Main Logo

Tuesday 24 February 2015

රායප්පු ජෝෆ්ගේ පෙළපාලිය

රායප්පු ජෝසෆ්ගේ පෙළපාලිය

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම මාර්තුවේ දී ජෙනීවා සැසියට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබූ ලංකාවේ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ වාර්තාව සැප්තැම්බරයට කල් දැමීම පිළිබඳ විවිධ කතා දේශපාලන ක්‍ෂෙත්‍රයෙහි අසන්නට ලැබෙයි. ප්‍රධාන වශයෙන් ම එ ජා පක්‍ෂයට හා ජ වි පෙරමුණට සම්බන්ධ භික්‍ෂූන් වහන්සේලා අරලිය ගහ මන්දිරයට වඩම්මවා රනිල් වික්‍රමසිංහ කියා ඇත්තේ මානව අයිතිවාසිකම් කොමිසම ස්වෙච්ඡාවෙන් ම වාර්තාව ඉදිරිපත් කිරීම මාර්තුවේ සිට සැප්තැම්බරය දක්වා කල් දමා ඇති බව ය. 

දේශපාලනයේ දී බොරු කීම සාමාන්‍යය වෙයි. එහෙත් වාර්තාව කල්දැමීම ගැන අපි ද කාලයක සිට කතා කළෙමු. එය කල් දමන බව අපි ඒ දිනවල ම කීවෙමු. (ජෙනීවා මානව හිමිකම් වාර්තාව කල් දමයි ලිපිය හා තවත් ලිපි කියවන්න) අපට ලැබුණු තොරතුරු අනුව ජයන්ත ධනපාල පසුගිය මාසයක පමණ කාලයක් එය කල්දමා ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇත. සමහර විට ඒ සාකච්ඡා ගැන රනිල් වික්‍රසිංහ නොදැන සිටින්නට ඇත! මංගල සමරවීර නම් මේ සම්බන්ධව ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජොන් කෙරී සමග ඒ ගැන කතා කරන්නට නැත. මංගල කතා කරනු තබා තම ස්වාමියා සමග එකට හිටගෙන සිටියේත් මහත් අපහසුවෙනි. සිංගප්පූරුවේ විදේශ ඇමති සමග විහිළු තහළු කළ මංගල කෙනකු කෙරී ඉදිරියේ දැකගත නොහැකි විය. එසේ වුවත් මංගල ද වෙනත් අය සමග ඒ ගැන කතාකර ඇති බව පැහැදිලි ය. ඔවුන් ඒ සාකච්ඡා ගැන රනිල්ට නොකියන්නේ ඇයි ද යන ප්‍රශ්නය නම් නොඅසා සිටීමට නො හැකි ය. රනිල් ඇත්ත කියන පුද්ගලයෙකි1

ඒ කුමක් වුවත් ලංකාවේ ඉල්ලීමට බටහිරයන් එකඟ වී වාර්තාව ගෙන ඒම මාස හයකින් කල්දමා ඇති බව පැහැදිලි ය. ඒ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී එ ජා පක්‍ෂයට වාසි ලබා ගැනීමට ය. එ ජා පක්‍ෂයේ විදේශ ප්‍රතිපත්තියේ හොඳකම නිසා ම එය කල් දැමුණු බව රනිල් ට පැවසිය හැකි ය. එහෙත් එය කල් දැමුවේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට ලංකාණ්ඩුව එකඟ වූ බැවිනි. ආණ්ඩුව ඒ බව ප්‍රතික්‍ෂෙප කරනු ඇත.

මේ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණය එතැනින් නොනවතින බව ද අපි කීවෙමු. එය ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකින් ම කෙළවර වනු ඇත. අද මේ පරීක්‍ෂණ සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් අතර ප්‍රධාන වශයෙන් මත දෙකක් ඇත. සුමන්තිරන් (ඔහුට අනුව ඔහු සමාජවාදියෙකි) ඇතුළු පිරිසක් කියා සිටින්නේ හුදු අභ්‍යන්තර පරීක්‍ෂණයක් ප්‍රමාණවත් නොවන බව ය. ඔවුන්ට ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂකයන් (විනිශ්චයකරුවන්) ද එයට සහභාගි කරවා ගැනීමට අවශ්‍ය වෙයි. එහෙත් විසුරුණු දෙමළ ජනයා එයට ද අකමැති වෙති. ඔවුන්ට අවශ්‍ය වනුයේ මුළුමනින් ම ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. ඔවුහු වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමීම ගැන විරුද්ධ වෙති. අප කලින් ලිපියක සඳහන් කළ පරිදි ම බටහිර රටවල් විසිරුණු දෙමළ ජනයාට කන් නොදී වාර්තාව ගෙන ඒම කල් දැමීමෙන් පෙන්නුම් කරන්නේ බටහිර රටවල් විසුරුණු දෙමළ ජනයාට අවශ්‍ය ආකාරයෙන් ම කටයුතු නොකරන බව ය. 

රායප්පු ජෝසෆ්ගේ පෙළපාලිය යාපනය විශ්වවිද්‍යාලයේ සිට නල්ලුර් කෝවිල දක්වා ගමන් ගෙන ඇත්තේ වාර්තාව කල් දැමීමට විරෝධය පෑමටත් ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ ව ජාත්‍යන්තර කොමිසමක් ලබාගැනීමටත් ය. රනිල්ට අනුව රායප්පු ජෝසෆ්ලා ජාතිවාදියෝ නො වෙති. ඔහුට අනුව ජාතිවාදීන් ඇත්තේ සිංහලයන් අතර ය. රායප්පු ජාතිවාදයකු යැයි කිවහොත් බටහිරයන් හා ඔවුන් විසින් නඩත්තු කෙරෙන කසිකබල් පඬියන් ආණ්ඩුවට විරුද්ධ වනු ඇත. රායප්පු දේශප්‍රේමියෙකි! ඔහුට ජාතිවාදියා යැයි කියන්නෝ ම පමණක් ජාතිවාදීහු වෙති.

රායප්පු ජෝසෆ්ගේ පෙළපාලිය අද අමතක කෙරෙනු ඇත. එහෙත් නොබෝ කලකින් මැතිවරණයක් පවත්වා එ ජා පක්‍ෂය බලයට පත්වුවහොත් මේ වසර අවසාන වන විට ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වෙනු ඇත. රායප්පු ක්‍රියා කරන්නේ ඒ වෙනුවෙනි. ඇතැම් විට මේ සියල්ල තීර නාටකයකට අනුව සිදුවනවා ද විය හැකි ය. බටහිරයන්ට ද දෙමළ ජාතිවාදීන්ට ද පඬියන්ට ද රනිල්ලාට ද නින්ද යන්නේ මහින්ද හා ගෝඨාභය දංගෙඩියට දැක්කවීමෙන් පසුව ය. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 24