Main Logo

Saturday 12 October 2019

ඇල්පිටිය මග පෙන්වයි

    සිංහල ලිත් ඉලක්කම්



ඇල්පිටිය මග පෙන්වයි



ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය පොදුජන පෙරමුණෙත් ශ්‍රී ල නි පක්‍ෂයේත් ඇස් අරවන්නක් විය යුතුයි. ඇල්පිටිය සිංහල ජනතාව බහුතරයක් වූ ප්‍රාදේශීය සභාවක්. ඇල්පිටියේ දී පොහොට්ටුව ඡන්ද 56.3%ක් ලබා ගෙන තියෙනවා. ශ්‍රී ල නි පක්‍ෂය ඡන්ද 12.7%ක් ලබා ගෙන තියෙනවා. පක්‍ෂ දෙකට ම ඡන්ද 69.0%ක් ලැබී තිබෙනවා. සිංහල ඡන්දවලින් 69%ක් කියන්නෙ තීරණාත්මක ඡන්දයක්. ජනාධිපතිවරණයේ දී මෙය මෙයට වඩා ස්වල්පයකින්වත් වැඩි වේවි. එ ජා පක්‍ෂය ලබා ගෙන ඇත්තේ ඡන්ද 24.3%යි. ජ වි පෙ ඡන්ද 5.8%යි.




අප මේ ඡන්ද 2018 පෙබරවාරියේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශත සමග සංසන්දනය කිරීම වැදගත්. පොදුජන පෙරමුණ ඡන්ද 50.57%යි. එ ජා පක්‍ෂය ඡන්ද 26.65%යි. එක්සත් ජනතා නිදහස් සංධානය 11.94%යි. ජ වි පෙරමුණ ඡන්ද 6.27%යි. එහි දී පොහොට්ටුවත් එ ජ නි සංවිධානය එකතුව ලබා ගෙන ඇත්තේ ඡන්ද 62.5%යි. 



ඇල්පිටිය මුළු ලංකාව ම නියෝජනය නොකරන බව අකිල විරාජ් කාරියවසම් කියන්න ඕන නැහැ. ඔහු අද කුලියාපිටියේ හිටියත් ඔහුගේ මුල ඇත්තේ බෙන්තර ඇල්පිටියේ කියා තමයි මා අසා ඇත්තේ. ඒ කෙසේ වෙතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමෙන් අකිල කළකිරිලා බව පේනවා. ඇල්පිටිය මුළු ලංකාවම තියා ගාල්ල දිස්ත්‍රික්කයවත් නියෝජනය කරන්නෙ නැහැ කියල කියන්න පුළුවන්. ඒකත් ඇත්ත. එහෙත් ඇල්පිටිය ලංකාවේ මෙන් ම ගාල්ල දිස්ත්‍රික්කයේ කොටසක්. එය සිංහලයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක්. 



මේ ඡන්ද ප්‍රතිඵලය අනුව සිංහල ජනතාවගේ ඡන්ද 70%ක් පමණ පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට ලැබේවි කියා හිතන්න පුළුවන්. ඒ කියන්නේ ගෝඨාභයට ජනාධිපතිවරණයේ දී සිංහල ජනතාවගේ ඡන්දවලින් 67%කට වඩා ලැබේවි කියල හිතන්න පුළුවන්. මේ 67% වැදගත් ප්‍රතිශතයක්. 



පඬියන් කොළපාට සමාජකාරයන් සහ වෙනත් අය කියන කාරණයක් තමයි සිංහල ජනතාවගේ ඡන්දවලින් 67%ක් ලබා ගන්න බැරි බව. ඇතැමුන් විධායක ජනාධිපති ක්‍රමයට, විශේෂයෙන් ම මුළු රට ම එක ඡන්ද කොට්ඨාසයක් ලෙස සැලකීමට විරුද්ධ ව ගෙනෙන තර්කයක් වන්නේ මේ 67%ක් ලබා ගැනීමට නොහැකි බව. සිංහලයන් රටේ 75%ක් පමණ සිටින නිසා සිංහල ජනතාවගේ ඡන්දවලින් 67%ක් ලබා ගත්තොත් මුළු ඡන්දවලින් 50%ක් ලබා ගන්න පුළුවන්. එය දැන ගැනීමට ගණිතයේ ප්‍රවර්ගවාදය (Category Theory) දැන ගන්න වුවමනා නැහැ. ඒ ප්‍රතිශතය ගණනය කිරීමට අංක ගණිතය ප්‍රමාණවත්.



ප්‍රවර්ගවාදය කියන්නෙ කුලකවාදය මත පදනම්වන ගණිතයක් ගැන කියමින් ඊනියා යථාර්ථයක් ගැන විකාර කතා කියන ප්‍රංශ දාර්ශනිකයන් දුර්මුඛ කරන ගණිතයක්.  කුලකවාදයේ සමානත්වය (equality) ප්‍රවර්ගවාදයේ විසි කෙරෙනවා. එහි වැදගත් වන්නෙ තුල්‍යතාව (equivalence). ජනාධිපතිවරණයෙන් පස්සෙ ඒ ගැන කතා කරමු. දැනට මා ඒ පිලිබඳ ව වෙනත් අයකු ලියා ඇති ලිපියක් වෙන ම පළ කරනවා. 



මෙහි දී මෙරට නිවේදකයන් ගැනත් වචනයක් කියන්න ඕන. ඔවුන් ඊයේ දිගට ම කියා සිටියේ ඡන්ද ගණනය කරනවා කියා. එය වැරදියි. ඊයේ මූලික ව සිදු වූයේ ඡන්ද ගණන් කිරීමක්. එය ගණනයක් නො වෙයි. අපේ නිවේදකයන් වචනවල තේරුම ගැන සැලකිල්ලක් දක්වන්නෙ නැතිව වචන පාවිච්චි කරනවා. මේ කරුණු  පෙන්වා දීම ගැන ඔවුන්  අසතුටු බවත් මා දන්නවා. 



ඇල්පිටියෙ ජනතාව කියල තියෙන්නෙ සිංහල ජනතාවගේ ඡන්දවලින් 67%ක් ලබා ගන්න එක අමාරු නැති බව. ඒ සඳහා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ල නි පක්‍ෂයේ එකතු වීම සුළුවෙන් නමුත් බලපාන්න ඇති. මේ එකතුවට මුල් වූ මහින්ද මෛත්‍රිපාල දයාසිරි බැසිල් යන නායකයන්ට අපේ ප්‍රණාමය පළ කරන්න ඕන. ඉතා අසීරු සාකච්ඡාවලින් පසු ඔවුන් එකතු වෙන්න ගත්ත තීරණය ඉතා වැදගත්. එය ගෝඨාභයට 50% ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට ඉවහල් වේවි.ඒත් එකක් කියන්න ඕන. ඇල්පිටියෙ ජනතාව 70%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පොදුජන පෙරමුණට හා ශ්‍රී ල නි පක්‍ෂයට ලබා දීල තියෙන්නෙ එහි නායකයන් සෘජුව සිංහල ජනතාවට ආමන්ත්‍රණය නොකරන තත්වයක. නායකයන් ජනතාවගේ මතයට ආවොත් සජිත්ට ඇප නැති වේය කියන එක බොහොම සානුකම්පික කියමනක් වේවි. 
  
සිංහල ජනතාවගේ ඡන්දවලින් 67%ක් ලබා ගත්තොත් දෙමළ කතාකරන ජනතාවගේ හා මුස්ලිමුන්ගේ ඡන්ද ගැන, ඡන්ද කුට්ටි ගැන,  කරදර වෙන්න ඕන නැහැ. ඔවුන්ගේ නායකයන්ගේ ජාතිවාදී දේශපාලනයට යට වෙන්න ඕන නැහැ. මා කියන්නේ දෙමළ කතා කරන ජනයාගේ හා මුස්ලිමුන්ගේ ඡන්ද අවශ්‍ය නැහැ කියා නො වෙයි. ඔවුන්ගේ නායකයන්ගේ ජාතිවාදයට යටවෙන්න ඕන නැහැ කියන එක. 



මා දැක්කා අනුර දිසානායක කියා තියෙනවා දේශප්‍රේමීත්වය  තක්කඩියන්ගේ අවසාන නවාතැන වගේ කතාවක්. ඒක අනුර රනිල්දාස අරගෙන තියෙන්නෙ සැමුවෙල් ජොන්සන්ගෙ. ජොන්සන්ගෙනුත් නොවෙයි. සිංහලයන්ට විරුද්ධ ව කතාකරන කටහැකරයන්ගෙන්. ඔවුන් ජොන්සන් ගැන අහලවත් නැතිව ඇති. ජොන්සන් මේ කියන්නෙ ව්‍යාජ දේශප්‍රේමීත්වය ගැන කියල බොස්වල් කියනවා. 


මා එය ඉංගිරිසියෙන් උපුටා දක්වන්නම්. “
”Boswell tells us that Samuel Johnson made this famous pronouncement that patriotism is the last refuge of a scoundrel on the evening of April 7, 1775. He doesn't provide any context for how the remark arose, so we don't really know for sure what was on Johnson's mind at the time.
However, Boswell assures us that Johnson was not indicting patriotism in general, only false patriotism.
For more of Samuel Johnson's thoughts on patriotism in general, go to the patriotism page.
For a discussion on a possible false patriot who Johnson might have been thinking of, see this discussion.”

කොහොමටත් අනුර රනිල්දාස දන්නෙ නැතිව ඇති ඉංගිරිසින් අයිරිෂ් ජාතිකයන් ගැන කියන කතා. ඔහු අයර්ලන්තයට පමණක් යනව නම් ඒ කතා දැන ගන්න බැහැ. එංගලන්තයටත් ගිහින් එන්න වෙලාවක් තිබුණොත්. 


කොහොමටත් ජ වි පෙරමුණට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබුණු ඡන්ද ප්‍රතිශතය ඇල්පිටියෙදි ගන්න බැරි වෙලා. ජනාධිපතිවරණයේ දී ඒ 5.8%වත් ලබා ගන්න බැරි වේවි. ජ වි පෙරමුණටත් එ ජා පක්‍ෂයටත් කියන්න තියෙන්නෙ එකයි. ඇල්පිටියෙ ඡන්දය ලංකාව නියෝජනය කරන්නෙ නැහැ, බුද්ධිමත් ජනතාව ඉන්නෙ ඇල්පිටියෙන් පිට කියලා. සිවල් සාමාජිකයන් තමයි බුද්ධිමත්. අර චන්ද්‍රගුප්ත තේනුවර, සරත් විජේසුරිය, ලියනගේ අමරකීර්ති වැනි මහාචාර්යවරුන්ගෙන් අහල බලන්න.