Main Logo

Tuesday 15 October 2019

බැසිල් එන්නේ මොකාට ද?

         සිංහල ලිත් ඉලක්කම්


බැසිල් එන්නේ මොකාට ද? 



බැසිල් රාජපක්‍ෂ ඉන්දියාවේ පුවත්පතකට ප්‍රකාශයක් කරලා. සුපුරුදු විධියට ඔහු තමාට ජාතිකත්වයක් නැති බව කියලා. ඔහු කියා ඇත්තේ උපරිම ලෙස බලය බෙදනවා කියා. උපරිම ලෙස බලය බෙදන්න පොදුජන පෙරමුණක් අවශ්‍ය නැහැ. එ ජා පක්‍ෂය හරි චන්ද්‍රිකා හරි ඉඩක් දුන්නොත් ඒ කරාවි. බැසිල් හදන්නේ ගෝඨාභයගේ ඡන්ද කඩන්න ද?


බැසිලිකාවෙ ඉන්න ස්මාට් ජාතිකවාදීන් හැරෙන්න වෙනත් අයකු බැසිල් සමග එකග වන්නේ නැහැ. බැසිලිකාවෙ ඉන්නෙ අංක එකේ ප්‍රාඥයන්. ඔවුන් අයින්ස්ටයින්ටත් උගන්නනවා. ඔවුන්ට අනුව ඊනියා මහා සාපේක්‍ෂතා න්‍යායට අමතර ව විශේෂ සාපේක්‍ෂතා න්‍යාය හඳුන්වා දී තියෙනවා. මෙහි න්‍යාය යන්න ම වැරදි වචනයක්. ඉංගිරිසියෙන් ජෙනරල් කියන්නෙ මහා නොවෙයි. සාධාරණ සාපේක්‍ෂතාවාදයට අමතර ව විශේෂ සාපේක්‍ෂතාවාදයක් හඳුන්වා දුන්නේ නැහැ. සාපේක්‍ෂතාවාදයේ වර්ධනය නොව එහි අයන්නවත් දන්න අයකු එහෙම ලියන්නේ නැහැ. බැසිලිකාවෙ ඉන්න අයගෙන් අපට බැසිල් මනින්න බැහැ. ඒත් අප දන්නවා බැසිල් ජාතිකත්වයක නැති බව.

බැසිල් කියන්නේ කුමන බලයක් බෙදීමක් ගැන ද? එය පරිපාලනය පමණක් නම් අපට ප්‍රශ්නයක් නැහැ. ග්‍රාම නිලධාරි දක්වා පරිපාලනය බෙදන්න පුළුවන්. එහෙත් ඉන්දියාවේ පුවත්පතක් ලංකාවේ දෙමළ කතා කරන ජනයා වෙනුවෙන් බලාපොරොත්තු වන්නේ පරිපාලන බලය බෙදීම නො වෙයි. ඔවුන් කතා කරන්නේ ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් ජාතික හැඳුනුම් පත ලබා ගැනීම ගැන නො වෙයි. බැසිල් යම් විධියකින් කියා ඇත්තේ පරිපාලන බලය බෙදීමක් ගැන නම් මේ ලිපියෙන් කෙරෙන විවේචනය වලංගු වන්නේ නැහැ. එහෙත් එසේ නම් ඔහු ඉහත කී පුවත්පතට වහාම තම ස්ථාවරය පැහැදිලි කළ යුතුයි. එසේ පැහැදිලි නොකරන තාක්  මේ විවේචනය වලංගුයි. ඒ පැහැදිලි කිරීම මෙරට වොයිස්කට් ජනමාධ්‍යයට පමණක් නොවිය යුතුයි.   

මේ උපරිම වශයෙන් බලය බෙදීම නැත්නම් විමධ්‍යගත කිරීම යනු කුමක් ද? ඒකීය රාජ්‍යයක නම් ව්‍යවස්ථාදායක බලය අංශු මාත්‍රයක්වත් විමධ්‍යගත කරන්න බැහැ. ව්‍යවස්ථාදායක බලය අංශු මාත්‍රයක්වත් විමධ්‍යගත කළහොත් එතැන ඇත්තේ සන්ධීය රාජ්‍යයක්. අද ලංකාවෙ තියෙන්නෙත් සන්ධීය රාජ්‍යයක්. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට සන්ධීය රාජ්‍යයක් ඇති කෙරුණා.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කළ අවස්ථාවේ විනිසුරුවන් නව දෙනාගෙන් හතර දෙනකු කියා සිටියේ ඉන් සන්ධීය රාජ්‍යයක් ඇති වෙන බවයි. හතර දෙනකු කියා සිටියේ රාජ්‍යය ඉන් පසුව ද ඒකීය කියා. එක් විනිසුරුවකු පාරින්ද රණසිංහ මහතා කියා සිටියේ 154 (G) (2) අනුව්‍යවස්ථාව අනුව රාජ්‍යය සන්ධීය වන බවත් එය ඇතිව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත්. එහෙත් ජේ ආර් ජයවර්ධන උප්පරවැට්ටි මගින් එය ජනමත විචාරණයකින් තොර ව සම්මත කර ගත්තා

පනත සම්මත වීමෙන් පසු නැවත අධිකරණයට ගොස් එය අවලංගු කිරීමට ඉල්ලන්න බැහැ. දහතුන දැන් මෙරට ව්‍යවස්ථාවට ඇතුළත්. අප දැන් සන්ධීය රාජ්‍යයක්. ඒ නිසයි අප මුල සිට ම කියන්නේ දහතුන අහෝසි කළ යුතු ය කියා. එහෙත් මෙතෙක් කිසිම ආණ්ඩුවක් එයට අත ගසා නැහැ. අප ඒකීය කියා බොරුවට කෑ ගසන්නේ සන්ධීය රාජ්‍යයක. බැසිල් කියන්නේ දහතුන තව තවත් ශක්තිමත් කිරීමට. 

අප අවුරුදු තිහක පමණ කාලයක් තිස්සේ අහන ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ කතා කරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නය, අසාධාරණය කුමක් ද යන්නයි. එවැනි ප්‍රශ්න කිහිපයක් ම මා අසා තිබෙනවා. මනසින් තොර යථාර්ථයක් පවතින බව මනසින් තොර ව පෙන්වන්න පුළුවන් ද? මනසක් ඇත්නම් පරිනිබ්බාණයේ දී මනසට සිදු වන්නේ කුමක් ද? එය නැති වෙනවා ද, නැත්නම් දිගට ම පවතිනවා ද? මේ ප්‍රශ්න එකකටවත් පිිළිතුරක් ලැබී නැහැ. බැසිලිකාවෙ කාහට හරි ප්‍රශ්න එකකටවත් පිළිතුරක් දෙන්න පුළුවන් ද? පිළිතුරු තැපැල් පතක ලියා එවන්න බැරි නම් වෙන ක්‍රමයකට එවන්න. හොඳ ම පිළිතුරට හොඳ තෑග්ගක් දෙනවා.

බැසිල් කෙසේ වෙතත් මහින්ද හා ගෝඨාභය නම් දෙමළ ජාතික සංධානයට දී තිබූ පිළිතුරු එහි නායකයන් පිළිගෙන නැහැ. මට හිතෙන විධියට මහින්ද හා ගෝඨාභය දෙමළ ජාතිවාදී නායකයන්ට කියා ඇත්තේ උතුරේ ජනයාට ඇති ප්‍රශ්න අනෙක් පළාත්වල ජනයාටත් ඇති බවයි. රටේ සියල්ලන්ගේ ම ප්‍රශ්න විසඳන්න ඕන. දෙමළ කතා කරන ජනයාට දෙමළ නිසා ම විශේෂිත වූ ප්‍රශ්නයක් නැත් නම් ඒ සඳහා ඊනියා විසඳුම් ද අවශ්‍ය නැහැ. බැසිල් උපරිම වශයෙන් බලය විමධ්‍යයගත කරන්න කියන්නෙ අහවල් දේකට ද? 

මේ ඡන්ද කුට්ටි දේශපාලනයට මිස වෙන එකකට නොවෙයි. බැසිල් ඡන්ද කුට්ටි හිඟමනේ නොගොස් ශ්‍රී ල නි ප, ම එ පෙ, ජ නි පෙ, පි හෙ උරුමය ආදී පක්‍ෂ සමග කට්ටිවාදී නොවී සුහද ව කටයුතු කරනවා නම් සිංහල ජනතාවගේ ඡන්දවලින් 70%කට වඩා ලබා ගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙත් ඔහු හා ඔහු අනුව යන්නන් හැම තිස්සෙ ම බලන්නෙ අනෙක් පක්‍ෂ කොන් කරන්න. මට ලැබෙන ආරංචි එතරම් හොඳ නැහැ. බැසිල්ට ඒ අනෙක් පක්‍ෂවලට සුහදත්වයක් දක්වනවාට වඩා දෙමළ ජාතිවාදී හා මුස්ලිම් අන්තවාදී පක්‍ෂ සමග ඡන්ද කුට්ටි දේශපාලනයෙහි යෙදීම ප්‍රිය ජනක ද?

අප කලට පෙර ඇසූ තවත් ප්‍රශ්නයක් නැවත අහන්න සිදු වෙනවා. බලය උතුරු පළාතට (හා අනෙක් පළාත්වලට) විමධ්‍යගත කිරීමෙන් වැල්වත්තේ, කොටහේනේ, අද වන විට නුගේගොඩත් වෙසෙන දෙමළ කතා කරන ජනයාට ඇතැයි කියන ප්‍රශ්නය විසඳන්නේ කෙසේ ද? ඔවුන් උතුරු පළාතට යවනවා ද? ප්‍රශ්නයක් තියෙනවා නම් එය සියළු දෙමළ කතා කරන ජනයාට පොදු විය යුතුයි. එය පොදුවේ විසඳිය යුතුයි. 

මොනවා වුණත් මොන සංවිධායක වුවත් බැසිල් ගෝඨාභයගේ සිංහල බෞද්ධ ඡන්ද නොකඩා සිටිනවා නම් හොඳයි. ගියවර මහින්ද පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අඩු වීම නිසයි.