ කළා. ඒ අදහස පළ වී ඇත්තේ ඉංගිරිසියෙන්. ඒ අනුව ප්‍රංශයේ කොවිඩ් වෛරසය චීනයේ වෛරසය ඇති වීමට පෙර සිදු වී තිබෙනවා. එමෙන් ම වෛරස වර්ගය (strain) ද වූහාන් වෛරස වර්ගයෙන් වෙනස්. ඒ ඒ රටවල සමගාමී ව මෙන් වෛරස නිර්මාණය වී ඇති බවත් වෛරස අතර සුළු සුළු වෙනස්කම් ඇති බවත් පේන්න තියෙනවා. ඇමරිකා එක්සත් රාජ්‍යවල නිව්යෝක් ප්‍රාන්තයේ වෛරස වර්ගය කැලිෆෝනියා ප්‍රාන්තයේ වෛරස වර්ගයට වඩා සුළු වශයෙන් වෙනස්. 


ඒ බව මා කලින් ලිපිවල ද සඳහන් කර ඇති. පැහැදිලිව ම ලෝකයේ දියුණු යැයි කියන පර්යේෂණාගාර කිහිපයක සමගාමී ව මෙන් සුළු සුළු වෙනස්කම් සහිත ව වෛරසය නිර්මාණය කෙරී තියෙනවා. මෙය මනුෂ්‍යයන්ගේ වැඩක් කියා හිතන්න අමාරුයි. විද්‍යාඥයන් කණ්ඩායම් කිහිපයක් එකතු වී ඒ ඒ පර්යේෂණාගාරවල වෛරසය නිර්මාණය කෙළේ ද? ඔවුන් ඒ වෛරස සමාජයට නිකුත් කිරීමට තීරණය කර තිබුණා ද? ඔවුන් එසේ කෙළේ තම රටවල ආණ්ඩුවල කැමැත්ත පරිදි ද? එසේ නම් ආණ්ඩු එ බව දැන සිටියා ද? දැන සිටියා නම් ජනතාවට අවශ්‍ය උපදෙස් දී නොතිබුණේ ඇයි?

ලංකාවේ කොළඹ හරි නුවර හරි වෙනත් තැනක හරි දියුණු හරි හමන් පර්යේෂණාගාරයක් නැති නිසා කිසිවකු මෙහි පැමිණ වෛරස නිපදවා නැහැ. එහෙත් අප රටේ වෛරස වර්ග හතරක් තියෙනවා කියනවා. ඒ කියන්නේ අපට රටවල් හතරකින් වෛරස ලැබී ඇති බව ද? අදාළ පරීක්‍ෂණ පිළිබඳ වාර්තා පරීක්‍ෂා කර යම් නිගමනයකට එන්න පුළුවන් ද? හුදෙක් දැන ගැනීම පිණිස. 

මොන විධියට බැලුවත් මේක දෙයියන්නෙ ලෙඩක්. නිල වශයෙන් හෙට (මැයි 2) නිකුත් වීමට ඇති (එහි විද්‍යුත් මුද්‍රණය දින දෙකකට කලින් මුදා හැරෙවා) නිව් සයන්ටිස්ට් සඟරාවේ ප්‍රවාෘත්තියකට අනුව වෛරසයට එන්නතක් නිපදවන්න තව කලක් යනවා. එය ජනතාව අතරට යවන්න ඊටත් වඩා කල් යනවා. අප වැනි සදාකාලික ව  දියුණු වෙමින් පවතින රටවල ජනතාවට එන්නත ලබා ගැනීමට තව සෑහෙන කාලයක් ගත වේවි.  අපට කැඳ කෝප්පය හා දුම් හට්ටිය තියෙනවා. 

අප ඊයේ සඳහන් කළා දේශීය වෙදමහතුන් කොවිඩ් පරාජය කිරීමේ දී යොදා ගැනීම පිළිබඳ ව. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තීරණය කර තිබෙනවා දේශීය වෙදමහතුන් ද යොදා ගන්න. වස්කඩුවේ සිට්රස් හෝටලය ගැන නම් සඳහනක් තිබුණේ නැහැ. සමහර විට අවශ්‍ය නැතිව ඇති. ඒත් නරක ද ඔය රට රටවල හිර වී ඇති භික්‍ෂූන් වහන්සේ එවැනි හෝටලවල නිරෝධායන වැඩ පිළිවෙළකට වැඩම්මවීම. කෙසේ වෙතත් අර නාවික භටයන්ට දුම් (වාෂ්ප) හට්ටිය දැනටමත් හමුදාවේ තීරණයක් මත දෙන බව දැන ගන්නට ලැබුණා. එය වැදගත් තීරණයක්. 

අද අරහෙන් මෙහෙන් ඇහෙන්න පටන් ගෙන කොවිඩ් මර්දනය මිලිටරිකරණය වීම ගැන. මා දැක්කා ජයදේව උයන්ගොඩත් ලිපියක් ලියා තියෙනවා. එතුමන් ලා කලක් මිිටරිකරණයට විරුද්ධ ව මිලිටරිකරණය වූ අය. දැන් මොන කරණය වී ද කියා දැන ගන්න නැහැ. ඒ කුමක් වුවත් මොකක් ද මේ මිලිටරිකරණය. කොවිඩ් වෛරසය විරුද්ධ සටන අද වඩාත් ම කාර්යක්‍ෂඟ ව කළ හැක්කේ හමුදාවට හා දේශීය වෙදමහත්වරුන්ට. 

බටහිර වෙදමහත්වරුන් හා වෙදහාමිනේලා අද අසරණ වෙලා. අර එන්නත එන තෙක් ඔවුන්ට කරන්න ඒ තරම් දෙයක් නැහැ. එහෙත් ඔවුන් කරන සේවය ඇගයයි යුතුයි. අර බටහිර වෙදමහතුන්ගෙ වෘත්තීය සමිතිය වගේ නහයෙන් අඬ අඬ වුැඩ කරන මිනිසුන්ට අවළාද නගමින් ආණ්ඩු විරෝධී දේශපාලනයක යෙදෙන්නෙ නැතිව ඔවුන් තමන් දන්න ශාස්ත්‍රය අනුව රෝගීන්ට සේවය කරනවා.  අද අවශ්‍ය ප්‍රතිශක්තිකරණ හැකියා ඉහළ දැමීම හා රෝගී ස්පර්ශකයන් හඹා යෑම. ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ දැමිය හැක්කේ දේශීය වෙදමහත්වරුන්ට හා වෙදහාමිනේලාට. රෝගී ස්පර්ශකයන් හඹා යා හැක්කේ පරණ හෝ අලුත් හෝ ජ වි පෙ සාමාජිකයන්ටවත් පඬියන්ටවත් පඬි පෝතකයන්ටවත් පඬි නැට්ටන්ටවත් ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන්ටවත් නො වෙයි. එය කළ හැක්කේ හමුදාවට හා බුද්ධි අංශවලට. 

ඊනියා යහපාලන ආණ්ඩුවෙන් දුර්වල කෙරුණු බුද්ධි අංශ නැවත පණ ගැන්වීමත් ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරීත්වය නිසා වූවක්. අද එය විසිහතර පැයේ දින හතේ රෝගී ස්පර්ශකයන් හඳුනා ගන්න වෙහෙස වෙනවා. පළමු වළල්ල, දෙවැනි වළල්ල, තුන්වැනි වළල්ල ආදී වශයෙන් කරන ලද හඳුනා ගැනීම් නිසා අද කෙහෙල්වත්ත ආදී පොකුරු අකර්මණ්‍ය කෙරී තිබෙනවා. එහි දී සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්, විශේෂයෙන් මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් හා තවත් අයගෙන් ලැබුණු සහාය අති විශිෂ්ටයි. එහෙත් එය හමුදා නායකත්වයකින් තොරව කරන්න බැහැ.

ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදීන් කියන විධියට වැඩ කළා නම් අද පොකුරු රාශියක් ම ඇති වී කොවිඩ් 19 අප සියලු දෙනා ම පරාජය කරන්න තිබුණා. එවිට ඔවුන්ට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක නාමයෙන් වෛරයේ නිජභූමිය වූ පැරණි පාර්ලිමේන්තුව කැඳවීම වගේ පුස් කෑ උද්ඝෝෂණවල  යෙදෙන්න තිබුණා. හමුදාව ඔවුන්ට ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දීලා. 

මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අවුරුද්දකට සැරයක්වත් කම්කරු පංතිය හොයා ගන්න උත්සාහ ගන්න ඕන. අද තමයි දවස. ඒත් අද පාරට බහින්න බැහැ. පාරට බැස්සොත් හමු වෙන්නෙ ඊනියා කම්කරු පංතියක් නොවෙයි අජිත් රෝහණ. 1963 සිට 1982 දක්වා මෙරට හරි පිටරට හරි මා මැයි පෙළපාලිවල ගිහින් තියෙනවා. 1976 අවුරුද්දෙ මා ලොකු පුතාත් ඔසවා ගෙන මෙල්බර්න් නුවර මැයි පෙළපාලියකට සහභාගි වුණා. පුතා මා තරම් මෝඩ වුණේ නැහැ. ඔහු නැති කම්කරු පංතියක් (proletariat) හොයන්න ගියේ නැහැ. ඩිල්කා දෙරණේ වුවමනාවට ඔහු පිටරට සිය ප්‍රථම උපාධිය නිම කළ බව ඒත්තු ගන්නන්න අනහතේ වැයම් කළා. දෙරණට පශ්චාත් උපාධි ගැන එතරම් වැටහීමක් නැහැ. ඔය ප්‍රොලිටේරියට් කියන එකට නිරෝධායනය වගේ නමක් දැම්ම නම් මොක ද?