Main Logo

Saturday 9 May 2020

වෙසක් දා බොරු කීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9 





වෙසක් දා බොරු කීම


මේ ලිපි ලියන්නේ පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට පිළිතුරු දීමට නො වෙයි. මුහුණු පොතේ ඇති වන ඊනියා සංවාද ගැන මට වැටහීමක් තියෙනවා. යම් ප්‍රශ්නයකට පිළිතුරක් දුන් පසු වෙනත් ප්‍රශ්න අසනවා. එහි කෙළවරක් නැහැ. මා පඬි නැට්ටන් දෙදෙනකුට මගේ ලිපියක් ගැන සඳහන් කළ කරුණු දෙකක් වැරදි බව පෙන්නුවා. ඒ පිළිතුරක් නො වෙයි. එක් පඬි නැට්ටකු මගේ ඊනියා පරස්පරයක් පෙන්වා තිබුණා. මා එය පරස්පරයක් නොවන බව පමණක් පෙන්නුවා. දැන් ඔහු වෙනත් ප්‍රශ්න අසනවා. කලින් ඇසූ ප්‍රශ්නයකටත් පිළිතුරු ඉල්ලනවා. මා ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නැහැ. 


මෙරට බටහිර අධ්‍යාපනයෙහි හා සංස්කෘතික ආධිපත්‍යයෙහි වඩාත් ම භයානක කාර්යභාරය ඉටු කරන්නේ බටහිර වෙදකම හා බටහිර විද්‍යාව. බටහිර විද්‍යාවේ හා බටහිර වෛද්‍ය විිද්‍යාවේ ආධිපත්‍යයට විරුද්ධ වෙමින් ඒ යොදා ගැනීම පරස්පරයක් නො වෙයි. ඒ දෙක ම පට්ටපල් බොරු. එහෙත් අප එය යොදා ගන්නවා. 

මා බොරු හා පට්ටපල් බොරු යන්න යෙදා ගන්නෙ කිනම් අර්ථයකින් ද යන්න විටින් විට මා ලියා තියෙනවා.     (http://www1.kalaya.org/2019/11/blog-post_14.html  සබැඳියෙන් දැක්වෙන ලිපිය) ඒ වගේ ම බටහිර වෙදකමේ ආධිපත්‍යය ගැනත් ලියා තියෙනවා. ඉඩ ලැබෙන පරිදි තව තවත් ලියනවා. පොදුවේ ගත් කල බටහිර දැනුමේ (පොදුවේ සංස්කෘතියේ) ආධිපත්‍යයෙන් අප මිදෙන්න ඕන. එය මගේ ජීවිත කාලයෙහි කර ගන්න බැරි වුණත් පසුව හරි  කෙරෙන්න ඕන දෙයක්. නිදහස යනු මේ සියලු ආධිපත්‍යයන්ගෙන් නිදහස් වීමයි. 

මෙරට සෞඛ්‍යය කියන්නේ බටහිර වෙදකමේ සෞඛ්‍යය. එය ඉංගිරිසින්ගෙ කාලෙ පැන වූ අණ පනත් හා පනත් නිසා සිදු වන්නක්.  මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය නම් කර ඇත්තේත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලෙස. එය සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කරන්න බැරි නම් සෞඛ්‍ය හා බටහිර වෛද්‍ය අමාත්‍යාංශය ලෙසයි නම් කරන්න ඕන. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පාරම්පරික වෙදමහතකු නම් කරන දවසක් එන්න ඕන. ඒ ගැන පසු දිනෙක ලියන්නම්.

දේශීය වෙදකමට ඉන්නෙ අතිරේක ලේකම් කෙනෙක් හා කොමසාරිස්ලා. ඒත් ආයුර්වේද කොමසාරිස්වරු. පාරම්පරික වෙදකමට ඊනියා වෛද්‍ය සභාවක්වත් නැහැ. ආයුර්වේදය දේශීය වෙදකමක් නො වෙයි. ඇතැමුනට එයට තරහ යයි.  

අද බොරු යන්න ප්‍රශ්නයක් වෙලා. ඒ කියන්නෙ ඒක තේරුම් ගැනීම ප්‍රශ්නයක් වෙලා. මා බොරු යන්න යොදා ගන්නෙ කිනම් අර්ථයකින් ද යන්න කියල තියෙනවා. අද තව ටිකක් විස්තර කරන්නම්. ඇතැමුන් වෙසක් දා ගෙදර සිල් සමාදන් වෙලා. ඔවුන්ගෙන් කවුරු හරි කියන්න පුළුවන් මා ගෙදර සිල් ගත්තා කියා. තවත් අයකු සිල් සමාදන් නොවී කියන්න පුළුවන් මා ගෙදර සිල් ගත්තා කියා. දෙවැන්නා මුසාවක් කියනවා. පළමු වැන්නා කියන්නේ මුසාවක් නො වෙයි. ඒත් බොරුවක්. මා (සංකල්පය) කියන්නේ සම්මුතියෙන් පමණක් ගත හැක්කක්. මම කියා කෙනකු නැති බවයි මා දන්නා බුදුදහමේ කියන්නෙ. බුදුහාමුදුරුවන් ආත්මයක් නැත යන්න තමයි දේශනා කෙළේ. එහෙත් එය තේරුම් ගන්න බැරි වුණු බමුණු කුලයෙන් පැමිණ පැවිදි වූ අය, විශේෂයෙන් ම මහායානිකයන් පුද්ගලවාදය ආදී වාද ගොඩ නැගුවා. 

එහෙත් මා යන සංකල්පය නැතිව අපට වැඩ කරන්න බැහැ. අප කියන්නෙ ම බොරු. පරිගණකය පෑන ආදී නාම පද බොරු. ඒවා ඉන්ද්‍රිය ගෝචර බොරු. මා බොරු සහ මුසා අතර වෙනසක් දකිනවා. බොරු කියන්නෙ සම්මුතියෙන් පමණක් තියෙන දේ කතා ආදිය. බොරුවලට අසත්‍ය කියා කියනවා. බමුණන්ට සත් කියන්නෙ පවතින කියන එක. අසත් කියන්නෙ නැති බව. අපට එයට වඩා වෙනස්. අපට සත් නැහැ.මා කියා කෙනකු නැහැ. එය අසත්. මා කියන්නෙ බොරුවක්. එහෙත් සම්මුතියෙන් මා කෙනකු ඉන්නවා. ඒ බොරුව අප සම්මුතියෙන් පිළිගන්නවා. අපට බොරු නොකියා ඉන්න බැහැ.

සිල් අරගෙන මා සිල්ගත්තා කියන තැනැත්තා බොරුවක් කිව්වත් එය සම්මුතියෙන් බොරුවක් නො වෙයි. පෑන මේසය මම බොරු වුණත් ඒ බොරු ඊනියා ඇත්ත කියා සම්මුතියෙන් පිළිගන්නවා. සිල් අරගන්නෙ නැතිව මා සිල් ගත්තා කියන තැනැත්තා කියන්නෙ මුසාවක්. එය බොරුවක් ඉක්මවූවක්. වහින වෙලාවක වහිනවා කියන එක බොරුවක්. වහින වෙලාවක වහින්නෙ නැහැ කියන එක මුසාවක්. අපට බොරු කියන්නෙ නැතිව ඉන්න බැහැ. එහෙත් මුසා බස් නොකිය ඉන්න පුළුවන්. හතරවැනි සික්‍ෂාපදයෙ මුසාවාද කියන්නෙ බොරුවලට නොවෙයි කියන එකයි මගේ පිළිගැනීම. 

අප ඇත්ත කියල පිළිගන්නෙ සම්මුතියෙන්. බොහෝ විට සංගත බොරු කුලකයකට ඇත්ත කියල කියනවා. මා පරිගණකයෙන් ලියනවා කියන්නෙ සම්මුතියෙන් පිළිගත් ඇත්තක්. මේ වෙලාවෙ මා එය කරනවා. එහෙත් එසේ නොලියන විටක මා පරිගණකයෙන් ලියනවා කිවුවොත් ඒ මුසාවක්. මා ගෙදර යනවා කියන එක සංගත ඇත්තක් වෙන්න පුළුවන්. මා යැයි කෙනකු නැති වුවත් ගෙදරක් කියා එකක් නැති වුවත් යන්නකු නැති වුවත් මා ගෙදර යනවා කියන වචන සංගත ව කියන්න පුළුවන්.

බොරු සම්මුතියෙන් ඇත්ත ලෙස පිළිගැනෙන්නෙ ඒවා වැඩ කරන නිසා. එහෙමත් නැත්නම් ඒවා හරි යන (හරි නොවෙයි) නිසා. අහසට ඉණිමං බඳින්න බැහැ. එහෙත් ඉණිමගකින් ගහක අත්තකට යන්න පුළුවන්. ඉණිමගක් නැති වුණත් ගහක් නැති වුණත් අත්තක් නැති වුණත් ඉණිමගක් තියල ගහකට යන්න පුළුවන්. ඉණිමග ඒ අරුතින් වැඩ කරන බොරුවක්. වැඩ කරන හරි යන බොරුවලින් තමයි ජීවිතය සකස් වෙන්නෙ. 

ගඟට ඉණි කැපීමත් වැඩ කරන බොරුවක්. ඉන් වැඩක් වෙන්නෙ නැති එක වෙන ම කරුණත්. ඒත් ගඟ, ඉණි, කැපීම වැඩ කරන බොරු. වැඩ කරනවා කියන එකෙන් වැඩක් තියෙනවා කියා කියැවෙන්නෙ නැහැ. මා වෙසක් දවසෙ සිල් ගත්තෙ නැහැ. එදා මා පරිගණකයෙන් වෙසක් සිතුවිලි මැයෙන් ලිපියක් ලිවූවා. වෙසක් දවසෙ භාවනා කරන්න ම ඕන නැහැ. හිතන්නත් පුළුවන්. හිතන්නෙ නැති මිනිසුන්ට වෙසක් දවසෙ නොවෙයි කිසි ම දවසක හිතන්න බැහැ. 

ඔවුන් ධ්‍යාන වඩනවා ද කියා දන්නෙ නැහැ. සෙන් බුද්ධාගමේ ක්වොන් මෙනෙහි කරනවා ද දන්නෙ නැහැ. මොනව කරත් බොරු කියන්නෙ නැතිව ඉන්න බැහැ. මා නම් වෙසක් දවසෙත් අන් හැමදාත් බොරු කියනවා. සාමාන්‍යයෙන් මුසා බස් දොඩන්නෙ නැහැ. 

අපට ඊනියා සත්භවවේදයක් (ontology) නැහැ. අවශ්‍ය ම නම් සත්භවවේදයත් ඥානවිභාගයේ (epistemology) ම කොටසක් ලෙස ගන්න පුළුවන්. මේ වචන අපට වැදගත් නැහැ. බුදුදහම දර්ශනයක් නොවෙයි. එය විදර්ශනයක්.

බටහිර විද්‍යාවෙ කරන්නෙ වැඩ කරන වියුක්ත ප්‍රවාද හා සංකල්ප හදන එක. මා ඒවාට පට්ටපල් බොරු කියා කියනවා. වියුක්ත බොරු පට්ටපල් බොරු. මා බොරු වගේ ම පට්ටපල් බොරුත් යෙදා ගන්නවා.