Main Logo

Wednesday 23 October 2019

නන්දිකඩාල් පලයව්


    සිංහල ලිත් ඉලක්කම්


නන්දිකඩාල් පලයව්



යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ මැදිහත් වීමෙන් දෙමළ  පක්‍ෂ පහක් ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් දහතුන පිළිබඳ ව තවම කිසිම අපේක්‍ෂකයකු ප්‍රතිචාර දැක්වූ බවක් වාර්තා වී නැහැ. ඒ ඉල්ලීම් අපේක්‍ෂකයන් තිස්පස් දෙනාට ම යවා ඇත් ද යන්න පැහැදිලි නැහැ. ඒ කෙසේ වෙතත් අද තරගයක් ඇත්නම් ඒ ගෝඨාභය රාජපක්‍ෂ හා සජිත් ප්‍රේමදාස අතරයි. අනෙක් අය ඉදිරිපත් වී ඇත්තේ එක්කෝ ඡන්ද කඩන්න, නැත්නම් ඡන්ද පොළවලට හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට වෙනත් අපේක්‍ෂකයන් වෙනුවෙන් නියෝජිතයන් පත් කිරීමට, එහෙමත් නැත්නම් මාක්ස්ගේ වැඩ නොකළ හිතළුවක් වූ ඊනියා කම්කරු පංති විප්ලවයේ පණිවුඩය ජනතාවට ගෙන ඒමට. සමහරවිට එකකට වැඩි වෙන්නත් පුළුවන්. ශිවාජිලිංගම්, හිස්බුල්ලා, අනුර කුමාර දිසානායක ප්‍රධාන වශයෙන් අයත්වන්නේ පළමු ගණයට. ජනතාව සිහිනෙන්වත් ඔවුන් ජනාධිපති ලෙස දකින්නේ නැහැ. අර සිහිනෙන්වත් ඔබ නොදකින කුමරා වගේ.




සිහිනෙන්වත් ඔබ නොදකින කුමරකු වූ අනුර කුමාරත් අර මාක්ස්වාදී හිතළුව තවමත් විශ්වාස කරන අයෙක්. ඒ කුමරා සම්බන්ධයෙන් සිහින කිහිපයක් තියෙනවා. ජනතාව සිහිනෙන්වත් නොදුටුවත් ඔහු තමා කුමරා ලෙස සිහිනෙන් දකිනවා. ඒ මදිවාට මාක්ස්වාදී හිතළුවත් සැබෑ කර ගැනීමට සිහින දකිනවා. මාක්ස් සිහිනය ජාතික ව්‍යාපාරයේ යෙදෙන ඇතැමුනටත් තියෙනවා. ඒ ජ වි පෙරමුණෙන් කැඩී නොකැඩී ජාතික ව්‍යාපාරයට එක් වූ අය. ඔවුන් ඊනියා කම්කරු පංතිය වෙනුවට සිංහල ජාතිය යොදා ගන්න හදනවා. ඔවුන් කතා කරන්නේ ගරිල්ලා ප්‍රහාර ගැන, මාර්ග සිතියම් ගැන, ක්‍රමෝපායන් ගැන. මාක්ස්වාදී වචන. ඔවුන් හොර අත්සන් ගහන්නත් දන්නවා. ඒ තම මහා ප්‍රාඥයාගේ.  



මහින්ද රාජපක්‍ෂ නම් කියා තිබුණා දෙමළ පක්‍ෂ පහේ යෝජනා සලකා බලන්නෙවත් නැති බව. ඒක හොඳයි. ගෝඨාභය රාජපක්‍ෂ නම් ඒ ගැන කිව යුත්තේ නන්දිකඩාල් පලයව් කියලයි මා සිතන්නේ. සජිත්ට ඕන එකක් කියා ගන්න ඉඩ දෙන්න. සජිත්ගෙ එක ලක්‍ෂණයක් තමයි ඔහු ගෝඨාභය වෙනුවෙන් වැඩ කිරීම. ඔහු කියන වචනයක් වචනයක්, නැහැ තම මුවින් තෙපළන වදනක් වදනක්, පාසා ගෝඨාභයගේ ඡන්ද වැඩි වෙනවා.



දෙමළ පක්‍ෂ ඉදිරිපත් කර ඇති යෝජනා එක් අතකින් කෘත්‍රිමයි. ඒ යෝජනා තමන්ගේ නොවන බව ඇතැම් දෙමළ සංවිධාන පවසනවා. එක්තරා මුස්ලිම් සංවිධානයකට අනුව මෙරට දෙමළ - මුස්ලිම් දේශපාලන පක්‍ෂ රටට කොඩිවිනයක්. දෙමළ පක්‍ෂ මේ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ කුමකට ද යන ප්‍රශ්නය පැන නගිනවා. මේ යෝජනාවලට එකඟ වීමට සජිත්ට පුළුවන් ද? සිහි මොළේ ඇති කිසිවකුට, දෙමළ කතාකරන අයකුටවත්, පුළුවන් ද?



මේ යෝජනාවල වෙනත් දෙයක් කියනවා ද? සජිත් යෝජනාවලට එකඟ නූණොත් දෙමළ පක්‍ෂ කරන්නේ කුමක් ද? දැනටමත් විග්නේෂ්වරන් විකල්ප වැඩ පිළිවෙළක් ගැන කතා කරනවා. දෙමළ පක්‍ෂ ඡන්දය දීමෙන් වැළකී සිටීවි ද? එහෙමත් නැත්නම් ශිවාජිලිංගම්ට ඡන්දය දේවි ද? සජිත්ට ලැබෙන්න තියෙන ඡන්ද අඩු වේවි ද? සජිත් යෝජනාවලට පක්‍ෂ වුණොත් සිංහල ජනතාවගෙන් ඔහුට ලැබෙන්න තියෙන ඡන්ද අඩු වේවි ද? ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත්  තෝ නසී කියන තැනට එහෙමත් නැත්නම් ෆ්ලැටයට ගියොත් ආර්යාව නසී මහා රෑ පාරේ හිටියොත් තෝ නසී තත්වයකට පත් වේවි ද? යෝජනා රනිල්ගේ වැඩක් ද?



යෝජනා රනිල්ගේ වැඩක් නොවේ නම් එහි කිසිම ගත යුත්තක් නැහැ. මා කියන්නේ රනිල් ගත යුතු වැඩක් කරන අයකු කියන එක නො වෙයි. මේ යෝජනා නන්දිකඩාල් කලපුවේ ගිල්ලපු ඒවා. දෙමළ ජාතිවාදීන්ගේ මේ යෝජනා ම තමයි කෙටියෙන් 1976 දී වඩුකොඩෙයි සම්මේලනයේ දී ඉදිරිපත් කෙරුණේ. එදා වඩුකොඩෙයි සම්මේලනයට වත්මන් තොණ්ඩමන්ගේ සීයාත් හකීම්ගේ ගුරු අෂ්රොෆුත් සහභාගි වුණා. අද තොණ්ඩමන් ෆ්ලැට් දෙනවා. කාට ද මොකට ද කියල අහන්න එපා. හකීම් සහාරාන් එක්ක සාකච්ඡා කරලා. ඔහු සහාරාන් දන්නෙ නැතිළු. ඔහු බැංකු වංචාවක් සිදු වූ බව පිළිගන්නවා. ඔහු කියන්නේ වංචා කළ මුදල් බැංකුවල තියෙනවා කියා. වංචා කළ මුදල් ආපහු දුන්නත් වංචාව වංචාව ම තමයි. හකීම් රනිල්ට විරුද්ධ බවත් සජිත්ට පක්‍ෂ බවත් කවුරුත් දන්නවා.



වඩුකොඩෙයි සම්මේලන යෝජනා ඕපපාතික ව ඉදිරිපත් වූවා නො වෙයි. එය අඩු තරමෙන් අවුරුදු එකසිය හතළිස්තුනක දෙමළ ජාතිවාදයක විකාශයක්. දෙමළ ජාතිවාදය ඉංගිරිසින් බිහි කළ දෙයක්. එය කෝල්බෘක් යෝජනාවලින් පැන නැගුණක්. 1833 ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ දී ඉංගිරිසින් දෙමළ ජාතිවාදය බෞතීස්ම කළා. ජනගහනයෙන් 75%ක් වූ  අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි අඛණ්ඩ ඉතිහාසයක් ඇති සිංහලයන්ටත් ජනගහනයෙන් 10%කටත් අඩු අවුරුදු දෙසීයකට අඩු ඉතිහාසයක් ඇති යාපනයේ දෙමළ කතා කරන ජනයාටත් ව්‍යවස්ථාදායක සභාවේ ලැබුණේ එක් නියෝජිතයකු බැගින්. ඒ තමයි ඉංගිරිසි ප්‍රජාතන්ත්‍රවාදය.



ඉංගිරිසින්ට අවශ්‍ය වුණේ දෙමළ කතා කරන වෙල්ලාලයන් මෙරට ප්‍රධාන ජන කොටස කරන්නත් පොන්නම්බලම් කුමාරස්වාමි පවුල මෙරට ප්‍රධාන පවුල කරන්නත්. පොන්නම්බලම් රාමනාදන්, අරුණාශලම් ආදීන් මෙන් ම වර්තමානයෙහි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, රධිකා කුමාරස්වාමි, විග්නේෂ්වරන්, ස්වාමිනාදන් ද මේ පවුලේ. රධිකා හැරෙන්න අනෙක් අය රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයන්. කුලයක් ලෙස වෙල්ලාලයන්ගේ ඉතිහාසය අවුරුදු තුන්සිය පනහක් පමණයි. රාජකීය විදුහලේ ඉතිහාසය අවුරුදු එකසිය අසූහයයි. මහා විහාරයට අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි ඉතිහාසයක් තියෙනවා. මොන පාසලේ ඉගෙන ගත්තත් අපි මහා විහාරයේ ශිෂ්‍යයන් (ආදි ශිෂ්‍යයන් නොවෙයි). මොන අඩුපාඩු තිබුණත් අප තවමත් වැඩියෙන් ඉගෙන ගන්නේ මහා විහාරයෙන්. අපි අඩුපාඩු හදා ගනිමු. අප කුලක වාදයේ (Set Theory) , ක්වොන්ටම් භෞතිකයේ (Quantum Physics), සාධාරණ (මහා නොවෙයි) සාපේක්‍ෂතාවාදයේ (General Relativity), බටහිර දර්ශනයේ, බටහිරයන් උගන්වන ඉතිහාසයේ  බොරුව මහා විහාරයේ ආලෝකයෙන් දැක ගනිමු.  



සර්වජන ඡන්දයෙන් පසු වෙල්ලාලයන් දැන ගත්තා ඔවුන්ට රටේ නායකයන් වීමට බැරි බව. පනහට පනහ ඉල්ලුවේ සර්වජන ඡන්දය නිසා ඇති වූ අඩුව මකා ගන්නයි. 1940 දී සී සුන්දරලිංගම් ඊළම (Eylom) ගැන කතා කළා. ඔහු ඊළම කිව්වේ මුළු රටට ම.  සෝල්බරි කොමිසම එන විට වෙල්ලාලයන්ට තත්වය තවත් නරක් වෙලා. 1947 දී නාගනාදන් කිව්වේ දෙමළ ජනයාට සිංහලයන්ගෙන් නිදහස ලබා ගැනීමට අවශ්‍ය බව. රටේ ම නායකයන් වීමට නොහැකි බව දැනගත් වෙල්ලාලයන් ඊළම උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළත් ප්‍රදේශයකට ලඝු කළා.  ශාන්ත තෝමස් විදුහලේ ඉගෙන ගත් චෙල්වනායගම් 1949 දී ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පිහිටුවා ගත්තා. ලංකාවේ ම නායකයන් වීමට බැරි බව දත් ඔවුන්ට වෙන ම රාජ්‍යයක් අවශ්‍ය වුණා. ඊනියා නිජභූමිය කියන අදහස ඉදිරිපත් කළා. නිජභූමිය දෙමළ ජාතිවාදයේ ප්‍රතිඵලයක් මිස දෙමළ ජාතිවාදය නිජභූමියේ නිර්මාණයක් නොවෙයි.



ජනතා විමුක්ති පෙරමුණෙන් ත්‍රස්තවාදය ඉගෙන ගත් ප්‍රභාකරන් 1976 වන විටත් ඊළමක් වෙනුවෙන් ආයුධ අතට ගෙන හිටියා. ඔහු චෙල්වනායගම්ගේ දේශපාලනය ආයුධ මගින් ඉදිරියට ගෙන ගියා. ඔහු දෙමළ ජාතිවාදයේ පරම හා එකම (විධායක බලය පාර්ලිමේන්තුවට ගෙන ඒමට කැසකවන පොහොට්ටුවේ ඇතැමුන්ගේ වචන)  නයකයා වුණා. ප්‍රභාකරන් නියෝජනය කළේ 1833 සිට පැවත ආ දෙමළ ජාතිවාදය.



ගෝඨාභය රාජපක්‍ෂගේ මනා කළමනාකාරීත්වයෙන් නන්දිකඩාල්හි දී පරාජය කෙරුණේ ඒ ජාතිවාදයයි. ඒ ජාතිවාදයට නන්දිකඩාල්හි දී විසඳුමක් දී අවසන්. නැවතත් ඒ ප්‍රශ්නය කතා කරන්න බැහැ. එහෙම කතා කරන්න පුළුවන් නම් නට්සින්ටත් පුළුවන් නැවතත් නට්සිවාදය කතා කරන්න. බටහිරයන් එයට එකඟ ද? දෙමළ පක්‍ෂවල යෝජනා නන්දිකඩාල් කලපුවේ ගිල්ලවා හමාරයි. දෙමළ පක්‍ෂ ගෝඨාභයට ඒ යෝජනා නැවතත් ඉදිරිපත් කරලා. ගෝඨාභයට කියන්න තියෙන්නෙ ගෝ ටු හෙල් කියන්නයි. මෙහි හෙල් කියන්නෙ නන්දිකඩාල් කලපුවට.