Main Logo

Sunday 27 October 2019

රනිල්දාස රනිල් වෙනුවෙන්

   සිංහල ලිත් ඉලක්කම්

රනිල්දාස රනිල් වෙනුවෙන් 



ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයන් තිස්පස් දෙනා අතරින් තරගයක් තිබේ නම් ඒ දෙදෙනකු අතර පමණයි. ඒත් අනුර රනිල්දාසටත් විශාල ප්‍රචාරයක් ජනමාධ්‍යයෙන් ලබා දෙනවා. ඔහුට උපරිම වශයෙන් හැකි තුන්වැන්නා වීමටයි. ඔහු තමා වැඩකාරයකු බව පෙන්වීමට උත්සාහ කරනවා. විවිධ පොරොන්දු දෙනවා. ඔහුට අවශ්‍ය ක්‍රමය වෙනස් කිරීම  කියන එකත් වැරදියි. ඔහු සමාජවාදයක් ඇති කරන්න පොරොන්දු වෙන්නේ නැහැ. ඔහු අද පත් වී ඇත්තේ සජිත්ගේ ඇතැම් ප්‍රකාශ කියවන පුද්ගලයකුගේ තත්වයටයි. ඒ අතර හැමදා වගේ ම ඔහු රනිල් වෙනුවෙන් පෙනී ඉන්නවා.


සජිත්ගේ ප්‍රකාශ වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එක් වර්ගයක ඔහු ගෝඨාභයගේ ප්‍රකාශ සමහරක් වැඩි අගයක් සහිත ව නැවත ප්‍රචාරය කරනවා. උදාහරණයක් වශයෙන් වතු කම්කරු වැටුප සලකන්න. ගෝඨාභය වතු කම්කරු වැටුප රුපියල් දාහ කරන බව කියන විට සජිත් එය එක්දහස් පන්සීය කරන බව කියනවා. ඒත් ඔහු ආණ්ඩුවේ ඇමතිවරයකු ලෙස ඒ සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති කිසිවක් කියන්නේ නැහැ. වතු කම්කරුවන්ගෙ පහුගිය වැඩ වර්ජනයෙ දි ඔහු කී කිසිම දෙයක් ගැන කිසිම වාර්තාවක් මා දැක නැහැ. 

සමහර විට ඔහුගේ අදහස්වලට රනිල් විරුද්ධ වුනා ද දන්නෙ නැහැ. ඒත් සජිත් එහෙම කියන්නෙත් නැහැ. සජිත් අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී කතා කරපු දේ මොනව ද කියල දැනගන්න විධියක් තියෙනවා ද? පාර්ලිමේන්තුවේ දී නම් කියපු වැදගත් දෙයක් ගැන වාර්තා වෙලා නැහැ. සජිත් අද දෙන පොරොන්දු වෙනුවෙන් පහුගිය අවුරුදු පහකට කිට්ටු කාලයක කළෙ මොනවා ද කියන එකත් පොරොන්දු සමග කියන්න පුළුවන් නම් හොඳයි. 

සජිත්ගෙ ප්‍රකාශවල දෙවැනි වර්ගය සිරිසඟබෝ ප්‍රකාශ කියල හඳුන්වන්න හිතුනත් එහෙම කරන එක සිරිසඟබෝ රජුට කරන අගෞරවයක්. සිරිසඟබෝ රජු කටයුතු කෙළෙ බුදුබව පතා ගෙන. සජිත් වැඩ කරන්නෙ ජනාධිපතිකම බලාපොරොත්තුවෙන්. සජිත්ගෙ දෙවැනි වර්ගයේ ප්‍රකාශ රනිල්දාස ප්‍රකාශ හැටියට හඳුන්වන්න පුළුවන්. ඒකෙන් කියන්නෙ රනිල්දාස මේ ප්‍රකාශවල නිර්මාතෘ වන බව නො වෙයි. ඔහුත් කරන්නෙ ලාබ ප්‍රකාශ පමණයි.

මේ ප්‍රකාශ බොහොම ලාබ ප්‍රකාශ. ජනාධිපති නිල නිවසෙ පදිංචි වෙන්නෙ නැත, ජනතාව වෙනුවෙන් ම ජීවිතය කැප කරනවා ආදී ප්‍රකාශ ඕනෑම අයකුට කරන්න පුළුවන්. විශේෂයෙන් ම කිසිම දවසක ජනාධිපති නොවන පුද්ගලයකුට කියන්න පුළුවන්. ජනාධිපති මන්දිර පුස්තකාල කිරීම හරි මහජන සුබ සිද්ධිය සඳහා වූ ආයතන බවට පත් කිරීම හරි ඕනෑම අයකුට කරන්න පුළුවන් ප්‍රකාශ. ඒත් ගෝඨාභය එවැනි ප්‍රකාශ නොකිරීම ගැන අප සතුටු වෙන්න ඕන. 

රනිල්දාස අද කතා කරන්නෙ සමාජවාදයක් ගැන නො වෙයි. ජනාධිපති වියදම 90%කින් අඩු කරනව කියන එක සමාජවාදයක් සඳහා කරන ප්‍රකාශයක් නො වෙයි. රනිල්දාසලාගේ පක්‍ෂය කිසිම දිනෙක සමාජවාදය කියන්නෙ මොකක් ද කියල දැන හිටියෙ නැහැ. පළමුවෙන් ම ඔවුන් පෙනී හිටියෙ කම්කරු පංතිය වෙනුවෙන් නොව නිර්ධන පංතියක් වෙනුවෙන්. වලංගු නැති සංකල්පයක් වුනත් පංතිය කියන එක මාක්ස්වාදයෙ නිර්වචනය කරන්නෙ නිෂ්පාදනය පදනම් කර ගෙන. නිර්ධන පංතිය නිෂ්පාදන ක්‍රියාවලියෙ ඉන්නෙ කොතැන ද කියන එක ඊනියා උගත් ගැමි තරුණයන්ට වැඩක් වුනෙ නැහැ. ජ වි පෙ හැමදාමත් කතා කෙළෙ හැඟීම්වලට. සංකල්ප නිරවුල් ව තේරුම් ගැනීමට ජ වි පෙරමුණට කිසිම දිනෙක අවශ්‍ය වුනෙ නැහැ. අදත් එහෙමයි. 

අද රනිල්දාසගෙ නායකත්වයෙන් ජ වි පෙ කතා කරන්නෙ මේ පවතින ක්‍රමයෙ ම ඉන්න. ඔවුන් ක්‍රමය වෙනස් කරන්නෙ නිෂ්පාදන සම්බන්ධකම් වෙනස් කරලා නො වෙයි. ජනාධිපති මන්දිර පුස්තකාල කරලා. රනිල්දාසගෙ ක්‍රමයෙ කම්කරු පංතියට වෙන්නෙ මොකක් ද කියල කියනවා ද? මා කම්කරු පංතියක් තියෙනව කියල කියන්නෙ නැහැ. මාක්ස්වාදයෙ කියනව නෙ. අඩු තරමෙන් නිර්ධන පංතියට මොකක් ද වෙන්නෙ, ධනපති පංතියට මොකක් ද වෙන්නෙ කියල රනිල්දාස කියනවා ද? 

ඒත් තාමත් රනිල්දාස පස්සෙ යන ගැමි තරුණයො හිතන්නෙ රනිල්දාස ජනාධිපති වුනොත් සමාජවාදය උදාවේවි කියල. ඔවුන් සමාජවාදය කියල කියන්නෙ මොකක් ද කියන එක ඔවුන්වත් දන්නෙ නැහැ. ඒක වෙන ම කතාවක්. ඒත් ඔවුන් සමාජවාදයක් ගැන සිහින මවනව. රනිල්දාස සිහින ඔප දමනවා.

ජ වි පෙ වටා ඉන්න ඊනියා උගතුන් බාගයකට වඩා සමාජවාදය මාක්ස්වාදය ගැන දන්නෙ නැහැ. අපෝහකය ගැන ඒ කිසිවකු යමක් කියනවා ද? නිකම් අහගෙන ඉන්න. අද ඒ අයගෙන් වැඩි පිරිසක් ජ වි පෙ වටා ඉන්නෙ ඔවුන්ට මේ අවස්ථාවෙ ප්‍රබුද්ධයන් හැටියට ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබා ගන්න තියෙන එක ම මග ඒ නිසා. සමහර විට ජ වි පෙ අද ඊනියා සමාජවදය අත් හැරලා නිසා ඔවුන්ට ජ වි පෙ ප්‍රතිපත්ති හරියනවත් ඇති. 

රනිල්දාස ජනාධිපති වෙන්නෙ නැහැ. ඒත් ඔහුට ඊනියා තුන්වැනි අපේක්‍ෂක තනතුරක් ජනමාධ්‍යයෙන් දීල ඒ මොනවට ද? ඔහු සිරිතුංග ජයසූරිය තරමටවත් ක්‍රමය වෙනස් කරන්න හදන අයකු නො වෙයි. රනිල්දාස අද ඉන්නෙ තියෙන ක්‍රමය ම ගෙන යන්න මිසක් වෙනත් දේකට නො වෙයි. අද ජ වි පෙරමුණට කිසිම ප්‍රතිපත්තියක් තියෙනව කියල කියන්න බැහැ. 

රනිල්දාස ඉදිරිපත් වුනෙ රනිල්ගෙ වුවමනාවට සජිත්ගෙ ඡන්ද කඩන්න. සජිත් රනිල්දාස දෙදෙනා අතර ලාබ ප්‍රකාශවලට තරගයක් තියෙනවා. රනිල් සජිත්ට පක්‍ෂ වීමට තීරණය කරන්න පුළුවන්. එදාට රනිල්දාසට තම තාලය තරමක් වෙනස් කරන්න වේවි. රනිල් ප්‍රතිපත්තිය රනිල්දාසට විතරක් නොවෙයි සුමන්තිරන්ටත් බල පාන්න පුළුවන්. ජනාධිපතිවරණය තවමත් ඉවර නැහැ.

ඒ මොකක් වුණත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර ජ වි පෙ වැව් දාහෙ වැඩ පිළිවෙළට මොක ද වුනෙ.