Main Logo

Friday 11 October 2019

හම්බන්තොට අරවින්දතොට කරමු ද?

           සිංහල ලිත් ඉලක්කම්


හම්බන්තොට අරවින්දතොට කරමු ද? 


අද පඬියන් කියන කතාවක් තමයි මෙරට සියළු දෙනා ම සමානය කියන එක. පඬියන් කට ඇරියොත් එක දිගට කියා ගෙන යනවා සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් කතාව. සමහරු කියන්නේ ඒ ජාතීන් ගැන. තවත් සමහරු ජනවර්ග කියා කියනවා. ඒ කොහොම කිව්වත් ඉන් කියැවෙන්නෙ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සමානය කියලා. මා දන්නෙ නැහැ අලි සබ්‍රි කියන්නෙත් ඒකම ද කියලා. ඒත් පඬියන් කොහොම කිව්වත් මෙරට සියළු සංස්කෘතීන් සමාන වෙන්නෙ නැහැ. 


පුද්ගලයන් හැටියටත් මිනිසුන් සමාන වෙන්නෙ නැහැ. ජනාධිපති නීතිඥයකු සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් උසාවිවල වැඩ කරන නීතිඥයකු සමග සමාන වෙන්නෙ නැහැ. දේශපාලනඥයන්ට නළුවන්ට නිළියන්ට කලාකරුවන්ට නිවේදකයන්ට සහ වෙනත් එවැන්නන්ට ලැබෙන ප්‍රසිද්ධිය අනෙක් අයට ලැබෙන්නෙ නැහැ. මහින්ද රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස කිව්ව ම නොදන්න කෙනෙක් නැතිව ඇති. ඒත් මේ දෙකෝටියක් පමණ ජනතාවගෙන් අති විශාල බහුතරය ගැන දන්නා අය කවුද? 

අපට කියන්න පුළුවන් සියළු දෙනා නීතිය ඉදිරියේ සමානය කියා. ඒත් තම නඩුවට පෙනී සිටීමට ජනාධිපති නීතිඥයකු ලබා ගැනීමට හැකි කී දෙනකු ඉන්නවා ද? කිසිම නීතිඥයකු ලබා ගැනීමට නොහැකි අය කී දෙනකු ඉන්නවා ද? අප සියළු දෙනා නීතිය දැන සිටිය යුතු ය යුතුය කියා කියනවා. අප සියළු දෙනා නීතිය දන්නවා නම් නීතිඥයන් කුමකට ද කියල අහන්න වෙනවා. කෙනෙකුට අධිකරණයේ තමා වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්. ඒත් කී දෙනකුට ඒ සඳහා හැකියාවක් තියෙනවා ද?

අප උත්පත්තියෙන්වත් සමාන වන්නේ නැහැ. අපේ හැඩ රුව වෙනස්. අපේ දෙමව්පියන්ගේ හැකියාවන් වෙනස්. අප සියළු දෙනාට එක ම මට්ටමේ පාසල්වලට යන්න ලැබෙන්නේ නැහැ. ළඟ ම පාසල හොඳ ම පාසල වෙන්නේ රනිල් වගේ කිහිප දෙනකුට පමණයි. අකිලගෙ පදිංචිය කොහෙ ද? කුලියාපිටියෙ ද කොළඹ ද? මා අහන්නෙ ඡන්ද ලැයිස්තුවෙ නම තියෙන්නෙ කොහෙද කියන එක නො වෙයි. 

එක ම දෙමව්පියන්ගෙ දරුවන් එකිනෙකාට වෙනස්. ගසක හැදෙන ගෙඩි වෙනස්. ඒ මොකො ද කියල ඇහුව ම බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියාවි. දෙමව්පියන්ගෙ ජාන හරි මොනව හරි එක ම විධියට මිශ්‍ර වෙන්න ඕන නැහැ. මල් නැතිව හට ගන්නා ගෙඩි ගහේ ගෙඩිය හැදෙන තැන අනුව වෙනස් වෙනවා ද? ඒ හැදෙන තැන් වෙනස් වන්නෙ කොහොම ද? පරාග එහාට මෙහාට ගෙනියන කෘමීන් එක ම විධියට පරාග ගිහින් තියන්නෙ නැත්තෙ ඇයි? 

මේ සමානතාව කියන්නෙ පට්ටපල් බොරුවක්. මිනිසුන් පුද්ගලයන් හැටියට සමාන නැති වුවත් අප මිනිසුන්ට වෙනස් විධියට සලකන්න ඕන නැහැ කියන්න පුළුවන්. ඒක නම් හොඳ අදහසක්. ඒත් ඒක එහෙම ම ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. තැපැල් කන්තෝරුවෙන් මුද්දරයක් ගන්න ගියත් ඒක ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. විශේෂ සැලකිලි ලැබෙන අවස්ථා දකින්න පුළුවන්. 

පුද්ගල සමානත්වය කියන්නෙ වියුක්ත අදහසක් මිසක් සංයුක්ත ව ක්‍රියාත්මක වෙන දෙයක් නො වෙයි. මා අපේ ගෙදරට එම සැම සාමාන්‍යයෙන්  පිළිගන්නවා. ඒත් මා දෙන්නකු ගෙදරින් එළව ගත්තා. එක් අයකු තාමත් ජීවත් වෙන ඉන්දිය ඒජන්තයෙක්. නැහැ, ඔහු ඉන්දීය ජාතිකයකු නො වෙයි. අනෙක් තැනැත්තා පූජකවරයෙක්. ඔහු ජීවතුන් අතර නැහැ. ඔහු අඟේ ඉඳන් කණ කෑ පූජකවරයෙක්. සිංහල බෞද්ධ විරෝධියෙක්. 

පුද්ගල සමානත්මතාව වියුක්ත අදහසක් පමණයි. ඒත් ඒකෙ හොඳ දේ තියෙනවා. බමුණන් කියා හිටියෙ තමන් බ්‍රහ්මයාගෙ කටින් උපදින අය කියා. ඔවුන්ට උපදින තැන කොතන ද කියලා බුදුහාමුදුරුවො කියල දුන්නා. එතකොට බ්‍රහ්මයාගෙ කට මොකක් ද කියල කාටත් තේරෙන්න ඕන. සමහර විශ්වවිද්‍යාලවල බිහිදොර අබියස වගේ පාඨ ලියනවා. ඒ මොකක් අබියස ද කියල ඔවුන් හරියට කියන්නෙ නැහැ. 

ජාතීන් ජනවර්ග අතර සමානතාව වියුක්තව ගන්නත් බැහැ. ජාතිය ජනවර්ග කියන්නෙ ම දෙකක්. එතන ම අසමානතාවක්. ලංකාවෙ නම් ජාතියක් තියෙන්නෙ සිංහල විතරයි. දෙමළ ජනවර්ගයක්වත් නො වෙයි. ඔවුන් දෙමළ කතා කරන පිරිසක් පමණයි. මුස්ලිම් කියන්නෙ යම් ආගමක් අදහන පිරිසක්. ඔවුන් සාමාන්‍යයෙන් හිතන්නෙ ජාත්‍යන්තර වශයෙන්. එය ලංකාවෙ මුස්ලිම් කියල කියන්න පුළුවන් නම් හොඳයි. බටහිර රටවල විවිධ ක්‍රිස්තියානි සංස්කෘතීන්ට තියෙන තැන මුස්ලිම් සංස්කෘතියට තියෙනවා ද? 

සිංහල බෞද්ධ කියන එක අර්ථවත්. අපි ඊනියා බෞද්ධයන් නො වෙයි. අපි වැඩි දෙනා ඕල්කට් බෞද්ධයන් නො වෙයි. ඕල්කට් බෞද්ධයන් නම් ජාත්‍යන්තර බෞද්ධයන්. ඒත් ජාත්‍යන්තර බෞද්ධකමක් නැහැ. ලෝක බෞද්ධ සම්මේලනය නාම පුවරුවක් පමණයි. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයත් කිහිප දෙනකුට සීමා වෙලා. 

ඊනියා බෞද්ධ සහෝදරත්වයක් නැහැ. අප එකතුවන්නෙ බුදුුසසුන කියන කතාව වටේ. අප බුදුසසුනේ චිරස්ථිතිය සඳහා වැඩ කරනවා. ශ්‍රී ල නි පක්‍ෂයත් පොහොට්ටුවත් ම එ පෙරමුණත් පිවිතුරු හෙළ උරුමයත් ජාතික නිදහස් පෙරමුණත් ඒ ගැන සිතා බලා තියෙනවා ද? අර නවවැනි වගන්තිය කිසිම බලයක් නැති වගන්තියක්. අඩු තරමෙන් ඉංගිරිසින් පනවපු 1892 අංක හතර දරණ ආඥාපනතවත් ක්‍රියාත්මක කරනවා ද? ගුරුකන්දෙ හාමුදුරුවන් ආදාහන කෙළෙත් කොපමණ අමාරුවකින් ද? 

මේ රටේ විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ. කාදිනල්තුමාත් ඒ බව පිළිගන්නවා. ඒත් දේශපාලනඥයන් වැඩි දෙනකු ඒ බව පිළිගන්නෙ නැහැ. ඒ ඡන්ද කෑදරකම නිසා. සිංහලයන්ට හරියට කතා කරනවා නම් ඡන්ද ගණුදෙනු අවශ්‍ය නැහැ. කොහොමටත් සිංහල බෞද්ධ සංස්කෘතිය සමග වෙන කිසිම සංස්කෘතියක් මෙරට සමාන වෙන්නෙ නැහැ. අපි දෙමළ මහා සෑය ගැන හම්බන්තොට ගැන කතා කරනවා. ඒත් සිංහල රටක් දේශයක් ගැන මිස සිංහල තොටක් ගැන කියන්නෙ නැහැ. විජය හා පිරිස පැමිණියේ ය කියන තම්මැන්නාවටවත් සිංහල තොට කියන්නේ නැහැ. සිංහල සෑයක් මේ රටේ නැහැ. 

දැන් දෙමළ කතා කරන ජනයාට අගෞරවයක් කියා දෙමළ මහා සෑයේ නම වෙනස් කරනවා ද? මුස්ලිමුන්ට අගෞරවයක් කියා හම්බන්තොට කියන නම වෙනස් කරනවා ද? රාජපක්‍ෂවරුන්ගේ පමණක් නොව සජිත්ගේ දිස්ත්‍රික්කයත් හම්බන්තොට. හම්බන්තොටට අරවින්දතොට කියමු ද? නැහැ, අරවින්ද තොට දෙන්නම් කියන අරුතින් නොවෙයි.