Main Logo

Monday 7 October 2019

සජිත් හා රනිල් දෙදෙනා ම පරදවමු

         සිංහල ලිත් ඉලක්කම්

සජිත් හා රනිල් දෙදෙනා ම පරදවමු



මෙවර ජනාධිපතිවරණයට අද නාම යෝජනා භාර දුන්නා. අපේක්‍ෂකයන් තිස්පස් දෙනකු ඉන්නවා.  ඒ කොහොම වුණත් තරගය ඇත්තේ ගෝඨාභය හා සජිත් අතරයි. ප්‍රශ්නය පරදින්නේ කවුද යන්නයි. නොවැම්බර් 17 වැනි දා හෝ ආසන්න දිනයක හෝ ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇත්තේ පරදින අපේක්‍ෂකයා නොව අනෙක් තැනැත්තායි. 


මා එසේ කියන්නේ මෙවර ජනාධිපතිවරණයේ දී ඇතැමුන් වැඩ කරන්නේ තම පක්‍ෂයේ අපේක්‍ෂකයා දිනවීමට නොව පැරදවීමට නිසා. රනිල් හේමා ප්‍රේමදාස ආර්යාවගේ අතින් අල්ලාගෙන සජිත්ට වරම් දුන් රැස්වීමට කැඳවා ගෙන ගියත් රනිල් එසේ කළේ විකල්පයක් නොමැති නිසා. සිංහල මිනිසුන්ගේ කතාවක් තියෙනවා හතර වරම් ගහනවා කියලා. ඒ හොරකම සම්බන්ධයෙන් පමණක් නො වෙයි. රනිල් සජිත්ට වරම් දුන්නේ හතර වරම් ගැහිල්ලක් ගහන්නයි.

ශිවාජිලිංගම් ජනාධිපතිවරණයට එන්නේ දිනන්න නො වෙයි. ඔහු සජිත්ට ලැබෙන්න තියෙන උතුරු පළාතේ දෙමළ කතාකරන ජනයාගේ ඡන්ද කඩාවි. ඔහු ඉදිරිපත් වන්නේ රනිල් නොදැනුවත් ව කියා හිතන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණ (ජන බල මොකක් ද එක)  කඩන්නේත් මූලික වශයෙන් සජිත්ගේ ඡන්ද. සිරිතුංග ජයසූරිය ආදීන්  නම් සමාජවාදී විප්ලවය වෙනුවෙන් ජනාධිපතිවරණය වේදිකාවක් කර ගනීවි. ඒත් ඒ වේදිකාවේ කියන කිසිවක් මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. සිරිතුංගලාට මැරෙන තෙක් වේදිකා ගහන්න වේවි. 

හිස්බුල්ලා කඩන්නේත් සජිත්ගේ ඡන්ද. හිස්බුල්ලා කියන්නෙ හැමෝගෙ ම බුල්ලා. ඒත් ඔහු ගෝඨාභයගේ බුල්ලා කියා මා කියන්නේ නැහැ. මහින්දගේ හා බැසිල්ගේ නම් බුල්ලා. රනිල්ගේත් මෛත්‍රිපාලගේත් බුල්ලා. ඒ කුමක් වුවත් ඔහු වැඩියෙන් කඩන්නෙ සජිත්ගෙ ඡන්ද. මුස්ලිම් ඡන්දවලින් ඉතා වැඩි ප්‍රමාණයක් වැටෙන්න තිබුණෙ  සජිත්ට. දැන් ඉන්  වැඩි ප්‍රමාණයක් හිස්බුල්ලාට ලැබේවි. අනෙක් පැත්තට මහේෂ් සේනානායක ඉදිරිපත් වෙන්නෙ ගෝඨාභයගෙ ඡන්ද කඩන්න. 

පරිසරය රකින එක හොඳ වැඩක්. ඒත් බටහිර සංවර්ධන ආකෘතියට පරිසරය රකින්න බැහැ. අප දියුණු වෙනවා කියන්නෙ බටහිර සංවර්ධන ආකෘතිය පස්සෙ යෑම. ඒක කරමින් පරිසරය රකින්න බැහැ. පරිසරය රැකීමත් අද තවත් විලාසිතාවක් වෙලා. මා පරිසරය රැකීම නරක යැයි කියන්නේ නැහැ. බටහිරයන්  තම රටවල පරිසරය ආරක්‍ෂා කරමින් අනෙක් රටවල පරිසරය දූෂණය කරනවා. අද බටහිරයන් පරිසරය රකින්නෙ මිනිසුන්ගෙ වුවමනාවට. පරිසරය රැක්කෙ නැත්නම් ඒකෙන් මිනිසුන්ට අයහපතක් වේවි කියන එක තමයි පදනම. අප පරිසරය රකින්න ඕන පරිසරයෙ වුවමනාවට. බටහිරයන්ට මානව කේන්ද්‍රීය (බටහිර කේන්ද්‍රීය) පදනමෙන් ඉවත් වෙන්න බැහැ. මිනිසා සතා සර්පයා ගහකොළ එක පද්ධතියක් හැටියට සලකන්න ඔවුන්ට බැහැ.

සකර්බර්ගෙ කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නව පරිසරය රකින්න පණ දෙන්න සූදානම්. ඔවුන් දැනට ඉන්න දේශපාලනඥයන් සියල්ල ම දියවන්නාවෙ ගිල්ලවන්න ඉන්නෙ. ඔවුන්ට මහේෂ් සේනානායක වටිනවා. ඒ මහේෂ් සේනානායක වයසින් කෙසේ වෙතත් දේශපාලනයෙන් අලුත් නිසා. අලුත් ඡන්දදායකයන් අලුත් දේශපාලනඥයකුට ඡන්දය දෙන්න ඉඩ තියෙනවා. එ ජා පක්‍ෂයෙන් කැඩී ගෝඨාභයට එන ඡන්දත් හමුදා ඡන්ද ටිකකුත් හිටපු හමුදාපතිට ලැබෙන්න ඉඩ තියෙනවා. ඔහු ඉදිරිපත් වෙන්නෙ ගෝඨාභයගෙ ඡන්ද කඩන්න. කැටගොඩලා  ඉදිරිපත් වෙන්නෙ නම් අපේක්‍ෂක නියෝජිත සංඛ්‍යාව වැඩි කර ගන්න. මැතිවරණ කොමිසම මොනව කිව්වත් අපේක්‍ෂක නියෝජිත සංඛ්‍යාව අඩු කරන එක ප්‍රශ්නයක් වේවි.

ඡන්ද වැඩියෙන් කැඩෙන්න තියෙන්නෙ සජිත්ගෙන්. මෛත්‍රිපාලගෙ ශ්‍රී ල නි පක්‍ෂය පොදුජන පෙරමුණ සමග යම් එකඟත්වයකට එන්න ඕන. එහෙම නූණොත් පක්‍ෂ දෙකේ ම ගමනක අවසානය බලන්න පුළුවන්. එය ජාතිකත්වයටත් ප්‍රශ්නයක් වේවි. ජාතික ව්‍යාපාරය දේශපාලනයෙන් මුදා ගැනීම ප්‍රශ්නයක් වෙලා. ඇතැමුන් ජාතික ව්‍යාපාරය තම දේශපාලන අභිමතාර්ථ ඉෂ්ට කර ගැනිමට  යොදා ගන්නවා.

මහේෂ් සේනානයක තමයි ගෝඨාභයගෙ ඡන්ද කඩන ප්‍රධාන පුද්ගලයා. හිස්බුල්ලා ඇතුළු මුස්ලිම් අපේක්‍ෂකයන් කඩන්නෙ සජිත්ගෙ ඡන්ද. එයට හේතුව මුස්ලිම් ඡන්ද වැඩි ප්‍රමාණයක් වැටෙන්න තිබුණෙ සජිත්ට නිසා. ශිවාජිලිංගම් කඩන්නෙත් සජිත්ගෙ ඡන්ද. මේ කැඩිල්ලට හේතුව ගණුදෙන (ඩීල්) දේශපාලනය. උතුරේ ඒ ඡන්ද කුට්ටි දේශපාලනය නොකළ සිංහල දේශපාලනඥයා මෛත්‍රිපල. දැන් කියන්න සිරිජාතිකවාදියා කියා. ගෝඨාභයට  වැඩි ප්‍රමාණයක් දෙමළ ඡන්ද ලැබෙන්නෙ මෛත්‍රිපාල ගෝඨාභය එකතුවකින්. පොහොට්ටුව මොන තරම් පොරොන්දු දුන්නත් දෙමළ කතා කරන ජනයාගෙ ඡන්ද සුළු ප්‍රමාණයක් පමණයි ලැබෙන්නෙ. ඒ ඩග්ලස් දේවානන්දගෙ හා සීමිත පිරිසකගෙ ඡන්ද. 

අපට මුල සිට ම අවශ්‍ය වෙලා තිබුණෙ රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න. එය ඔක්තෝම්බර් විසිහයවැනි දා ඉටු වුණා. එහෙත් පොහොට්ටුව මෛත්‍රිපාල මහින්ද ආණ්ඩුව රැක ගන්න කටයුතු කෙළේ නැහැ. නැවතත් රනිල් අගමැති වුණා. 

යම් අයුරකින් ගෝඨාභය පැරදුණොත් රනිල් දිගට ම අගමැති. එවිට තියෙන්නෙ සජිත් රනිල් ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ලබන අගෝස්තු වෙන තෙක් තියේවි. රනිල් ඉවත් කරන්නත් සජිත් පරද්දන්න ඕන. එවිට ආණ්ඩුවත්  ඉවර කරලා පෙබරවාරියෙ දි පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් පුළුවන්. ජනාධිපතිවරණයෙ දී තීරණය වෙන්නෙ ජනාධිපති කවුද කියන එක පමණක් නො වෙයි. ඒ අනුව අප පරද්දන්න ඕන කවුද කියන එකත් තීරණය වෙනවා.