Main Logo

Saturday 19 October 2019

නන්දිකඩාල් පාවා දී ගෝඨාභය මනමේ කුමරු කිරීම

    සිංහල ලිත් ඉලක්කම්

නන්දිකඩාල් පාවා දී ගෝඨාභය මනමේ කුමරු කිරීම 


මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත් වී ඇත්තේ ජාතිවාදී ආගමිකවාදී ව්‍යාපාර පරාජය කිරීම, මෙරට නැවත ඒකීය රාජ්‍යයක් බවට පත් කිරීම (ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කිරීම යනු ව්‍යාජයක්. දහතුන්වැනි සංශෝධනයෙන් මෙරට සන්ධීය රාජ්‍යයක් වුණා), විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම ආදියයි. ඒ අතර විවිධ සහන ගැනත් කතා කරනවා. මෙහි පළමු මාතෘකා දෙක එකිනෙකට සම්බන්ධයි. 


අද භික්‍ෂූන් වහන්සේත් ගිහි පිරිසත් දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ගැන කතා කරනවා. නැවතත් බලය උපරිම ලෙස බෙදීමක් ගැන කතා කරනවා. බැසිල්ටවත් රනිල්ටවත් මේ ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ. මේ ප්‍රශ්නය 2009 දී නන්දිකඩාල්හි විසඳා ඉවරයි. මා මේ බව අවුරුදු කිහිපයක් තිස්සේ කියන නමුත් කිසිවකු එයට සවන් දෙන පාටක් නැහැ. මා අමු මෝඩයකු වෙන්න ඇති.

අප කතා කරන්නේ  ඊනියා නිජභූමියක් ගැන නො වෙයි. ඇතැම් පඬියන්ට අනුව ප්‍රශ්නය නිජභූමි ප්‍රශ්නයක්. ජාතික ව්‍යාපාරය තුළට  රිංගා ගෙන සිටින මතුපිට කරුණු පමණක් ගැන කතා කරන කිසිම විශ්ලේෂණාත්මක හැකියාවක් නැති පඬියන්ට පෙනෙන්නේ නිජභූමි කතාව පමණයි. දෙමළ ජාතිවාදයට නිජභූමිය ඇතුල් වුණේ හතළිස් ගණන්වල. ඉංගිරිසින් විසින් දෙමළ ජාතිවාදය බිහිකෙරුණේ එයට සියවසකටත් කලින් 1830 දී පමණ. දෙමළ ජාතිවාදයට අවශ්‍ය වුණේ (ඉංගිරිසින් විසින් ඇති කෙරුණු අවශ්‍යතාව) වෙල්ලාලයන් මෙරට ප්‍රධාන ජන කොටස වීම. දෙමළ ජාතිවාදය ආරම්භ කෙරුණේ වෙල්ලාලයන් යොදා ගැනීමෙන්. මා කියන්නේ හිටපු ඔබ්සර්වර් කතෘ මහින්දපාල කියන දේ නො වෙයි. ඉංගිරිසින්ට අවශ්‍ය වුණේ දෙමළ වෙල්ලාලයන් රටේ නායකත්වය අතට ගැනීම. 1833 සිට ඉංගිරිසින් කටයුතු කෙළේ නායකත්වය වෙල්ලාලයන්ට, විශේෂයෙන් ම පොන්නම්බලම් - කුමාරස්වාමි පවුලට ලබා දීමට. වැඩි විස්තර දේශපාලනඥයන් නොකියවන ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා මස්සිනාලා කෘතියේ (මෙය කාලය වෙබ් අඩවියෙන් නොමිළයේ බාගත හැකියි). 1931 දී සර්වජන ඡන්දය ලබා දීමත් සමග ජී ජී පොන්නම්බලම් (අර පවුලේ නොවෙයි) පනහට පනහ ඉල්ලුවේ මුළු  ලංකාවේ ම මිස ඊනියා නිජභූමියක නො වෙයි. වෙල්ලාල නායකයන් ද ජීවත් වුණේ කොළඹ මිස යාපනයේ හරි කිලිනොච්චියේ හරි නො වෙයි. එකල ඇතැම් දවස්වල අප පාසල් ගියේ චෙල්වනායගම්ගේ නිවස ඉදිරියෙන්.

සුන්දරලිංගම් ඊළම කියන වචනය ඉදිරිපත් කෙළේ 1940 දී පමණ. ඔහුට ඒ වචනය ඉංගිරිසියෙන් ලියන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. ඔහු එය ලිව්වේ Eylom කියා. ඔහු ඊළම කිවුවේ රටට ම මිස යාපනයට හරි උතුරු පළාතට හරි නො වෙයි. එකල දෙමළ වෙල්ලාලයන්ට අවශ්‍ය වුණේ රටේ ම නායකයන් වන්න. සෝල්බරි කොමිසමෙන් පසුව තමයි ඔවුන් තම අදහස වෙනස් කර ගත්තෙ. වෙල්ලාලයන්ගෙ දේශපාලනය උතුරු පළාතට වඩා කොළඹට සීමා වූ එකක්. සිංහල නායකයන් මෙන් ම කොළඹ පදිංචි වී ඉඳහිට තම ඡන්ද කොට්ඨාසයට යෑම තමයි ඔවුන් අතින් කෙරුණේ. 

ඔවුන් සෝල්බරි කොමිසම ඉදිරියට ගොස් කියා සිටියේ සිංහලයන්ට බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබෙන ලෙස සීමා නීර්ණය කරන්න කියා. එහෙත් සෝල්බරි කිව්වේ 75%ක් 50%ට අඩු කිරීමට තමාට තබා කිසිවකුටවත් නොහැකි බවයි. වෙල්ලාලයන් රටේ නායකත්වයට පත් වීමේ සිහිනය අත් හැරියේ ඉන් පසුවයි. ඔවුන් දෙමළ ජනයාට නිදහස දිනා ගැනීමක් ගැන කතා කරන්න පටන් ගත්තා. නාගනාදන් (කොළඹ ජීවත් වූ ඔහුගේ එක් දියණියක් ඉගෙන ගත්තේ චන්ද්‍රිකාගේ පංතියේ කියා මා අසා තියෙනවා) 1947 පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කතා කළා. ඔවුන් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කචචි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය හදා ගත්තා. ඔවුන් නිජභූමියක් (ඒ නමින් නොවුණත්) ගැන කතා කලේ ඉන් පසුවයි. ඔවුන්ට නැගෙනහිර හා වතුකරයේ ද දෙමළ කතා කරන ජනයා ඉන්න බව මතක් වූයේ ඉන් පසුවයි. දෙමළ ක්‍රිස්තියානි චෙල්වනායගම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට කතා කෙළේ ඉන් පසුවයි. 

1976 වඩුකොඩෙයි සම්මේලනයෙ දි ඔවුන්ගේ ඒ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශ කෙරුණා. ඒ වන විටත් ප්‍රභාකරන් ජ වි පෙ අනුගමනය කරමින් ත්‍රස්තවාදයට පිවිසිලා හිටියා ඊමක් පිහිටුවන්න. ඒ වන විට ඊළම කියන වචනය මුළු රටට ම නොව ඊනියා නිජභූමියට සීමා වෙලා තිබුණා. ප්‍රභාකරන් දෙමළ ජාතිවාදයේ එක ම නායකයා බවට පත් වෙලා තිබුණා. ඔහු ඊළම දිනාගන්න රජයට විරුද්ධ ව සටන් කළා. ප්‍රභාකරන් කියන්නෙ 1833 සිට විකාශය වූ දෙමළ ජාතිවාදයේ අවසන් පුරුක. නන්දිකඩාල්හි ඔහු හා දෙමළ ජාතිවාදය පරාජය වුණා. පරාජය වුණෙ ඒ සියල්ල, වඩුකොඩෙයි යෝජනාත් ඇතුළුව. 

දැන් දෙමළ ජාතික සංධානය නැවතත් කතා ආරම්භ කරන්න හදනවා. අපට කියන්න තියෙන්නෙ ඔය යෝජනා නන්දිකඩාල්හි පැරදුණා ඒවා නන්දිකඩාල් කලපුවේ ගිල්ලුවා කියලා. ඒ ගැන නැවත කතා නැහැ. ගෝඨාභයට ඒ බව කියන්න පුළුවන්. වෙන කාටත් වඩා ගෝඨාභය තමයි දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට මුල් වුණේ. ඔහු තමයි ඒ ගැන දැඩි ස්ථාවරයක හිටියේ. එහෙත් අද ඔහුට කඩුව නොව කොපුව දීමේ වෑයමක් පවතිනවා. 

ගෝඨාභය පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වුණාට එහි අපේක්‍ෂකයා නො වෙයි. ඔහු ජාතික අපේක්‍ෂකයා. ඔහු ඉදිරිපත් කෙරුණේ ජාතික සංවිධානවලින්. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලිවිය යුත්තේ ජාතික සංවිධාන සම්මේලනය මිස පොහොට්ටුව නො වෙයි. ඔහු පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ ජනාධිපතිවරණ පනත අනුව ඔහුට පක්‍ෂයක අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සිදුව ඇති නිසා පමණයි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය, ප්‍රතිපත්ති ප්‍රකාශය, මා ඊයේ ලිපියේ පළ කළා. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය විය යුත්තේ එයයි. ඔහුගේ ස්ථාවරය ජාතික සංවිධාන සම්මේලනයේ ස්ථාවරය වෙන්න ඕන. සමහරු සූදානම් වුණා ජාතික සංවිධාන සම්මේලනය මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියා කියවන්න. 
   
අද වෑයමක් පවතිනවා ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු විධායක බලතල පාර්ලිමේන්තුවට ගැනීමට. පොදුජන පෙරමුණේ ඇතැමුන් ඒ සඳහා පිඹුරුපත් සකස් කරනවා. ඔවුන් සූදානම් වන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විධායක බලය ඊනියා නිසි තැන (පාර්ලිමේන්තුවේ) පිහිටුවා ජනතාවගේ පරමාධිපත්‍යය පරම හා එකම වශයෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට. ජනතාවගේ පරමාධිපත්‍යය කොටස් තුනක්. විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ වශයෙන්. ජනතාවගේ පරමාධිපත්‍යය පරම හා එක ම වශයෙන් පාර්ලිමේන්තුවට ගෙන එනවා කියන්නේ විධායක බලයත් පාර්ලිමේන්තුවට ගැනීම. එවිට ජනාධිපති පළමුවැනි ජනරජයේ ජනාධිපති කෙනකු බවට පත් වෙනවා. කඩුව නැතුව කොපුව පමණක් ඇත්තෙක් වෙනවා. 

මෙයට ඉඩ දෙන්න බැහැ. ගෝඨාභය තමයි දෙමළ ත්‍රස්තවාදය පැරදවීමේ දී ස්ථිර ප්‍රතිපත්තියක හිටියේ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දෙමළ ජාතිවාදීන්ගේ කිසිම යෝජනාවකට ඇහුම්කන් දෙන්න වුවමනා නැහැ. එසේ කිරීම රණවිරුවන් පාවාදීමක් ද වෙනවා. දැන් මේ සූදානම් වන්නේ ගෝඨාභය නූතන මනමේ කුමරකු කර කොපුව අතට දීමටයි. කඩුව අතට ගැනීමට සූදානම් වන වැදි රජු කවුද? ජාතික සංවිධාන සම්මේලනය මනමේ කුමරිය කිරීමේ වෑයම නම් පරාජය කිරීමට අප සමත් වුණා.