Main Logo

Friday 4 October 2019

ගිරවා දමන සභ්‍යත්ව කුණුහරුප

      සිංහල ලිත් ඉලක්කම් 


ගිරවා දමන සභ්‍යත්ව කුණුහරුප




අද රට ම ඇත්තෙ මහා අවුලක. එයට ප්‍රධාන ම හේතු ව සිංහලයන්. එහෙම කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් සිංහලයන්ගෙ කොන්ද බිඳලා තියෙන්නෙ. ඒ ඉංගිරිසින් විසින්. ඔවුන්ගෙ අධ්‍යාපනයෙන්. ජාතික ව්‍යාපාරයෙන් ඈත් කරනු ලැබ සිටි මා පසුගිය දින කිහිපයක සිට නැවතත් එහි ක්‍රියා කරන්න පටන් ගත්තා. ඒ බෙංගමුවෙ නාලක අනුනායක හිමියන්ගෙ ආරාධනයෙන්. උන්වහන්සේ තමන් වහන්සේගෙ නිකාය පාර්ශ්වයෙහි අනුනායක හිමි නමක් බවත් මා දැන ගත්තෙ පසුගිය දා.  


අද ජාතික ව්‍යාපාරයත් ඇතැමුනට ව්‍යාපාරයක් බවට පත් වෙලා. සෑම දෙයක් ම මුදල් විසින් පාලනය කෙරෙන විට ජාතික ව්‍යාපාරය පමණක් ඉන් ඈත් ව තියෙන එක අමාරු වැඩක්. මට පේන විධියට ජාතික ව්‍යාපාරය නැවත පටන් ගන්න වෙලා. එය පක්‍ෂ දේශපාලනයෙන් මුදා ගන්න වෙලා. පක්‍ෂ දේශපාලනය කියනවාට වඩා බටහිර මතවාදවලින් කිව්වොත් නිවැරදි වෙන්න පුළුවන්. දේශපාලන පක්‍ෂවලට සම්බන්ධයක් අද නැති වුවත් තමන් කලක් වැඩ කළ පක්‍ෂවල මතවාදවලින් ඇතැමුුන්ට කැඩෙන්න බැහැ. 

ඒත් ඔවුන්ට ඒ මතවාද ගැන නිවැරදි නිරවුල් අවබෝධයක් නැහැ. එයටත් හේතුව ඔවුන් සිංහලයන් වීම. අවාසනාවකට සිංහලයන් නිරවුල් නැහැ. තමන්ගෙ මතවාද සංගත ද කියලවත් හොයලා බලන්න ඔවුන්ට බැහැ. ඔවුන් ඒ සඳහා පුරුදු කරල නැහැ. මෙය පස්වැනි සියවසෙන් පමණ පසුව සිදු වූවක් ලෙසයි මා හිතන්නෙ. අවුරුදු එක්දහස් පන්සීයක් විතර කාලයක සිට කරන දෙයක් අවුරුදු පනහකින් නැති කරන්න බැරි බව පැහැදිලියි. 

ඉංගිරිසි අධ්‍යාපනයත් සමග අප අතරමං වෙලා. අපට බුදුදහම ගැන සම්මාබෝධයක් නැති වීම ප්‍රධාන හේතුවයි. බුදුදහම අටුවාවට හිර කිරීමත් සමග අප අනුකාරකයන් කර ගන්න විවිධ මතවාදීන්ට පුළුවන්කම ලැබුණා. අටුවාව සම්බන්ධයෙනුත් අප කරන්නෙ අනුකරණයක්. මනස ගැන අපට තියෙන්නෙ අවුලක්. මනස තියෙන්නෙ කොහෙ ද වගේ ප්‍රශ්නවලට දෙන පිළිතුර මොකක් ද? මනස යනුවෙන් ඊනියා යථාර්ථයක් තියෙනවා ද? රනිල් කියනවා වගේ එහෙම නම් නිවන් සම්මාබෝධයෙදි මනසට වෙන්නෙ මොකක් ද? එය නැතිවෙනවා ද? එය දිගින් දිගට ම පවතිනවා ද? 

මධ්‍යම ප්‍රතිපදාව අපට තේරෙනවා ද? ලෝකය පවතින්නෙත් නැත. නොපවතින්නෙත් නැත කියන එක අප තේරුම් ගන්නෙ කොහොම ද? අප ගිරවුන් ලෙස අපට නොතේරෙන දේ කියවනවා. කවුරු හරි පඬියකු අහන්න පුළුඬන් කියවනවා කියන එක ගැන මගේ කියවීම මොකක් ද කියලා. මට කිසිම කියවීමක් නැහැ. මා කියවන්නෙ නැහැ. තේරුම් ගන්නවා කියන එක තේරෙනවා ද? ඒ මොකක් වුවත් අප සම්මාබෝධය පැත්තකින් තිබ්බත් අවබෝධ කර ගන්නවත් උත්සාහ කරනවා ද? 

අප වඩාත් ම කැමති දේ බටහිර මොකක් හරි සංකල්පයක් හරි මතවාදයක් හරි අහුලගෙන එය පුනරුච්චාරණය කිරීම. වෙනත් වචනවලින් කියනවා නම් ගිරවා දැමීම. තරුණයන්ට මේ ගිරවා දැමීම දැනෙනවා. ඒත් ඔවුනුත් කරන්නෙ ගිරවා දැමීම පමණයි. බුදුදහම සම්මාබෝධ කර ගැනීමට උත්සාහ නොගත් අප බුදුදහමත් ගිරවා දැමීම හේතුකොටගෙන බටහිර දැනුමත් ගිරවා දමනවා. අප දැන් දන්නේ ගිරවා දැමීමට පමණයි. 

මා බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කරනවා නො වෙයි. එහෙත් එය එකම දැනුම ලෙස පිළිගන්න සූදානම් නැහැ. මා බටහිර දැනුම් ආධිපත්‍යයට යට වෙන්නෙත් නැහැ. සියළු දැනුම් මිනිසුන්ගේ නිර්මාණ මිසක් පවතින ඊනියා යථාර්ථයක් තේරුම් ගැනීමක් නො වෙයි. සියළු දැනුම් මායාවක් කියන එකත් එතරම් හොඳ නැති බව මට දැන් හිතෙනවා. මායාවක් කිව්ව ම මායාවක් නොවන දෙයක් පවතිනවා ද? 

ගණිතය වුණත් මිනිසුන්ගෙ නිර්මාණයක්. වඩා හොඳයි නිර්මාණ කිව්වොත්. ඒ එක් ගණිතයක් නොව ගණිත රාශියක් නිර්මාණය කරන්න පුළුවන් නිසා. අවශ්‍ය වන්නෙ ඊනියා ස්වසිද්ධි (ප්‍රත්‍යක්‍ෂ- Axioms) ටිකක් නිර්මාණය කර ඇරිස්ටෝටලීය න්‍යාය යෙදා නිගමනවලට පැමිණීම පමණයි. ස්වසිද්ධි  වෙනස් කළාම වෙනස් ගණිත ලැබෙනවා. හොඳ ම උදාහරණය අප කවුරුත් පාගේ ඉගෙන ගන්න යුක්ලීඩිය  ජ්‍යාමිතිය. යුක්ලීඩිය ජ්‍යමිතියට පදනම් වෙන ස්වසිද්ධි තියෙනවා. ඒ ස්වසිද්ධි වෙනස් කළාම වෙනස් ජ්‍යාමිති ලැබෙනවා. ඒවට නිර්යුක්ලීඩිය ජ්‍යාමිති කියනවා. යුක්ලීඩිය ජ්‍යාමිතියෙහි ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 යි. නිර්යුක්ලීඩිය ජ්‍යාමිතිවල එය 180ට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්.

දැන් කවුරුන් හරි අහන්න පුළුවන් කොයික ද හරි කොයික ද ඇත්ත වගේ ප්‍රශ්න. ඇත්තක් කියල එකක් නැහැ. ඇත්ත තියෙන්නෙ යුදෙව්වන්ට බ්‍රාහ්මණයන්ට මිසක් බෞද්ධයනට නො වෙයි. බුදුහාමුදුරුවො ඊනියා ඇත්තක් හොයන්න ගියේ නැහැ. ඇත්ත කියන්නෙ ඇති දේ. සත්‍යය කියන්නෙත් සත් බවක් ගැන. සත් කියන්නෙ පැවතීම. කිං සච්ච ගවෙසි බුදුහාමුදුරුවන්ගෙ ක්‍රියාවක් නො වෙයි. ඒ බමුණන්ගෙ වැඩක්. අප අද ඇත්ත කියන්නෙ අනෙක් කතා සමග සංගත වූ කතාවකට. උසාවියෙ දි කරන්නෙත් ඒකයි. නීතිඥයන් කරන්නෙ සංගත කතා හදන එක. ගෝඨාභයගෙ නඩුව තින්දු වෙන්නෙත් විනිසුරුවන්ට අනුව හොඳ ම සංගත කතාව කුමක් ද කියන එක මත.  

ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 වෙන එක පිටුපස්සෙ තව කොපමණ කතා තියෙනවා ද? බටහිර ගණිතඥයන් බලන්නෙ මේ කතා අතර සංගත බවක් තියෙනව ද නැත් ද කියන එක පමණයි. බටහිර භෞතික විද්‍යාව අංශුවක ස්කන්ධය ගැන කතා කරනවා. ඔය ස්කන්ධය කියන එකට නිව්ටන්ගෙ ඉඳන් හිග්ස් දක්වා කොපමණ අදහස් දීල තියෙනවා ද? නිව්ටන් ද හරි හිග්ස් ද හරි? නිව්ටන් කෙළෙත් හිග්ස් කෙළෙත් නිර්මාණ පමණයි. ඒ ඒ නිර්මාණ ඒ ඒ අයට සංස්කෘතියට සාපේක්‍ෂයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවදය කියන එක කෙටියෙන් කියන්නෙ එහෙමයි. ඒකත් මගේ නිර්මාණයක් පමණයි.

මට මේ ටික කියන්න හිතුණෙ අද ජාතික ව්‍යාපාරයෙ කතා වෙන සභ්‍යත්ව රාජ්‍යය ඇහුවට පස්සෙ. මා ඊයේ කියූ විධියට මෙය මාටින් යක් නිර්මාණය කළ අදහසක්. බටහිරයන්ට තමන්ගෙ ජාතික රාජ්‍යය සංකල්පයෙන් චීන රාජ්‍යය තේරුම් ගන්න බැරි නිසා ඔවුන් සභ්‍යත්ව රාජ්‍යය කියන සංකල්පය නිර්මාණය කළා. එයත් බටහිර රාමුවෙ නිර්මාණය වුණු සංකල්පයක්. ජාතික රාජ්‍යය වගේ ම සභ්‍යත්ව රාජ්‍යයත් බටහිර දැනුම් පද්ධතියෙ සංකල්ප. ඒ දෙක දෙකක් මිස එකක් වෙන්න බැහැ. සභ්‍යත්ව රාජ්‍යයක් ජාතික රාජ්‍යයක් වෙන්න බැහැ. 

එහෙත් ලංකාවෙ ජාතික ව්‍යාපාරයෙ ඇතැමුනට රාජ්‍යයක් ජාතික වෙන්නත් පුළුවන්, සභ්‍යත්ව වෙන්නත් පුළුවන්. ඒක අසභ්‍ය කතාවක් වෙන්න ඕන. සිංහලයන් බටහිර දැනුම ගිරවා දැමීම මිස ඒ ගැන හිතන්නෙ නැහැ. අද ජාතික ව්‍යාපාරයේ අසභ්‍ය කතා කියැවෙනවා. අනිත් අය අසභ්‍ය කතා නොකියන බවක් ඉන් හැඟෙන්නෙ නැහැ. අඩු තරමෙන් ජාතික ව්‍යාපාරයවත් සභ්‍යත්ව  කුණුහරුප වලින් මුදවා ගන්න ඕන.