Main Logo

Monday 23 February 2015

මෛත්‍රීගේ තර්ජනය

මෛත්‍රීගේ තර්ජනය

රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරන අතර මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා කටුනායක හෝටලයක පැවැත් වූ වැඩමුළුවක දී ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත. රනිල්ට අනුව අදාළ පුවත්පත් කතුවරුන් මහින්ද රාජපක්‍ෂගේ වැසිකිළි සෝදා ඇත.  ඔහු එහි දී සක්කිළි යන වචනය ද යොදා ගෙන ඇත්තේ එක් ජනවර්ගයකට එයින් අපහාසයක් වන බව නො දැන ද? ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල නුගේගොඩ රැස්වීමට ගිය ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන්ට තරයේ බැණ වැදී ඇත. ඔහු පක්‍ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තට හා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට පක්‍ෂයේ සාමාජිකයන්ට නුගේගොඩ රැස්වීමට සහභාගි වීම තහනම් කිරීම සඳහා කොන්දක් තිබී නැතැයි කියා ඇත.

අගමැතිකම ගැන කතාකරන්නේ තමන්ට අගමැතිකම නොදුන් බව අමතක කරමින් ද යන ප්‍රශ්නය මෛත්‍රිපාලගේ මුවින් පිට වී ඇත. ඒ අතර වෙල්ගම නුගේගොඩ රැස්වීමට බස් විස්සක් යැවීම ගැන ද ඔහු සඳහන් කර ඇත. මෛත්‍රිපාල මන්ත්‍රී වෙල්ගමට දොස් කියන අතර රනිල් වෙල්ගමගේ සොයොයුරාට අයත් දිවයින පුවත්පතට තර්ජනය කළේ ය. 

කටුනායක දී සම්මත කරගත් යෝජනාවකට අනුව 2016 අපියෙල් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසත් එතෙක් ඇමතිවරුන් පනහකගෙන් පමණ සමන්විත ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පිරිසකට ද ඇමතිකම් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇත. 

මේ සියළු තර්ජනවල, යෝජනාවල ඇත්තේ එක් අරමුණකි. එනම් මහින්ද රාජපක්‍ෂ සදහට ම දේශපාලනයෙන් ඉවත් කිරීම ය. මෙය රනිල්ගේ හා මෛත්‍රීපාලගේ අවශ්‍යතාවක් පමණක් නොව බටහිරයන්ගේ ද ඉන්දියාවේ ද අවශ්‍යතාව වෙයි. ඒ පිටුපස දෙමළ ජාතිවාදය පෝෂණය කර සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගැනීමත් චීනයට ඇති විරුද්ධතාවත් වෙයි. චීනයේ මුහුදු සේද මාර්ගය නැවත්වීම හා චීනයට එරෙහිව ඉන්දියාව ඉදිරියට ගෙන ඒම චීන විරුද්ධතාවට මුල වෙයි. අද ඉන්දියාව පැහැදිලිව ම තම අවශ්‍යතා සඳහා මෛත්‍රිපාල යොදා ගනියි.

මේ තත්ත්වය හමුවේ මහින්ද මෛත්‍රී එකතුවක් බලාපොරොත්තු විය නො හැකි ය. අද මෛත්‍රිපාලගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂය එ ජා පක්‍ෂයේ අතකොළුවක් බවට පත්වෙමින් ඇත. ශ්‍රී ල නි පක්‍ෂ වත්මන් නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මුළුමනින් ම දේශපාලනයෙන් අතුගා දැමීමට අවශ්‍ය වුවත් රටේ තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් ය. එය නිරූපණය වන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මිස තම පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ආරක්‍ෂා කර ගැනීමට බලාපොරොත්තුවන මන්ත්‍රීවරුන්  සුළු පිරිසකගෙන් නො වේ. මෛත්‍රිපාලට මේ සුළු පිරිසට තර්ජනය කළ හැකි ය, අවශ්‍ය නම් එ ජා ප සමග එකතු වී ප්‍රසන්න රණතුංග මහඇමතිකමෙන් ඉවත් කළ හැකි ය. 

මෛත්‍රිපාලට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය දිය කර හැරීම බව පැහැදිලි ය. ඔහුට අගමැතිකම නොදීම ගැන මහින්ද රාජපක්‍ෂ ගෙදර  යැවීමට හා දංගෙඩියට යැවීම ගැන සිහින මවන මෛත්‍රිපාල තම වෛරය පාලනය කරගත  නොහැකි ව පක්‍ෂය ම දියකර හැරීමේ මාවතකට යොමු වී ඇත. ශ්‍රි ල නි පාක්‍ෂිකයන්ට පස්සා දෙරෙන් පත් වූ පක්‍ෂ සභාපති ඉවත් කිරීමට කාලය පැමිණ ඇත. 


නලින් ද සිල්වා

2015 පෙබරවාරි 23