Main Logo

Saturday 26 October 2019

ජාතික චින්තනය හා චින්තනයේ ජාතිකත්වය

   සිංහල ලිත් ඉලක්කම්


ජාතික චින්තනය හා චින්තනයේ ජාතිකත්වය




මෙරට මැද පන්තියේ බොහෝ දෙනකුට, බහුතරයකට, ජාතික චින්තනයක් තියෙනවා. එහෙත් ඔවුන් චින්තනයේ ජාතිකත්වය කියන්නෙ මොකක් ද කියන එක දන්නෙ නැහැ. ඔවුන්ට ඒ දැනගැනීමට වුමනාවකුත් නැහැ. ගුණදාස අමරසේකර කියන්නෙ ජාතික චින්තනයක් ගැන. මා කතා කරන්නේ චින්තනයේ ජාතිකත්වය ගැන. මේ රටේ මැද පන්තියේ නොවන අයට චින්තනයේ ජාතිකත්වයක් තියෙනවා. එහෙත් ඔවුන්ට ඒ ප්‍රකාශ කර ගන්න තේරෙන්නෙ නැහැ. ඔවුන්ට තේරෙන්නෙ නැත්තෙ සංකල්පය පමණක් නො වෙයි. සංකල්පය නම් මැද පන්තියේ අයටත් තේරෙන්නෙ නැහැ. අප මේ කරුණු ගැන හිත යොමු කළ යුතුයි. මේ ලිපිය තරමක් වියුක්ත ලිපියක්. මෙය සංයුක්තව මා මේ දිනවල අත්දකිනවා. 


ගුණදාස අමරසේකර කියන්නෙ තමන්ගෙ අදහසක් නො වෙයි.  එක්තරා ලේඛකයකු රුසියන් විප්ලවය ගැන ලියැවුණු පොතක් විචාරයට ලක් කරමින් කී කතාවක්. ඔහු කියා ඇත්තේ රුසියන් විප්ලවය රුසියන් (නැෂනල් තෝට්) ජාතික චින්තනයෙන් බිහි වූ බවක්. අමරසේකර නැෂනල් තෝට් යන්න ජාතික චින්තනය ලෙස පරිවර්තනය කළා. ඔහු ඒ අදහස ලංකාව සම්බන්ධයෙනුත් යොදා ගෙන මෙරට දේශපාලනයට ජාතික චින්තනයක් අවශ්‍ය බව කියා සිටියා. එහෙත් ජාතික චින්තනය යනු කුමක් දැයි පැහැදිලි කිරීමට ඔහු අසමත් වුනා. 1987 තරම දිවයින බදාදා අතිරේකයෙ පළ වූ ලිපි කියවූවොත් ඒ බව දැන ගන්න පුළුවන්.

රුසියන් විප්ලවයට කිසිම ජාතිකත්වයක් තිබුණේ නැහැ. එය ලෙනින් මාක්ස්ගේ අදහස් තරමක් වෙනස් කරමින් කරන ලද බලය ඇල්ලීමක්. ලෙනින් බලය ඇල්ලුවේ මාක්ස්වාදයකිනුත් නොවෙයි. ට්‍රොට්ස්කි ඊනියා රතු හමුදාව යොදා ගනිමින් බලය තහවුරු කිරීමට උත්සාහ කළා. ඒ සියල්ලෙහි සාර් විරෝධයක් තිබුණා. එතැනින් එහා ගිය ජාතිකත්වයක් තිබුණේ නැහැ. මැක්සිම් ගෝර්කිගේ සිට බොරිස් පැස්ටරනැක් දක්වා ලේඛකයන් විප්ලවය අනුමත කෙළේ නැහැ. මෙරට උගතුන් අතර ප්‍රියතම ලේඛකයකු වූ ගෝර්කි රුසියන් විප්ලවය ගැන කියන්නෙ මෙහෙම දෙයක්. මා කතාව ඉංගිරිසි බසින් උපුටා දක්වන්නම්.      


“In his book, Untimely Thoughts, he (Gorky) called for an end to spilling blood and establishing the new state with guns, and instead to develop the Revolution’s intellectual and cultural potential, to use freedom in a productive way. 
“Lenin, Trotsky and their comrades have already been poisoned with the rotten poison of power, and the evidence of this is the shameful way that they treat freedom of speech and person and all the sum of those rights, which democracy was fighting for. Blind fanatics and unscrupulous opportunists are headlong racing along the path of the so-called ‘social revolution’…”

අවශ්‍ය නම් මෙය සුළු ධනේශ්වර ලේඛකයකුගේ අදහසක් ලෙස ඉවත දමන්න පුළුවන්. ඒත් ගෝර්කිට ලෙනින්ට හරි ට්‍රොට්ස්කිට හරි වඩා ජාතිකත්වයක් තියෙන්න ඇති. මාක්ස්වාදී ජ වි පෙ රාජ්‍ය බලය නැතිවත් 1971 දී හා 1987-90 කාලයේ දී කළ කී දේ මෙයට අදාළයි. බැරි වෙලාවත් බලය ලැබුණා නම් කොහොමට ක්‍රියා කරන්න තිබුණා ද? කොහොම ක්‍රියා කළත් මේ වන විට ඔවුන් බලයෙන් පහවෙලා ඉන්න ඕන. 

ජාතික චින්තනයක් ඇති වන්නේ මැද පංතියට. මැද පංතිය යන්න මාක්ස්වාදී විග්‍රහයේ පංතියක් නො වෙයි. නැවතත් අවශ්‍ය නම් සුළු ධනේශ්වරය කියා කියන්න. එහෙත් එයින් මැද පංතිය හඳුනාගන්න බැහැ. ලංකාවේ සිංහල මැද පංතියට සිංහල ජාතිය ගැන යම් කැක්කුමක් තියෙනවා. ඔවුන්ට තේරෙනවා සිංහලයන්ට යම් යම් දේ නැතිවෙලා බව. ඒ බටහිර වරදක් නිසා නොව දෙමළ කතා කරන ජනයා හා මුස්ලිම් ජනයා නිසා ඇති වූවක් බවයි ඔවුන්ගේ වැටහීම. ඇතැමුනට ඉංගිරිසින්ගේ බෙදා පාලනය කිරීම ගැනත් වැටහීමක් තියෙනවා. 

එහෙත් ඔවුන් බලාපොරෙත්තු වන්නේ බටහිර අච්චුවේ දියුණුවක්. බටහිර ආර්ථිකයක්. සිංගප්පූරුවක් ජපානයක් ඇමරිකාවක් වීමට තමයි ඔවුන්ට අවශ්‍ය. මේ ආර්ථිකයේ හා ඒ සමග බැඳුණු දේශපාලනයේ ඉහළ ම කොටස සිංහලයන්ට ලැබිය යුතු යැයි ඔවුන් කල්පනා කරනවා. ඔවුන් වැව හා දාගැබ ගැන ආඩම්බර වෙනවා. ඒත් බැකෝ යන්ත්‍ර යොදා වැව් හාරනවා. කතරගම යනවා, කේන්දර බලනවා, ශාන්ති කර්ම කර ගන්නවා, දෙවියන්ට බාර හාර (බැර හා හර! ඩෙබිට් ඇන්ඩ් ක්‍රෙඩිට්)  වෙනවා, නාඩි වාක්‍ය කියව ගන්නවා. ඒ අතර දෙවියන් නැතැයි ඊනියා විද්‍යාවට අනුව කියනවා. බටහිර ක්‍රමය අනුගමනය කරමින් ඒ දැනුම් ආධිපත්‍යයට යටවෙමින් බාර හාර වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව සම්මතය ලෙස පිළිගනිමින් සිංහල වෙදකම ද බැරි තැන කරනවා. කර පටි කබා (ටයි කෝට්) හැඳ හැඳ සිංහල ගීත අහනවා, ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ  සිංහල නාට්‍ය බලනවා. පන්සිල් ගන්නවා. මදුවිත තොල ගානවා. එහෙමත් නැත්නම් ෂොට් එකක් දාගන්නවා. ෂොට් එක සිංහලට පරිවර්තනය කරලා අඩි ගහනවා.  අවශ්‍ය නම් අඩියක් ගහලා විපස්සනා භාවනාව ගැන කතා කරනවා. අභිධර්මය නම් තවත් හොඳයි. 

මැද පන්තිය වඩා අගය කරන්නේ ජාතික චින්තනයයි. ඔවුන් සමහර විට දෙමළ ජාතිවාදය (මේ වචන ඔවුන් යොදා ගත්තෙ බොහෝ කලකට පසු) ඇති වන්නෙ බටහිර කුමන්ත්‍රණයක් නිසා කියා කියනවා. එහෙත් එයට හේතු දක්වන්නේ නැහැ. මේ අය කිසි දිනෙක විශ්වාස කෙළේ නැහැ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව. එහෙම කිව්වම හිනහ වුනා. 

චින්තනයේ ජාතිකත්වය වෙන ම එකක්. චින්තනයේ ජාතිකත්වය හා  ජාතික චින්තනය සමාන වගේ පේනවා. ඒත් ඒ දෙක දෙකක්. චින්තනය මත පදනම් වෙච්ච සංස්කෘතීන් (හැදියාවන්) තියෙනවා. ඒ ඒ සංස්කෘතීන්ට හා වෙනත් දේට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කරනවා. ඒ ඒ ජාතීන් ජනවර්ග ජන කොටස් ඒ ඒ චින්තනයේ. චින්තනයේ ජාතිකත්වය බලන්නේ බටහිර ඇතුළු වෙනත් දැනුම් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරන්නේ කෙසේ ද කියා. චින්තනයේ ජාතිකත්වයට සිංහල වෙදකම, සිංහල ගොවිකම ඉතා වැදගත්. එයින් කියැවෙන්නේ නැහැ බටහිර වෙදකම ප්‍රතික්‍ෂෙප කරන බවක්. 

කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායන බව චින්තනයේ ජාතිකත්වයෙන් කියැවෙනවා. ජාතික චින්තනයේ දී නම් එකී වකුගඩු රෝගය හඳුනා නොගත් එකක්. අනුර දිසානායක නම් හිතන්නේ එසේ හඳුනාගැනීමට නොහැකි වී ඇත්තේ මෙරට රජයේ වරදක් නිසා කියා. ඔහු හිතන්නේ අද බටහිර විද්‍යාවට එයට හේතුව දැන ගැනීමට හැකිය කියා. ඔහුට මොනවා කියා දෙන්න ද? ජාතික චින්තනයට අනුව වතුර පෙරණ බෙදා දෙන්න පුළුවන්. බටහිර වෛද්‍ය විද්‍යා සායන පවත්වන්න පුළුවන්. චින්තනයේ ජාතිකත්වය නම් සිංහල වෙද මහතුන් ලවා රෝගය සුව කරන්න හදනවා, සුව කර තිබෙනවා. එවිට ජාතික චින්තනය එසේ සුව කළ බවට බටහිර වෛද්‍යවරුන්ගෙන් සහතික ගේන්න කියනවා.

මැද පන්තියට චින්තනයේ ජාතිකත්වය තේරෙන්නේ නැහැ. ඔවුන් එක් තැනක දී පමණක් චින්තනයේ ජාතිකත්වය සමග එකඟ වෙනවා. ඒ දෙමළ ජාතිවාදයට හා මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වීමේ දී. මැද පන්තියට එතැනින් එහාට චින්තනයේ ජාතිකත්වය තේරෙන්නෙ නැහැ. ඒ නිසා ඒ ගැන ඇගයීමක් ද නැහැ. මැද පන්තියට අගයන්න තේරෙන්නේ ජාතික චින්තනය පමණයි. ඔවුන්ට චින්තනයේ ජාතිකත්වය වියුක්තයි.