Main Logo

Wednesday 30 October 2019

ගෝඨාභය උතුරට ගිහින්

       සිංහල ලිත් ඉලක්කම්




ගෝඨාභය උතුරට ගිහින්



උතුරු පළාතේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා හා කඳුකරයේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා යනුවෙන් මුස්ලිම් නොවන දෙමළ කතා කරන්නන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ ඒ ජන කොටස් අතර බැඳීමක් නැහැ. ඔවුන් ජීවත් වන්නේ ජන කොටස් තුනක් ලෙසයි. ඔවුන්ට පොදු ඉල්ලීමක් අරමුණක් නැහැ. මෙයට අමතර ව කොළඹ හා තදාසන්න පෙදෙස්වල ජීවත්වන දෙමළ කතා කරන ජනයා ද වෙනවා. ඔවුන් බොහෝ විට තමන් සම්භවය වූ ප්‍රදේශ සමග සම්බන්ධයක් පවත්වා ගෙන යනවා.




දෙමළ කතා කරන ජන කොටස්වලට පොදු අරමුණක්, අවශ්‍යතාවක් ලබා දීමට 1976 දී කැඳවපු වඩුකොඩෙයි සම්මේලනය අද වන විට පුස්සක් බවට පත් වී තිබෙනවා. වඩුකොඩෙයි සම්මේලනයට දෙමළ කතා කරන මුස්ලිම් ජනයා නියෝජනය කරමින් අෂ්රොෆ් ද සහභාගි වුනා. අද මුස්ලිම් ජනයා  අනෙක් දෙමළ කතා කරන ජනයාගෙන් වෙන් වෙලා. ඔවුන් ද කොටස් කිහිපයකට ම කැඩී තිබෙනු දක්නට පුළුවන්. ඔවුන් අතර සමහර කොටස් මෙරට මුස්ලිම් රාජ්‍යයක් ඇති කිරීමට කටයුතු කරනවා. ඒ දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික මෙන් ම ජන සංයුතික ආක්‍රමණ මගින්. දෙමළ කතා කරන මුස්ලිම් ජනයාගේ අරමුණ හා අවශ්‍යතාව අනෙක් දෙමළ කතා කරන ජන කොටස්වල අරමුණු හා අවශ්‍යතාවන්ට වඩා වෙනස්.



වඩුකොඩෙයි සම්මේලනයේ යෝජනා එදා දෙමළ කතා කරන සියලු ජන කොටස් විසින් නාමික ව පිළිගනු ලැබුණා. ඔවුන්ට මූලික වශයෙන් අවශ්‍ය වූයේ ඊනියා දෙමළ නිජභූමියේ වෙන ම රාජ්‍යයක් පිහිටුවීම. ඊනියා ස්වයංනීර්ණ අයිතිය ආදිය ඒ සඳහා යොදා ගත් කොන්දේසි කිහිපයක්. ඒ් කොන්දේසි වෙනත් සංදර්භයක බටහිර දේශපාලන විද්‍යාඥයන් විසින් සූත්‍රගත කරනු ලැබූ දේ. මෙහි දී අවධාරණය කළ යුත්තේ වඩුකොඩෙයි යෝජනා අවශ්‍ය වූයේ වෙල්ලාල නායකයන්ට බව. නිජභූමිය යන්න මුලින් ඇති වූවක් නො වෙයි. වෙල්ලාල නායකයන්ට 1947 ට පෙර මුල දී අවශ්‍ය වූයේ මුළු රටේ ම නායකයන් බවට පත් වීමට. එය බැරි බව ක්‍රමයෙන් ඒත්තු ගැන්වුනු පසුව ඔවුන් උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළත් ප්‍රදේශයක වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කළා. ඒ සඳහා ඔවුන් ඊනියා නිජභූමිය යන පට්ටපල් බොරුව යොදා ගත්තා.



එහෙත් මේ ඊනියා දෙමළ නිජභූමියේ දෙමළ කතා කරන ජන කොටස් තුන මිශ්‍ර වන්නෙ නැහැ. ඔවුන් ජීවත් වන්නේ වෙන වෙන ම. ඔවුනොවුන් අතර විශේෂ නෑ සබඳකම් ඇත්තෙත් නැහැ. එලෙස ගත්තත් දෙමළ නිජභූමිය යන්න පට්ට ම පට්ටපල් බොරුවක්. උතුරු පළාතේ දෙමළ කතා කරන ජනයා එහි පැමිණ ඇත්තේ 1650න් පමණ පසුව.  වෙල්ලාලයන් කුලයක් ලෙස ලන්දේසින් එහි ගෙනැවිත් තියෙනවා. පසුව ඉංගිරිසින් විවිධ කුලී වැඩ කිරීම සඳහා ගෙන්වපු දෙමළ කතා කරන ජනයා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කෙරුවා. ඒ දෙමළ කතා කරන ජනයා පදිංචි කෙරුණේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා පදිංචි වී නොසිටි පෙදෙස්වල. ඒ නිසා තමයි නැගෙනහිර පළාතේ  මුස්ලිම්, දෙමළ කතා කරන, මුස්ලිම් ජනගහන සංයුතිය පොල්, පිටි, පොල් ලෙස මෙන් පිට්ටු බම්බු ආකෘතියක් ගන්නේ. ඉංගිරිසින් සියල්ලන්ට ම පසුව ගෙනා වතුකරයේ දෙමළ කතා කරන ජනයා කඳුකරයේ වෙන ම ජන කොටසක් බවට පත් වී ඉන්නවා.    



උතුරට හා කඳුකරයට වෙන ම දෙමළ කතා කරන නායකයන් ඉන්නවා. නැගෙනහිර දෙමළ කතා කරන නායකයන් හැටියට ඉන්නෙ පිල්ලෙයාන් කරුණා වැනි අය. ඔවුන්ට වඩා නැගෙනහිර පළාතේ මුස්ලිම් නායකයන් බලවත්. උතුරු පළාත හා නැගෙනහිර පළාත එකතු කිරීමට අද ජනමතයක් නැහැ. කෙටියෙන් කිව්වොත් ඊනියා ඊළමක් ගැන පොදු ජනමතයක් දෙමළ කතා කරන කොටස් අතර නැහැ. එවැනි ඊලමක් බිහි කළත් කඳුකර දෙමළ කතා කරන ජනයාට හා කොළඹ ඉන්න දෙමළ කතා කරන ජනයාට මොකද වෙන්නේ?



අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නෙ බටහිර රටවල් හා ඉන්දියාව විසින්. බටහිරයන් උතුරු පළාතේ වෙල්ලාල නායකයන් සමග සම්බන්ධකම් ඇති කර ගෙන බොහෝ කල්. ඉන්දියාව උතුරු පළාතේ හා කඳුකර දෙමළ කතා කරන නායකයන්ට බලපෑම් කරනවා. ඊනියා දෙමළ ඊළම අද දෙමළ කතා කරන ජනයාට විකුණන්න බැහැ. ඔවුන් එය ප්‍රතික්‍ෂෙප කරනවා. පසුගිය දා ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් දහතුන වෙල්ලාල නායකයන්ට පමණක් සීමා වූ දෙයක්. ඔවුන් ඒ ඉදිරිපත් කෙළේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දීමෙන් වැළකී සිටීමට.



එහෙත් අද ඒ ස්ථාවරය වෙනස් වී තියෙන්න පුළුවන්. අඩු තරමෙන් සුමන්තිරන් හා සම්බන්ධන් ස්ථාවරය වෙනස් කර ගෙන තියෙන බවක් පේන්න තියෙනවා. සුමන්තිරන් විසිරුණු දෙමළ කතා කරන ජනයා හමුවෙන්න රට රටවලට යනවා. වැඩි කල් නොගොස් වෙල්ලාල නායකයන්ගෙ ඊළම හා බෙදුම්වාදය පරාජය කරන්න පුළුවන්. මෙහි දී සිංහල කතා කරන පඬියන්ගෙ සිංහල විරෝධය සත පහකට ගණන් ගන්න ඕනෙ නැහැ. ඔවුන් ජාතිවාදය කියන්නෙ සිංහලයන්ගෙ නැති වී ගිය අයිතීන් දිනා ගැනීමට කටයුතු කිරීම.



ගෝඨාභය රාජපක්‍ෂ උතුරු පළාතට ගිහින් කර ඇති ප්‍රකාශ (වාර්තා වී ඇති අන්දමට) යහපත් බවයි මගේ හැඟීම. ඔහු ඊනියා ඊළමක් ගැන තබා බලය උපරිම වශයෙන් බෙදීමක් ගැනවත් කියලා නැහැ. ඒකීය රාජ්‍යයක බලය (ව්‍යවස්ථාදායක හා විධායක) උපරිම වශයෙන් නොව අංශු මාත්‍රයක්වත් බෙදන්න බැහැ. දහතුන්වැනි සංශෝධනයෙන් පස්සෙ ලංකාවෙ ඒකීය රාජ්‍යයක් නැහැ. අප කළ යුත්තේ නැවත ඒකීය රාජ්‍යය ඇති කිරීම. දෙමළ කතා කරන ජන කොටස් තුනට තියෙන්නෙ විවිධ අවශ්‍යතා. නැගෙනහිර පළාතෙ නම් ඔවුන් මුස්ලිම් ආක්‍රමණයකට ගොදුරු වෙලා.



උතුරු පළාතේ ජනයාගේ ඡන්ද ගැනීමට කියා බොරු පොරොන්දු දෙන්න ඕන නැහැ. ඒ පළාතේ සාමාන්‍ය ජනයාට තියෙන්නෙ තම දරුවන් හදා වඩා ගෙන යහපත් ජීවිතයක් ගත කරන්න ඇති ඕන කම මිසක් ඊළමක් දිනා ගැනීම නො වෙයි. උතුරේත් නැගෙනහිරත් කඳුකරයේත් ජනතාවගෙන් හා නායකයන්ගෙන් දෙමළ ඊළම අවශ්‍ය වෙල්ලාල නායකයන්ට පමණයි. අද අවශ්‍ය වන්නේ මේ වෙල්ලාලයන් දේශපාලනයෙන් කොන් කිරීමයි.



අප කළ යුත්තේ දෙමළ කතා කර ජන කොටස්වලට ඒ ඒ ප්‍රදේශවල ඇති ප්‍රශ්න විසඳීමයි. ගෝඨාභය රාජපක්‍ෂ ඒ නව දේශපාලනයට මුල පුරලා තියෙනවා. ඔහු වැඩි දුරටත් දෙමළ කතා කරන ජන කොටස්වලට ඊනියා දෙමළ නායකයන් මගින් නැතිව සෘජුව කතා කරන්න ඕන. අපට දෙමළ ජාතිවාදය මුලිනුපුටා දාන්න පුළුවන්.