Main Logo

Saturday 5 October 2019

නඩු තීන්දුව

        සිංහල ලිත් ඉලක්කම් 


නඩු තීන්දුව

ගෝඨාභයගේ රටවැසි භාවය නීත්‍යානුකුල බව අධිකරණයෙන් කියලා. මා ඒ ගැන සතුටු වෙනවා. මා ඊයේ කී පරිදි විනිසුරුවන් තමන්ට ඉදිරිපත් වූ කරුණුවලින් වඩාත් ම සංගත කරුණු මත පදනම් වෙලා තීන්දුව දෙන්න ඇති. ඒත් අධිකරණයේ ඉදිරිපත් වී ඇති තර්ක පිළිබඳ ව නම් මට ප්‍රශ්න තියෙනවා. ඒ හුදු තාර්කිකයකු ලෙස. මගේ ප්‍රශ්න ඉදිරිපත් නොවූ තර්ක පිළිබඳ ව මිස ඉදිරිපත්  වූ කරුණු හා තර්ක මත පදනම් ව දුන් තීන්දුව ගැන නොවෙයි. මා නම් හිතා ගෙන හිටියේ (බලපොරොත්තුව නොවේ) අධිකරණය වෙනත් තීන්දුවක් දේවිය කියා. ඒ ගැන මගේ බයකුත් තිබුණා. 


මා දන්නා හාමුදුරු නමක් එකහෙළා කිව්වේ ගෝඨාභය නඩුවෙන් දිනන බවයි. මා උන්වහන්සේගෙන් විමසුවා කිනම් කරුණු හා තර්ක මත පදනම් වී තමන්වහන්සේ ඒ නිගමනයට පැමිණියේ ද කියා. උන්වහන්සේට තිබී ඇත්තේ විශ්වාසයක්.  අප සියළු දෙනා ම විශ්වාස මත පදනම් වෙනවා. මා බයෙන් සිටියේ බැරල් නීතිඥයන් මට ඇති තර්ක ගෙන ඒවි කියා. එහෙත් ඔවුන් ඒ තර්ක ගෙන ආ බවක් පේන්න නැහැ. මා සම්පූර්ණ නඩුවට සවන් නොදුන් නිසා මා එසේ කියන්නේ ජනමාධ්‍ය වාර්තා මත පදනම් වෙලා.

මට ඇති තර්ක මා සඳහන් කරන්නේ නැහැ. ඒ තර්ක ඉදිරිපත් කිරීම ගෝඨාභයට අවාසියි.  මට කීමට ඇත්තේ ඉංගිිරිසින් අප මත පැටවූ විධික්‍රම පිළිබඳ ව අපට දැනුමක් නැති බවත් අප ඒ විධික්‍රම ඉක්මවා කටයුතු කරන බවත් පමණයි. අපට ඉංගිරිසි විධික්‍රම ආගන්තුක බව නම් පැහැදිලියි. 

ඇතැමුන් දැන් කියන්න පුළුවන් මා ගෝඨාභයට විරුද්ධ බව. එසේ කියන සමහරුන් 2015 දී මහින්දට විරුද්ධ ව වැඩ කළ බවත් මා දන්නවා. ඔවුන් කියන්නේ ඒ අවස්ථාවේ මහින්ද බලයට පත් නොවීම ජාතිකත්වයට හොඳ බවයි. ඔවුන් හිතනවා ද දන්නේ නැහැ රනිල් බලයට පත් වී ජාතිකත්වය ආරක්‍ෂා කළ බව. 

මේ ලිපි ලිවීමෙන් මට අවාසියක් මිස වාසියක් නොවන බව මා දන්නවා. ඒත් මා ලියන්නේ පෞද්ගලික හෝ වෙනත් වාසියක් බලා ගෙන නො වෙයි. ඇතැමුන් මා ගෝඨාභය විරෝධියකු බවට ප්‍රචාරය කරාවි. ඒකට කමක් නැහැ. මා කියන්නේ මට වැටහෙන දේ. මගේ වැටහීමේ දෝෂයක් තියෙන්න පුළුවන්. 

ගෝඨාභය දිනනවා නම් මා කැමතියි. ඒත් මා දන්නවා ඔහු අප කියන දේ නොකරන බව. මා නම් ඔහුට කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔහුට හැකි සහායක් ලබා දෙනවා. කිසිම ජනමාධ්‍ය ආධාරයක් නැති මට ඔහුට ලබා දෙන්න පුළුවන් සහාය ඉතා සීමිතයි. ලිපි තුනක් පමණක් පළ කිරීමෙන් පසු අරුණ පුවත්පතේ උගත් සංස්කාරකතුමාත් තීරණය කර තිබෙනවා මගේ ලිපි එතරම් උසස් මට්ටමක නැති බව. දිවයින සංස්කාරකතුමා එසේ තීරණය කර බොහෝ කල්. 

ගෝඨාභය වටා සිටින්නන් මගෙන් ආධරයක් බලාපොරෙත්තු වේය කියා මා හිතන්නේ නැහැ. මට කළ හැක්කේ කාලය බ්ලොග් අඩවියෙන්  දෙන්න පුළුවන් ආධාරයක් ලබා දෙන එක පමණයි. ජාතිකත්වය සම්බන්ධයෙන් ගත් කළ ගෝඨාභය සිටින්නේ සජිත්ට ගවු ගණනක් ඉදිරියෙන්. 2015 දී ඇතැමුන් ජාතිකත්වය සම්බන්ධයෙන් රනිල් මහින්දට ඉදිරියෙන් සිටි බවට තීරණය කළා. ඒ අය දැන් මා ගෝඨාභය විරෝධියකු යැයි කියන්න පුළුවන්.

අද රනිල් දියුණුව කියල කියන්නෙ බටහිරයන් අනුකරණය කිරීම පමණයි. ඒ ඔහු හැදී වැඩුණු ආකාරය නිසා ඇති වෙච්ච දෙයක්. රනිල් විතරක් නො වෙයි මෙරට බොහෝ දෙනා හිතන්නෙත් එහෙමයි. අප අපේ ම වූ නිර්මාණ ගැන හිතන්නේ නැහැ. පසුගිය දා චන්ද්‍රිකාවක් නිර්මාණය කල තරුණයාටත් තරණියටත් විශාල ගෞරවයක් හිමි වුණා. මා එයට වරදක් කියන්නේ නැහැ. ඒත් ඔවුන් කෙළේ බටහිරයන් අවුරුදු හැටකටත් පෙර කර ඇති දෙයක් නැවත කිරීමක් පමණයි. මහින්දගෙ පුතෙක් රොකට්ටුවක් විද්ද බවට කතාවක් තිබුණා. ඉන් පසු අහන්න ලැබුණේ ඔහු විවාහ වූ බව පමණයි. 

මා මේ දේ කියන්නේ ඊර්ෂ්‍යාවකින් නො වෙයි. මා කර ඇති නිර්මාණයකුත් නැහැ. එහෙත් වෙනත් අයවත් නිර්මාණ කරනවා දකින්න මා කැමතියි. එකල අපේ සංස්කෘතිය වැවයි දාගැබයි මත ගොඩ නැගුණා. වැව අපේ ම නිර්මාණයක්. අප එය පිටින් ගත් එකක් නො වෙයි. විජය වංගයේ පුන්ඩ්‍රාවර්ධනයෙන් (පුන්ඩ්‍රා දේශයෙන්- පාන්ඩ්‍යයෙන් - භාරතයේ බටහිර වෙරළේත් පුන්ඩ්‍රයන් වාසය කර තිබෙනවා. විජයගෙන් පසුව බටහිර පුන්ඩ්‍රයනුත් මෙරටට පැමිණ තිබෙනවා. පරණවිතාන මහතාට අනුව මුටසීව රජු එසේ පැමිණියෙක්. මුරුණ්ඩ වාංශිකයෙක්. සුප්පාරක හා භාරුකච්චා මහාවංසයට වැදගත් වන්නේ එබැවිනුයි.) පැමිණි බව මගේ වැටහීමයි. ඔහු කුවේණිය පන්නා දමා කුමාරිකාවක් ගෙන ආවේ මේ පාන්ඩ්‍යයෙන් වෙන්න ඕන. අපට එසේ කුමාරිකාවන් ලැබුණත් වැව් ලැබුණේ භාරතයේ කිසියම් දේශයකින් නො වෙයි. වැව අපේ නිර්මාණයක්. අප වැව් හදන්න භාරතයේ අයට කියා දුන්නා. 

බුදුදහම නම් අපට ලැබුණේ දඹදිවින්. ඒත් අප එය අපේ කර ගත්තා. මිහිඳු මාහිමියන් අපට එයට ආධාර කළා. අටුවා සිංහලෙන් ලිවුවා. පසුව එය පීළි පැන්නා. ඒත් දාගැබ අපේ. වැවයි දාගැබයි අපේ. එපමණක් නොවෙයි ශාස්ත්‍රීය වශයෙන් ගත් කළ ශූන්‍යය සඳහා වූ හල් කිරීම සංකේතයත් අපේ.

අප ගෝඨාභයට ආධාර කරනවා. ඒ ඔහු සජිත්ට වඩා වැවයි දාගැබයි ආරක්‍ෂා කරන බව දන්නා නිසා. ඒත් ඔහු වටා සිටින ඇතැමුන්ට අවශ්‍ය ටයි පටියයි කබායයි ආරක්‍ෂා කරන්න. අපට අවශ්‍ය නැවතත් වැවක් වැනි දෙයක්  මෙරට නිර්මාණය වනු දකින්න. ලෝකයට අපෙන් දිය හැකි දෙයක් නිර්මාණය කරන්න. ඉංගිරිසින්ගේ (බටහිරයන්ගේ) විධික්‍රම අපට නොතේරෙන බව නඩු තින්දුවෙන් පැහැදිලි වෙනවා. ඒත් නඩු තීන්දුව දේශපාලන සංස්කෘතික හා ආර්ථික වශයෙන් අපේ වාසියට, අපේ නිර්මාණ කරන්නට (ශිල්ප මෙන් ම ශාස්ත්‍ර ද)  යොදා ගනිමු.