Main Logo

Tuesday 8 October 2019

ශ්‍රි ල නි ප චන්ද්‍රිකා හැව ඇරිය යුතුයි

       සිංහල ලිත් ඉලක්කම්


ශ්‍රි ල නි ප චන්ද්‍රිකා හැව ඇරිය යුතුයි

ශ්‍රී ල නි පක්‍ෂය තවමත් පොහොට්ටුව සමග එක්වීමේ තීරණය ප්‍රකාශ කරල නැහැ. පක්‍ෂය ඒ ගැන තීරණයක් අරගෙන ඇති. ඒත් එය ප්‍රකාශ කිරීමට යම් යම් බාධා තිබෙන බව පැහැදිලියි. ශ්‍රී ල නි පක්‍ෂයේ එක් කණ්ඩායමක් තීරණයට විරුද්ධ ව විවිධ උපක්‍රම මගින් තීරණය ප්‍රකාශ කිරීම කල් දමා ගන්නා බවත් පැහැදිලියි. ඒ කණ්ඩායම චන්ද්‍රිකා විසින් මෙහෙයවෙනව කියා හිතන්න පුළුවන්. ඇල්පිටිය ඡන්දය තීරණය ප්‍රකාශ කිරීම කල් දැමීමට ගත් නිදහසට කරුණක්. චන්ද්‍රිකාට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය රැක ගන්න නොව ආදාහන කරන්න. 


චන්ද්‍රිකා රටට ජාතියට ආගමට විරුද්ධයි. අනූවේ දශකයේ මුල ඇය සිටියේ අගේ මව් රට වන එංගලන්තයේ. ඇය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ. රනිල් වගේ ම තමයි. එකල දෙමළ ජාතිවාදී සිංහලයන්ට අවශ්‍ය වෙලා තිබුණෙ ශ්‍රී ල නි පක්‍ෂය ලවා දෙමළ ජාතිවාදයේ අවශ්‍යතා බලය බෙදා රට බෙදීම ඉටු කිරීමට. දෙමළ ජාතිවාදීන් දැන සිටියා එ ජා ප ආණ්ඩුවකට තම ඉල්ලීම් දීමට බැරි බව. සිංහලයන් ශ්‍රී ල නි පක්‍ෂය මුල් කර ගෙන දෙමළ ජාතිවාදයට එරෙහිව නැගී සිටින බව ඔවුන් දැන සිටියා. ඔවුන් එදත් අදත් හිතන්නෙ ශ්‍රී ල නි ප හරි පොහොට්ටුව හරි බලය බෙදුවොත් සිංහලයන් නැගිටින එකක් නැහැ කියා. 

දෙමළ ජාතිවාදී සිංහලයන්ට (අද නම් සිවල් සාමාජිකයන්, විවිධ පඬියන්, පඬි පෝතකයන්, පඬි නැට්ටන්, ඊනියා ශාස්ත්‍රාලීය විදග්ධයන්, නැති ජාතීන් අතර පාලම් හදන්නන්, ඊනියා රාජ්‍ය නොවන සාංගමිකයන්, ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන් ආදීන්) අවශ්‍ය වුණා ශ්‍රී ල නි පක්‍ෂය ලවා බලය බෙදන්න. ඔවුන් ඒ සඳහා එංගලන්තයේ සිටි චන්ද්‍රිකා ලංකාවට ආනයනය කළා ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වය ගැනීමට. එසේ ආරාධනා කළ පිරිස අතර වික්ටර් අයිවන්, රාජිත සේනාරත්න ප්‍රධානයි. අද පොහොට්ටුවේ ඉන්න කිහිප දෙනකුත් ඒ අතර හිටියා ( ජී එල් පීරිස් නොවෙයි. ඔහු එකල හිටියේ සජිත්ගෙ තාත්තත් එක්ක). මේ පිළිබඳ වැඩි විස්තර මා අනූවේ දශකයේ මුල ලියූ ලිපිවල ඇති. 

1994  මහා මැතිවරණයේ දී ජාතික සංවිධාන කිහිපයක් ම එ පෙ සමග එක් වී වෙන ම තරග කළා. ඒ චන්ද්‍රිකාට ලැබෙන තුනෙන් දෙක වැළැක්වීමේ අරමුණෙන්. අප දැන හිටියා චන්ද්‍රිකා ව්‍යවස්ථාව වෙනස් කර බලය බෙදා රට බෙදන බව. ඒත් අප පැරදුණා. චන්ද්‍රිකා දිනුවා. ඇය බලය බෙදීම සඳහා ඊනියා පැකේජයක් ගෙනාවා. මහා මැතිවරණයේ දී චම්පක, අතන මෙතන රතන හිමි ආදීන් චන්ද්‍රිකා පිළේ මංගල සමරවීරට වැඩ කළ බවත් අමතක නොකළ යුතුයි. 

මහා මැතිවරණයෙන් පසු අප කී පරිදි ම චන්ද්‍රිකා පැකේජයක් ගෙනාවා. ඒ වන විට ජී එල් පීරිස් චන්ද්‍රිකාට එකතු වෙලා. ඉන් පසු ඔහු එ ජා පක්‍ෂයට උත්සාහයක් ගත්තෙ 2015 ජනවාරියෙ. ඒත් රනිල් එයට කැමති වුණෙ නැහැ. චන්ද්‍රිකාගෙ කණ්ඩායමට නායකත්වය දුන්නෙ මංගල. සුපුරුදු පරිිදි ඔහු අවලම් තවලම්, සුදු නෙළුම් ව්‍යාපාර සංවිධානය කළා. මහින්ද රාජපක්‍ෂ පැහැදිලි ස්ථාවරයක් ගත්තේ නැහැ. එදා ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතර සරත් වීරසේකරලා ජානක බණ්ඩාරලා හිටියේ නැහැ.

චන්ද්‍රිකාට විරුද්ධ ව සිටියේ ජාතික සංවිධාන හා ම එ පෙරමුණ පමණයි. ජාතික සංවිධාන ජාතික ඒකාබද්ධ කමිටුව නමින් එකතු වෙලා හිටියා. ඒ නමත් පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමියන්ගෙ. දේශප්‍රේමි භික්‍ෂූ පෙරමුණ, රුහුණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය එක් වී කළුතර සිට කතරගමට පා ගමන්, රිය පෙරහර පමණක් නොව කිරින්දට බෝට්ටු ගමනක් ද සංවිධානය කළා. විවිධ රැස්වීම් පවැත්වුවා. අපට පක්‍ෂ දේශපාලන බලාපොරොත්තු තිබුණෙ නැහැ. ජාතික ඒකාබද්ධ කමිටුවෙන් සිංහල කොමිසම නමින් කොමිසමක් පත් කෙරුණා. එය රට වටේ ගොස් සාක්‍ෂි විභාග කළා. අප කොමිසමත් සමග ත්‍රිකුණාමලයටත් ගියා. 

අපට එකල දිවයින පුවත්පතෙන් විශාල සහායෝගයක් ලැබුණා. පක්‍ෂ දේශපාලනයට නතු නොවුණු පිරිසකට එදා ජාතික ව්‍යාපාරයෙහි නායකත්වය හිමි වුණා. අද ඒ තත්වය දකින්නට නොලැබීම කණගාටුවට කරුණක්. අද ජනමාධ්‍ය තැන දෙන්නේ හිට් කතා කියන වොයිස්කට් භික්‍ෂූන් වහන්සේට හා ගිහියන්ට පමණයි. අපට චන්ද්‍රිකාගේ පැකේජය පරාජය කරන්න පුළුවන් වුණා. අද හිට් කතා කියන භික්‍ෂූන් වහන්සේ හා ගිහියන් එදා දකින්නවත් හිටියේ නැහැ. 

එසේ වුවත් අවාසනාවන්ත සිදු වීමක් වුණා. සිංහල කොමිසම රට වටේ ගොස් සාක්‍ෂි විභාග කිරීමෙන් පසුව සාක්‍ෂිවලට පටහැණි වාර්තාවක් ඉදිරිපත් කළා. කොමිසම කියා සිටියේ සංධීය රාජ්‍යයක් ඇති කිරීමට! එයට නාලක හිමියන්, කස්සප හිමියන් හා මා තදින් විරදේධ වුණා. වාර්තාවට ප්‍රසිද්ධියක් ලැබුණෙ නැහැ. එහෙත් නාලක හිමියන් හා මා ජාතික ඒකාබද්ධ කමිටුවෙන් නෙරපනු ලැබුවා. 

ජාතික ව්‍යාපාරය ක්‍රමයෙන් දේශපාලනීකරණයට ලක් වුණා. කෙසේ නමුත් චන්ද්‍රිකා වෙනුවට 2005 දී මහින්ද ජනාධිපති අපේක්‍ෂක වුණා. ඔහු ද මුල දී සිටියේ ප්‍රභාකරන් සමග සාකච්ඡා කරන්න. යුද්ධ කරන්නේ මොකෙන් ද කියා ඔහු ප්‍රශ්න කළා. එහෙත් ඒ වන විට කොටි ත්‍රස්තවාදය පරාජය කළ හැකි ය පරාජය කළ යුතු ය යන මතය සිංහල ජනයා පිළිගත් එකක් බවට පත් ව තිබුණා.   

අදත් ජාතික ව්‍යාපාරයේ ප්‍රශ්න ඇති වෙලා. අපේ සාක්‍ෂි විභාගවලින් පසුව විවිධ පුද්ගලයන්ට අවශ්‍ය විධියට රැස්වීම්වල ගන්නා තීරණ වෙනස් කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට යෝජනා විද්වත් සංඝ සභාවක වාර්තාවක සඳහන් කරලා. එය මහානායක හාමුදුරුවන්ටත් පිළිගන්නලා. ඒ මාලිමාව හා අනුර දිසානායකගේ මාලිමාව අතර වෙනසක් නැහැ. මාක්ස්වාදය මගින් විප්ලවය කරන්න ගොස් බැරි වුණු අය විප්ලවය ජාතික සංවිධාන මගින් කර ගන්න හදනවා. ජාතික ව්‍යාපාරය මාක්ස්වාදයෙන් පමණක් නොව ලිබරල්වාදයෙනුත් නිදහස් විය යුතුයි. 

ශ්‍රී ල නි පක්‍ෂය වහාම චන්ද්‍රිකාගේ කණ්ඩායමෙන් නිදහස් විය යුතුයි. චන්ද්‍රිකා පැරීසියට යාමටත් පෙර ජාතිකත්වය නැති කර ගත් අයෙක්. ඇයට අවශ්‍ය බලය බෙදීම රට බෙදීම සිංහලයන්ට අවාසි වන ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා තවත් සිංහල බෞද්ධ විරෝධී ක්‍රියා. ඇය බණ්ඩාරනායක දියණියක් වුවත් කුමාරතුංග භාර්යාවක්. ඇයත්, විජය කුමාරතුංගත්, මාක්ස්වාදීනුත් ලිබරල්වාදීනුත් පනස් හයේ දරුවන් නො වෙයි. ශ්‍රී ල නි පක්‍ෂය නිදහසට කරුණු ඉදිරිපත් නොකර චන්ද්‍රිකා හැව අරින්න ඕන. ඇගේ වෛරය සිංහලයන්ටයි. ඇගේ අනුශාසකත්වයක් ශ්‍රී ල නි පක්‍ෂයට අවශ්‍ය යැයි මා හිතන්නේ නැහැ.