Main Logo

Saturday 14 February 2015

ජ වී පෙ පිම්බීම

ජ වි පෙ පිම්බීම

අද එ ජා පක්‍ෂය හා ජනමාධ්‍ය විසින් ජ වි පෙ පුම්බනු ලැබෙනු බව බොහෝ දෙනාට පෙනෙන, දැනෙන කරුණකි. අනුර දිසානායක මහතා ප්‍රබුද්ධ විච’ක්‍ෂණශීලී නායකයකු රටට ඉදිරිපත් කෙරෙ. මේ වැදගත්කම අනුර දිසානායක ජ වි පෙ නායකයා වීමෙන් පසුව ලැබෙන්නකි. සෝමවංශ අමරසිංහ නායකයාව සිටි කාලයේ ජ වි පෙරමුණට එවැනි වැදගත් කමක් ලබා දී නො තිබිණි. 

අද ජ වි පෙ ක්‍රමයෙන් මධ්‍යම පාංතික පක්‍ෂයක් බවට ද පත්වෙමින් ඇත. මෙය මාක්ස්වාදී දෘෂ්ටි කෝණයකින් බැලීමක් නො වේ. කෙසේ වෙතත් ජ වි පෙ ව්‍යාප්ත වී තිබුණේ ගැමි තරුණයන් අතර ය. මේ තරුණයෝ මූලික වශයෙන් සිංහල බෞද්ධ වූහ. ජ වි පෙරමුණට නායකයන් බිහි කරනු ලැබුයේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය විසිනි. නායකයන් බිහි කෙරුණු තෝතැන්න වූයේ විශ්වවිද්‍යාල ය. එයට බාහිර ව නායකයන් බිහිවිණි නම් ඒ මඳ වශයෙනි. විජේවීර පවා රුසියාවේ (එකල සෝවියට් දේශයේ) ලුමුම්බා විශ්වවිද්‍යාලයේ සිසුවෙක් විය. 

විශ්වවිද්‍යාලවලට පැමිණි ගැමි තරුණයෝ පංති පහ මගින් හෝ වෙනත් ක්‍රමයකින් හෝ මාක්ස්වාදයක් කටගාගත්හ. ඔවුහු ඊනියා උගත් තරුණයෝ වූහ. එහෙත් ඔවුන් ගැමි කමෙන් ලත් උගත් කමක් නො වී ය. ඔවුන් ලැබුයේ බටහිර අධ්‍යාපනයකි. පාසල්වලින් ඔවුන්ට වෙනත් අධ්‍යාපනයක් නො ලැබිණි. උගත් ගැමි තරුණයන්ගේ උගත්කම බටහිර උගත්කම විය. ඒ උගත්කම ඔවුන් බොහෝ විට ලැබුයේ සිංහල මාධ්‍යයෙනි. විශ්වවිද්‍යාලයේ දී ඇතැම් පාඨමාලා ඉංගිරිසියෙන් හැදෑරීමට ඇතැමුන්ට සිදු විය. මේ ගැමි උගතුන් හා නාගරික උගතුන් අතර ඊනියා සමාජවාදය සම්බන්ධයෙන් හැර ආකල්පීය ව  වෙනසක් නො වී ය. ඔවුන්ගේ සිතුම් පැතුම් බටහිර සංකල්පවලට අනුකූල විය. ඒ බටහිර සංකල්ප මාක්ස්වාදයෙන් තවත් තරවිය. 

සියළු මාක්ස්වාදීන්ට මෙන් ම ඔවුන්ට ද අවශ්‍ය වූයේ බටහිර නාගරික සංවර්ධනයකි. ධනවාදයෙන් ඔබ්බට ගොස් ඊනියා නිර්ධන පංති ආඥාදායකත්වය ගොඩනැගීම ඔවුන්ගේ ද අරමුණ විය. නිර්ධන පංතිය යනු කුමක් ද යන්න පිළිබඳ ව ඔවුන්ට ට්‍රොට්ස්කිවාදීන්ට නොතිබු නිර්වචනයක් විය. ඔවුහු ඊනියා කම්කරු පංතියක් ගැන නො සිතූහ. ඔවුහු තමන් ම නිර්ධන පංතිය බවටත් එහි නායකත්වය බවටත් පත්වූහ. නිර්ධන පංතිය මූලික වශයෙන් ගැමි තරුණයන්ගෙන් සමන්විත විය. 

එහෙත් ඔවුහු විප්ලවය ගැන විශ්වාස කළහ. ඒ සඳහා ඔවුහු ආයුධ අතට ගත්හ. දෙවතාවක් ම විනාශ වූහ. ධනවාදය විනාශ වීම නියත ය (ප්‍රශ්නය ඇත්තේ නායකත්වයෙහි ය) යන මාක්ස්වාදී විශ්වාසය මත පදනම් ව මොකක්දෝ පංතියකට නායකත්වය දුන් ගැමි තරුණයෝ ඊනියා විප්ලව නමින් බොහෝ විට සිංහල බෞද්ධයන් ඝාතනය කළහ. ඒ ඝාතනවලට එරෙහිව විවිධ කොමිසම්වලට යෑමට තවමත් කිසිවකු ඉදිරිපත් වී නැත. එනම් කිසිවකු දූෂණ භීෂණ මෙගා ටෙලි නාට්‍යයේ ජ වි පෙරමුණට විරුද්ධව රඟ පා නැත. ඒ කුමක් වුවත් 1971න් පසු අවුරුදු 16ක් ගතවන විට ජ වි පෙ නැවතත් ආයුධ අතට ගත්තේ ය. එහෙත් 1990න් අවුරුදු 25කට පසුවත් ජ වි පෙ නැවත ආයුධ අතට ගන්නා බවක් පෙන්නුම් කර නැත.  

1987 දී විජේවීර ජීවත්ව සිටියේ ය. 1971 ජ වි පෙ තරුණයෝ බොහෝ දෙනෙක් 1987 දී ද තම ඊනියා විප්ලවවාදී ආකල්පවල ම ගිලී සිටියහ. එහෙත් 2015 වන විට 1987 තරුණයන්ට වයස 45ක් පමණ වෙයි. ඔවුහු නගරවලට සංක්‍රමණය වූ පියවරු වෙති. ඔවුන්ට ද අවශ්‍ය කුඩා මෝටර් රථයක් මිළ දී ගෙන පුතා රාජකීය විදුහලට  හෝ ආනන්ද විදුහලට හෝ ඇතුළත් කිරීමට ය. අද නායකයන්ට ආමන්ත්‍රණය කිරීමට සිදු වී ඇත්තේ එවැනි පියවරුන්ට ය. ඒ සඳහා වඩාත් ම සුදුස්සා අනුර දිසානායක ය.

අද ජ වි පෙරමුණ එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ නායකයන් තරුණයන් නොවීම මෙහි දී ප්‍රශ්නයක් නො වේ. බොහෝ ඊනියා තරුණ සංවිධානවල නායකයෝ මැදි වයසේ අය වෙති. අනුර දිසානායක හා රවි කරුණානායක අතර ඇත්තේ මිත්‍රත්වයක් පමණක් නො වේ. එ ජා ප තමන්ට හිතවත් ජනමාධ්‍ය මගින් ජ වි පෙ පුම්බයි. අනුර දිසානායක ඉහළ ගණයේ බුද්ධිමතකු ලෙස ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස පෙන්වයි. 

ජ වි පෙ නායකයෝ එ ජා ප නායකයන් මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදියෝ වෙති. ඔවුහු බලය නැතිවිට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරති. එහෙත් බලය (ආණ්ඩු බලය පමණක් නො වේ. ආයුධ නිසා අත්කරගන්නා බලය විශ්වවිද්‍යාලවල ඇතිකරගන්නා මැර බලය ආදිය ද බලය වෙයි) ඇති කල ජ වි පෙ දන්නේ මර්දනය, භීෂණය, පළිගැනීම ආදිය පමණකි. එය එහි දී ද ක්‍රියා කරන්නේ එ ජා පක්‍ෂය මෙනි. අද එ ජා පක්‍ෂය අනෙක් අයගෙන් පළිගන්නා ආකාරය, සීතල භීෂණයක් ඇතිකරන ආකාරය ඒ සඳහා කදිම නිදසුන් වෙයි. අනුර දිසානායක, විජිත හේරත් ආදීන් ඔවුන්ට බලය තිබූ කාලයේ කැලණිිය විශ්වවිද්‍යාලයේ ක්‍රියාකර ඇති ආකාරය ගැන මම දනිමි.  ඡන්දය දීමට පැමිණි අය ඝාතනය කළෝ මේ අසිරිමත් ප්‍රජාතන්ත්‍රවාදීහු ය. ඔවුන් ඒ පිළිබඳ ව තවමත් ජනතාවගෙන් සමාව ගෙන නැත. 

අද ජ වි පෙරමුණට ආධාර කරන මධ්‍යම පංතිකයන්ගේ ද, රවි කරුණානායක වැනි එ ජා පක්‍ෂ නායකයන්ගේ ද අවශ්‍යතාව ජ වි පෙ නායකයන් විසින් සිදු කෙරෙයි. විජේවීර සිට සෝමවංශ දක්වා ජ වි පෙ ජාතිකත්වය හා  බොරු සමාජවාදය අතර දෝලනය විය. අද ජ වි පෙ නායකයන්ට කිසිම ජාතිකත්වයක් නැත. බොරු සමාජවාදය බොරුවක් බව එ ජා ප දනියි. අද එ ජා පක්‍ෂය ජ වි පෙරමුණට ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණක් සපයන්නේ ඔවුන්ගේ (අනුර දිසානායකගේ බසින්) කඩයේ ඇති සියළු මුහුණු ව්‍යාජ ඒවා බැවිනි. 

ජනාධිපතිවරණයේ දී ජ වි පෙ නායකයෝ කඩ පිළිබඳ බොරු කතා කියමින් මෛත්‍රිපාලට වක්‍ර ව ආධාර කළහ. එමගින් එ ජා පක්‍ෂයට හා බටහිරයන්ට, විශේෂයෙන් ම ඇමරිකානුවන්ට, ආධාර කළහ. අද ජ වි පෙ ජනතාව රැවටීම සඳහා විපක්‍ෂයේ අසුන් ගනිමින්, ඇමති ධුර භාර නොගනිමින් ආණ්ඩුව ලාවට විවේචනය කරමින් ශ්‍රී ල නි පක්‍ෂයට එරෙහිව තදබල විවේචනයක් එල්ල කරයි. එ ජා පක්‍ෂය ජ වි පෙ පුම්බන්නේ අනුර දිසානායකලා ලවා මේ කාර්යය ඉටුකර ගැනීමට ය. උගත් ගැමි තරුණයෝ උගත් නාගරික තරුණයන් විසින් මෙහෙයවනු ලැබෙති. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 14