Main Logo

Tuesday 12 May 2020

ජී එල්ට එරෙහිව ජයවික්‍රම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





ජී එල්ට එරෙහිව ජයවික්‍රම 



නීතිය බටහිර වෙදකම ඉංජිනේරු ශිල්පය හැදෑරීමට මට කිසිදු ආශාවක් නොවීම ගැන මට ඇත්තේ සතුටක්. මා ඊනියා වෘත්තීයකයෙක් නො වෙයි. මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ කටයුතු කරද්දී සම්මේලනය වෘත්තීයික සංවිධානවල සම්මේලනයේ (OPA) සාමාජිකත්වය ගැනීමට තදින් විරුද්ධ වුණා. ඇදුරන් පොදුවේ ගත් කල වෘත්තීයකයන් නොවේය යන්න මගේ අදහස වුණා. මා හිතන්නේ දැන් නම් ආචාර්ය සමිති සම්මේලනය අදහස් වෙනස් කරගෙන. මට දර්ශනය, ඉතිහාසය හැදෑරීමට තරමක කැමැත්තක් තිබුණත් ඒ නොහැදෑරීම ගැන සතුටු වන්නේ ඉතිහාසඥයන් දාර්ශනිකයන් කියා ගන්නා අය ලියන පල් හෑලි  දිගින් දිගට කියවීමට අවශ්‍ය නොවන නිසා. මා සඳහන් කරන්නේ ලංකාවේ කිසිවකු ගැන නො වෙයි. ලංකාවේ ඉතිහාසඥයකු හරි දාර්ශනිකයකු හරි අඩුම තරමෙන් දහනවවැනි සියවසෙන් පසුව බිහි වී නැහැ. 


මට බටහිර විද්‍යාඥයකු වීමට අවශ්‍ය ව තිබුණ  නමුත් ඒ කර ගන්න බැරි වුණා. එය අහඹුවක් නම් නො වෙයි. එයට හේතුවත් මා පසුව නිර්මාණය කර ගත්තා. ඊනියා හේතුත් අහඹුත් මිනිසුන්ගේ නිර්මාණ පමණයි. මා උගතකු බුද්ධිමතකු වියතකු නොවීම ගැන මා ඉන්නේ සතුටින්. එසේ වුණත් ඇතැම් දේ ගැන මට ලියන්න වෙනවා. දිනපතා ලියන්න වෙනවා. ඒ අපේ නිදහස වෙනුවෙන්. 

නිහාල් ජයවික්‍රම කියන්නෙ මගේ දැනුම අනුව ජී එල් පීරිස්ගෙ මස්සිනා. ඒ දෙන්නා සාමාන්‍යයෙන් ඉන්නෙ දේශපාලන වශයෙන් විරුද්ධ පැතිවල. එය අහඹුවක් ද හේතුවකට අනුව සිද්ධ වෙන්නක් ද තර්කයෙන් ඒ බව සනාථ කරන්න පුළුවන් ද රඟපෑමක් ද (ඒකත් හේතුවක් තමයි) යන්න මා දන්නේ නැහැ. මට මතක හැටියට ජයවික්‍රම සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආධාරකරුවකු ව සිටිය දී ජී එල් පීරිස් හිටියෙ ජේ ආර්ලා එක්ක. දැන් ජී එල් රාජපක්‍ෂලා එක්ක ඉන්න විට නිහාල් ජයවික්‍රම රාජපක්‍ෂලාට විරුද්ධයි. 

අධිකරණය මේ දිනවල රඟහලක් කියා මා කියන්නේ නැහැ. ඒත් එහි යම් යම් ආකර්ෂණීය දේ සිදු වෙනවා. නීතිපති (ඔහුගෙ නියෝජිතයා) කියලා තමා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියලා. මට එකවරට හිතුණේ නීතිපති අපේ ජනප්‍රිය කොමිසම අහක දාල කියලා. නාළිකාවලත් හේතුවක් කිව්වෙ නැහැ. 

මා අද දි අයිලන්ඩ් පුවත්පතෙන් තමයි දැනගත්තෙ නීතිපති එහෙම තීරණයක් අරගෙන තියෙන්නෙ ඇයි කියලා. නීතිපතිට අනුව මැතිවරණ කොමිසම රජයේ ආයතනයක් නො වෙයි. එය ස්වාධීන ආයතනයක්. නීතිපති පෙනී හිටින්නේ රජයේ ආයතන වෙනුවෙන් මිසක් ස්වාධීන කොමිසම් වෙනුවෙන් නොවන බවයි කියන්නෙ. මැතිවරණ කොමිසමට දැන් නීතිඥයන් හොයන්න වෙලා. 

ජයවික්‍රමත් දි අයිලන්ඩ් පත්තරේට ලියල. ඒ ලිපිය සිංහල බෞද්ධ විරෝධී කඩමාල්ලකත් පළ කරලා. ජයවික්‍රම තම ලිපිය කාට කාට ඇරිය ද කියල අපි දන්නෙ නැහැ. ජයවික්‍රම අද අලුත් තර්කයක් ගේනවා. ඔහුගේ අනෙක් තර්ක වගේ ම (අපි කලින් දිනවල ඒ ගැන ලියා ඇති) ඒකත් පුස්සක්. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 ව්‍යවස්ථාවේ දැක්වන අර්ථනිරුපණයකට යනවා. අර්ථනිරූපණයෙ අදාළ කොටස මෙහෙමයි. 

"170  “මහ මැතිවරණය අවසාන වීම” යන්නෙන්, 70 වැනි ව්‍යවස්ථාවේ (5) වැනි අනුව්‍යවස්ථාව යටතේ කරනු ලබන ප‍්‍රකාශනයේ නිශ්චය කොට දැක්වෙන දිනයේ දී හෝ දිනවල දී ඡන්දය විමසන ලද සියලූම මැතිවරණ කොට්ඨාස සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තෝරා පත් කර ගන්නා ලදැයි ඒ ඒ තේරීම් භාර නිලධරයන් විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීම හෝ ප‍්‍රකාශයට පත් කරන ලද ප‍්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් යම්කිසි පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ අයත් මන්ත‍්‍රීවරයන්ගෙන් සමන්විත වීම යන මේ දෙකින් පළමුව සිදුවන්නේ යමක් ද එය සිදුවන වේලාව අදහස් වේ."

මෙයින් කියන්න හදන්නෙත් 70(5) ඇති උත්තරීතර භාවයයි. 70(5) පූජනීය කඩන්න බැරි සික්ඛාපදයක් ලෙසයි මේ සියල්ලන් ම ඉදිරිපත් කරන්නෙ. මේ 170 ගැන මාත් සලකා බලා තිබුණා. මෙහි කියන්නේ මැතිවරණය අවසන් වීම තීරණය කරන්නේ කෙසේ ද යන්නයි. එය එක්කෝ 70(5) දැක්වෙන දිනයේ හෝ දිනවල ඡන්දය විමසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගන්නා ලද බව ප්‍රකාශ වීම හරි යම් පිළිගත් පක්‍ෂයකට හරි ස්වාධීන කණ්ඩායමකට හරි මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකට වඩා ලැබීම හරි වෙන්න ඕන.

මෙය යෙදෙන්නේ මැතිවරණය 70(5)න් දක්වා ඇති දිනයක මැතිවරණය පවත්වන විට. එසේ නොවන අවස්ථාවක මැතිවරණයක අවසානය යනු කුමක් ද? මැතිවරණ කොමිසම තීරණය කරලා 70(5) දක්වා ඇති දිනයෙ මැතිවරණය පැවැත්වෙන්නෙ නැහැ කියල. මැතිවරණ කොමිසමට එසේ මැතිවරණය නොපැවැත්වීම සඳහා බලය තියෙනවා.

70(5) න් දැක්වෙන දිනයේ  අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නොහැකි වුවහොත් මොකද වෙන්නෙ. එහෙම අවස්ථා ඇති වන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ම 70(6) ව්‍යවස්ථාවෙන් කියැවෙන්නෙ මොකක් ද? කලින් දවසකත් මා එය උපුට දැක්වූවා. එය මෙසේයි.

“70 (6) ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයත්, මේ ව්‍යවස්ථාවේ (5) වැනි අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව රැස්විය යුත්තේ යම් දිනයකට පෙර ද ඒ දිනයත් අතර දිනයක දී පැවැත්වීමට නියමිතව ඇති අවස්ථාවක, ඒ අනුව්‍යවස්ථාවේ කවර විධානයක් තිබුණ ද, පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද දිනයේ සිට සිව් මසකට පසු දිනයක් නොවන දිනයක රැස්වන ලෙස අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ ය.”

මෙයින් කියැවෙන එක් කරුණක් නම් 70(5) සඳහන් තුන්මාසයට පෙර අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුතු ය යන්න  අනිවාර්ය (mandatory) නොවන බවයි. එය හාරමාසයක් ඇතුළත වුවත් සිදුවිය හැකිය. තුන්මස යන්න උත්තරීතර හෝ පූජනීය හෝ නො වේ. දෙවනුව 70(6) යෙදෙන්නේ පාර්ලිමේන්තුව  70(5) න් නියමිත යම් දිනයක කැඳවීමට නියමිත අවස්ථාවක ය. එහි මැතිවරණයක් ගැන සඳහන් නො වේ.  අනෙක් අතට අප පෙන්වා දී ඇති පරිදි ප්‍රශ්නය වන්නේ ජනාධිපති නියම කරන දිනයේ දී මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් සිදු කරන්නේ කුමක් ද යන්න ය. ජනාධිපති මැතිවරණ දිනය  නියම කිරීමෙන් පසු බලතල ලැබෙන්නේ මැතිවරණ කොමිසමට ය. 

මැතිවරණ කොමිසමට හදිසි තත්වයක් උද්ගත වී ඇති අවස්ථාවක මැතිවරණ පනතේ 24(3) යටතේ වෙනත් දිනයක් නියම කළ හැකි ය. මැතිවරණය පැවැත්වීම පිළිබඳ සියලු බලතල ඇත්තේ මැතිවරණ කොමිසමට ය. 24(3) මෙසේ ය. "24(3) යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතුකොට ගෙන යම් මැතිවරණ කොට්ඨාසයක මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම, මැතිවරණය සම්බන්ධයෙන් (1) වන උපවගන්තිය යටතේ පළ කරන ලද  දැන්වීමෙහි සඳහන් දිනයෙහි කළ නොහැකි  වූ අවස්ථාවක, ගැසට් පත්‍රයෙහි පළ කරනු  ලබන නියමයක් මගින් කොමසාරිස්වරයා විසින් ඒ ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකි අතර, ඒ වෙනත් දිනය, ගැසට් පත්‍රයෙහි නියමය පළ කරනු ලැබීමෙන් පසුව එළඹෙන දහතරවන දිනයට  කලින් වූ දිනයක් නොවිය යුතු ය."
  
මැතිවරණ කොමිසමට ජූනි 20 සුදුසු නොවේ යැයි හැඟේ නම් නුවර පෙරහැර කාලය  වුව ද මැතිවරණ දිනය වෙනස් කළ හැකි ය. ඒ සඳහා   ප්‍රමාණවත් වන්නේ හදිසි තත්වයක් ඇති වීම ය. ඊයේ නීතිපති කීවාක් මෙන් මැතිවරණය පැවැත්වීම පිළිබඳ නීතිපතිට ඇති බලතල අධිකරණයක අභියෝගයට ලක් කළ නො හැකි ය.

ජයවික්‍රමලා ව්‍යවස්ථාව පීරන්නේ කල් ඉකුත් වූ ජනමත විරෝධී පරණ පාර්ලිමේන්තු හුචක්කුව  නැවත කැඳවීමට ය. බැරි වෙලාවත් මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වා නැති බව ජනාධිපති තීරණය කළහොත් පමණක් ජනාධිපති 113 යටතේ ක්‍රියා කරනු ඇත. ජයවික්‍රමලාගේ දැන ගැනීම පිනිස 113 මෙසේ දක්වමු. 

"113. මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් නිය කිරීමෙන් හෝ මැතිවරණයක් සඳහා දිනයක් නියම කිරීමෙන් පසු යම් වේලාවක ඒ නියමය අනුව යම් මැතිවරණ කොට්ඨාසයක කවර හෝ හේතුවක් නිසා මැතිවරණයක් පවත්වා නොමැති බව ජනාධිපතිවරයා සෑහීමකට පත්වන පරිදි පෙන්වා දෙනු ලැබුවහොත්, ඒ කොට්ඨාසයෙහි මැතිවරණයක් පවත්වන ලෙස, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන දැන්වීමක් මගින් වෙනත් නියමයක් ජනාධිපතිවරයා විසින් කවර හෝ වේලාවක කරනු ලැබිය හැකි ය."