Main Logo

Friday 6 February 2015

ආණ්ඩුව චීනයට යටවෙයි

ආණ්ඩුව චීනයට යටවෙයි

කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්නට අනුව කොළඹ වරාය නගරය නිර්මාණය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. එහි වරදක් නැත. වරාය නගරය ජාත්‍යන්තර දේශපාලනයෙහි ඉතා වැදගත් මර්මස්ථානයක් වනු ඇත. කොළඹ වරාය ඉදිකිරීමට ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් හා ඉන්දියාව විරුද්ධ ය. චීනය ආර්ථික වශයෙන් බටහිර අච්චුවේ ම ක්‍රියාත්මක වෙයි. අවශ්‍ය නම් එය ධනවාදී ආර්ථිකය ලෙස හැඳින්විය හැකි ය. එහෙත් එය ඊනියා නව ලිබරල්වාදය නො වේ. 

කාල් මාක්ස්ගේ ප්‍රවාදයට අවුරුදු එකසිය පනහකට වැඩි ය. ඔහු තම ප්‍රවාදය ඉදිරිපත් කළේ සමාජය විකාශය වන අන්දම තේරුම් ගැනීමට ය.  ඊනියා මානව සමාජය සාධාරණ ව විකාශය වී ඇති ආකාරය තේරුම් කිරීම ඔහුගේ අභිප්‍රාය විය. සමාජය විකාශය වීමේ දී දේශපාලනය ද විකාශය වෙයි. එහි විප්ලව ද වෙයි. මාක්ස් සමාජය විකාශය වීම හා ඒ සමග බැඳුණු දේශපාලනය විකාශය වීම ආර්ථිකයට, නිෂ්පාදන මාතයන්ට හා නිෂ්පාදන සම්බන්ධතාවලට ඌනනය කළේ ය. තවත් බටහිර ප්‍රවාදයක් වූ එය පට්ටපල් බොරුවක් විය. එය මාක්ස් ගෙතූ කතාවක්, ඔහුගේ හිතළුවක් පමණක් විය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ හිතළුවෙන් මෙන් නොව මාක්ස්ගේ හිතළුවෙන් කිසිවක් තේරුම් ගැනීමට නොහැකි විය. එහි ඊනියා අනාවැකි කිසි දිනෙක පල නො දැරී ය.  රුසියන් විප්ලවය පංති අරගලයක ප්‍රතිඵලයක් නො වී ය. 

අද මාක්ස්ගේ කතාව ඊනියා පශ්චාත් මාක්ස්වාදීන්වත් විශ්වාස නොකරන බව පැහැදිලි ය. දේශපාලනය ආර්ථිකයට ඌනනය කළ නො හැකි ය. මේ කතා ලංකාවේ ඇතැම් අනුකාරකයන්ට නම් තවමත් කණට මී පැණි බඳු ය. අද ලංකාවේ ඇතැම් මාක්ස්වාදීහු, පශ්චාත් මාක්ස්වාදීහු ආදීහු මාක්ස්වාදය යම් ප්‍රමාණයකට මෙන් ම ඊනියා නව ලිබරල්වාදය ද ගුරු කොට ගනිති. නව ලිබරල්වාදය යනු අනෙකක් නොව මේ යුගයේ බටහිර යටත්විජිතවාදය ය. මෙරට ඇතැම් මාක්ස්වාදීන්ගේ තත්ත්වය එබඳු ය. 

චීනය ධනවාදී ආර්ථිකයක් අනුගමනය කළ ද ඔවුන්ගේ දේශපාලනය බටහිර යටත්විජිතවාදය නො වේ. ආර්ථිකය හා දේශපාලනය අතර සම්බන්ධයක් තිබිණි ද එකක් අනෙකට ඌනනය කළ හැකි නො වේ. වඩාත් පුළුල් ව කිවහොත් ආර්ථිකය, දේශපාලනය හා සංස්කෘතිය අතර සම්බන්ධයක් තිබුණ ද ඒ එකක්වත් අනෙකකට ඌනනය කළ නොහැකි අතර ඒ එකිනෙකට විශේෂිත වූ ගැම්මක් (ගම්‍යතාවක්) වෙයි. ්

චීනයේ ආර්ථිකය මත යැපෙන ඇමරිකාව (බටහිර) චීන දේශපාලනයට විරුද්ධ වෙයි. ඉන්දියාව චීන දේශපාලනයෙන් පමණක් නොව ආර්ථිකයෙන් ද  ස්වාධීන වීමට උත්සාහ දරයි. එහෙත් ඉන්දියාවට ඒ තනිවම කළ නො හැකි ය. ඉන්දියාව වැඩි වැඩියෙන් ඇමරිකාවට (බටහිරට) ඇදී යන්නේ එබැවිනි. ඔබාමා මෙවර ඉන්දීය නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වීම පුදුමයක් නො වේ. මෝදිට මහින්ද රාජපක්‍ෂට තරම් ජාතිකත්වයක් නැත.

පසුගිය ජනාධිපතිවරණයේ දී එ ජා පක්‍ෂය ද, ජාතික හෙළ උරුමය ද රාජිතලා ද වරාය නගරයට විරුද්ධ වූයේ ඇමරිකාවේ හා ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ය. ඉන්දියාවට හා ඇමරිකාවට අවශ්‍ය වන්නේ චීන දේශපාලන බලය පරාජය කිරීම ය. ඇමරිකාව හා එංගලන්තය ද ඉන්දියාව ද ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණය අපේක්‍ෂා කළේ ය. රනිල් -   සිරිසේන ආණ්ඩුව ලවා චීන දේශපාලන බලයට යම් පහරක් එල්ල කිරීම ඔවුන්ගේ අරමුණ විය. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. එ ජා ප හා හෙළ උරුම (රාජිත ද සමග) චීන විරෝධයෙහි කොලඹ වරාය නගර විරෝධය ද විය. වරාය නගරය අහෝසි කරන බවක් කීවත් නැතත් ඔවුන්ගේ විරෝධයෙන් ගම්‍ය වූයේ ඒ අහෝසි කරන බව ය. 

එහෙත් ආණ්ඩුවට ඇමරිකාවේ හා ඉන්දියාවේ අනුග්‍රහය යටතේ ව වුවද චීනයට වරාය නගරය අකුළා ගැනීමට කිව නො හැකි ය. ඒ සඳහා අවශ්‍ය අයෝමය දේශපාලන නායකත්වයක් රනිල් සිරිසේන ආණ්ඩුවට නැත. එවැනි නායකත්වයක් මෑත ලංකා ඉතිහාසයේ තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මත්මියටත් මහින්ද රාජපක්‍ෂ මහතාටත් ය. අද ආණ්ඩුව වරාය නගරයට අනුමැතිය දී ඇත. අද ඔවුන් තමන්ගේ ඡන්ද කටමැත දෙඩීම් අමතක කිරීීමට විවිධ කරුණු කියති. ඒ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ පරිසර හානියක් නොවන බවට දෙන ලද වාර්තාවක් හා ඊනියා කැබිනට් කමිටුවක් ගැන ද කියැවෙයි. මේ හුදෙක් තම දුබලකම වසාගැනීමට කරන ප්‍රකාශ පමණකි. ආණ්ඩුව චීනයට යට වී ඇත.  

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 06




,