Main Logo

Thursday 31 October 2019

විජාතික තක්කඩි ආණ්ඩුව

     සිංහල ලිත් ඉලක්කම්



විජාතික තක්කඩි ආණ්ඩුව



මේ ආණ්ඩුව (රනිල්ගෙ ආණ්ඩුව) තරම් විජාතික තක්කඩි ආණ්ඩුවක් තිබී නැහැ. ජේ ආර්ගෙ ආණ්ඩුවත් මේ තරම් විජාතිකයන් වෙනුවෙන් තක්කඩිකම් කෙළේ නැහැ. රනිල් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය මතුරමින් තක්කඩි වැඩ කරනවා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් තක්කඩි ක්‍රමයක්. ඒ අතින් බැලුව ම රනිල් ප්‍රජාතන්ත්‍රවාදය සුපිරි ආකාරයකින් යොදා ගන්නවා.




පහුගිය අඟහරුවාදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුමැතිය ලැබිලා. මංගල සමරවීර ටික දිනකින් ගිවිසුම අත්සන් කරන්න යනව. මේ ආණ්ඩුවට තව ඉන්න පුළුවන් දවස් දහසයයි. ඒ ටිකට රට පාවා දෙන තව ගිවිසුමක් අත්සන් කරන්න හදන්නෙ.



අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පමණක් එයට විරුද්ධ වූ බවයි කියැවෙන්නෙ. ඒ කියන්නෙ සජිත් චම්පක ආදීන් ද පනතට පක්‍ෂ වෙලා. ඔවුන්ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ ගිවිසුම අත්සන් කිරීම නවත්වන්න ක්‍රමයක් තියෙනවා ද?



ආණ්ඩුවේ අවසන් දවස් කිහිපයෙහි මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම සමහර විට ජනාධිපතිවරණ පනතට විරුද්ධ නැතිව ඇති. එබැවින් මැතිවරණ කොමිසමේ සභාපති නිහඬ වනවා වෙන්න පුළුවන්. ඔහුට ප්‍රශ්නය පන්සල්වල කෙරෙන ඊනියා ජනාධිපති අපේක්‍ෂක ප්‍රවර්ධන කටයුතු. මැතිවරණ කොමිසමේ සභාපති මෙරට සම්ප්‍රදාය දන්න අයකු නො වෙයි. ඔහු දන්නවා කියා හිතන්නේ බටහිර සම්ප්‍රදාය. ඔහුට මාක්ස්වාදී පසුබිමකුත් වටාපිටාවකුත් තියෙනවා.



මැතිවරණ කොමිසමේ සභාපති මොනව කිව්වත් නැතත් ආණ්ඩුවට දින කිහිපයක් පමණක් තියෙද්දී මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ ගිවිසුමෙන් ලංකාවට වන ලාභය කුමක් ද පාඩුව කුමක් ද ? ඩොලර් මිලියන 480ක් නැත්නම් කෝටි 48ක් ලැබෙනවා කියනවා. ඒකට හිලව්වට අප දෙන දේ මොනවා ද? ඒවාහි වටිනාකම තක්සේරු කරන්න පුළුවන් ද? මෙරට නිදහසට (සීමිත වුවත්) ස්වෛරීභාවයට අගයක් දෙන්න පුළුවන් ද



සජිත් ද අදාළ ගිවිසුමට ඡන්දය දීලා තියෙනවා. ඔහුත් රට පාවා දීමේ අකුසලයට තම දායකත්වය දීල. සජිත් වේදිකාවෙ කෑ ගැහුවට ඔහුට මෝටරයක් ඩයිනමෝවක් තියෙනව කිව්වට ඔහුට තියෙන්නෙ හද්ද පරණ මෝටරයක් හා ඩයිනමෝවක්. ඒ එකක්වත් හරියට වැඩ කරන්නෙ නැහැ. ඒ එකක්වත් අලුත්වැඩියා කරන්නත් බැහැ. ඒ තරමට ම පරණයි. සජිත් රනිල් ඉන්න තැන නිහඬයි. නැති තැනයි බෙරිහන් දෙන්නෙ.



සජිත් ජනාධිපති වුනත්  වැඩක් නැහැ. පරණ මෝටරයකින් වැඩක් නැහැ. රනිල් ඉදිරියේ මෝටරය අක්‍රීයයි. රනිල් රවල බැලුවම මෝටරය ස්වයංක්‍රීය ව අක්‍රීය වෙනවා. සජිත් කොපමණ නැහැ කිව්වත් ඔහුට ජනාධිපති අපේක්‍ෂකකම දීල තියෙන්නෙ කොන්දේසි සහිත ව. එක් කොන්දේසියක් තමයි රනිල් දිගට ම අගමැති ලෙස කටයුතු කිරීම.



ඊයේ පැවති පුවත්පත් සංස්කාරකවරුන්ගෙ රැස්වීමක දි රනිල් ඉතා පැහැදිලි ව කියල තියෙනවා සජිත් දිනුවත් තමා දිගට ම අගමැති කියලා. සජිත්ට පුළුවන් ද ඒක එහෙම නොවෙයි කියල කියන්න. කිව්වොත් බලා ගන්න පුළුවන් වේවි. ජෙනීවා යොාජනාවෙ දි, මහා බැංකු මංකොල්ලෙ දි නිහඬ වෙච්ච සජිත්ගෙ මෝටරේ ගැන මොන කතා ද? මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමක් වැනි ගිවිසුමකට ජනාධිතිවරණයක් අත ළඟ තියාගෙන අනුමැතිය ලබා දෙන ඇමතිවරුන් සිටිය යුත්තේ අමාත්‍ය මණ්ඩලයක ද?



එවැනි ගිවිසුමකට විරුද්ධ නොවන සජිත්ගෙන් රට තවදුරටත් පාවාදීම කෙරෙන බව පැහැදිලියි. සජිත් සිංහ වෙස් ගත්තත් සිංහයකු නො වෙයි. ඔහු කවරකු ද කියා මා කියන්නේ නැහැ.



ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර තිබිය දී අත්සන් කරන කිසිම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට ගෝඨාභයගෙ ආණ්ඩුවක් බැඳිලා නැහැ. ගෝඨාභය පත් කර ගැනීමෙන් ම ජනතාව කියන්නෙ ඒ ගිවිසුම් අවලංගු බවයි. ජනාධිපතිවරණය එවැනි ගිවිසුම් සම්බන්ධයෙන් අහෝසි කිරීම සම්බන්ධයෙන් කෙරෙන ජනමත විචාරණයක් බවට ප්‍රකාශයක් කළ යුතුව තියෙනවා.



රනිල්ගෙ ආණ්ඩුව බලයට පත් වූ දවසෙ ඉඳන් ම පෙන්නුම් කෙළෙ එය මෙරට ආණ්ඩුවක් නොවන බවයි. ආණ්ඩුවට තිබුණෙ තියෙන්නෙ විජාතියන්ට රට පාවා දීම ක්‍රියාත්මක කිරීම පමණයි. ආණ්ඩුව හැමදාමත් කෙළෙ විජාතිකයන්ට සේවය කිරීම. මේ අවසාන මොහොතෙත් හදන්නෙ රට පාවා දෙන්න.



රනිල්ලා මංගලලා එකතු වෙලා ජෙනීවාහි රට පාවා දුන්නා. ඔවුන් එහි දී රණවිරුවන් ද පාවා දුන්නා. මහා බැංකු කොල්ලයෙන් රටට වූ පාඩුව කොපමණ දැයි හරිහැටි ගණන් බලලා නැහැ. මේ රනිල්ගෙ ආණ්ඩුවෙ රට පාවා දීමේ වැඩ කිහිපයක් පමණයි. මේ හැම අවස්ථාවක ම සජිත් රනිල්ට පක්‍ෂ වුනා. ඔහු රට වෙනුවෙන් රනිල්ට විරුද්ධ ව කිසි ම මුඛයක් ඇරියෙ නැහැ. අද සජිත් රනිල් සමග එකතු වී කරන්නෙ අන්තිම තක්කඩි වැඩක්.



ඇමතිවරුන් කියන්නෙ ජනතාවගෙ අවශ්‍යතා සම්පූර්ණ කරන්න තාවකාලික ව පත් කරන් ඉන්න පිරිසක් පමණයි. ඔවුන් ජනතාවට උඩින් නැහැ. ජනතාවට පුළුවන් ඇමතිවරු ගන්න තීරණ නිෂේධ කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ජනතාවට ඇති අයිතිය ටික කාලෙකට යම් පිරිසකට භාර කරන ක්‍රමයක් පමණයි. ඒ ඇමතිවරුන්ට රට පාවා දීමේ අයිතිය පවරල දීල නැහැ. ඇමතිවරු ගන්න තීරණ වෙනස් කරන්න ජනතාවට පුළුවන්. මේ ජනාධිපතිවරණය රනිල්ගෙ තක්කඩි ආණ්ඩුව විජාතිකයන්ට රට පාවා දී ඇති කර තිබෙන  ජෙනීවාහි සිට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් දක්වා  ගිවිසුම් යෝජනා අහෝසි කිරීම සඳහා පවත්වන ජනමතවිචාරණයක් බවට පත් කරන්න ඕන.