Main Logo

Thursday 5 February 2015

එ ජා පක්ෂයේ ඊනියා ධනපති විරෝධය

එ ජා පක්‍ෂයේ ඊනියා ධනපති විරෝධය


අප ජීවත්වන්නේ අබුද්දස්ස යුගයක විය යුතු ය. රවි කරුණානායක විසින් පසුගිය දා ගෙනෙන ලද අයවැය සූර සරදියෙල් අයවැයක් ලෙස එ ජා ප හා ජාතික හෙළ උරුම නායකයන් විසින් හඳුන්වනු ලැබෙයි. යම් ජාතිකත්වයක් සහිත ඊනියා දක්‍ෂිණාංශිකයන් හා ඊනියා වාමාංශිකයන් පිළිවෙලින් ජාතික හෙළ උරුමයටත් ජාතික නිදහස් පෙරමුණටත් සහාය දක්වන බැවින් හෙළ උරුමය හා එ ජා ප එක ම පිළක සිටීම එක් අතකින් පුදුමයක් නො වේ. පුදුමය හෙළ උරුමය තවමත් එක්සත් ජනතා නිදහස් සංධානයෙහි සාමාජිකයකු වීම ය. ඒ අතර අපට දැනගන්නට ලැබී තිබෙන කරුණු අනුව යම් තාක්‍ෂණික ප්‍රශ්නයක් හේතුකොට ගෙන ජාතික නිදහස් පෙරමුණ නිල වශයෙන් එකී සංධානයේ සාමාජිකයෙක් නො වේ. 

ජාතික හෙළ උරුමයවත් ජාතික නිදහස් පෙරමුණවත් ජාතිකත්වයෙහි පක්‍ෂ නො වේ. ඒ පක්‍ෂ දෙක ම ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක්කර එය දිය කර හැරීම පිළිබඳ වග කිව යුතු ය. ඔවුන්ට ජාතිකත්වයක් නැත. සංධාන ආණ්ඩුව පළමුවෙන් ප්‍රසිද්ධියේ විවේචනය කරමින්, අවුරුදු ගණනාවකට ඉහත ජාතිකත්වය නැති කරගත් මාදුළුවාවේ සෝභිත හිමියන් සමග ඊනියා සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා කළේ රතන හිමියන් නොව විමල් වීරවංශ ය. ජාතික නිදහස් පෙරමුණ ඌව පළාත් සභාවෙහි බදුල්ල දිස්ත්‍රික්කයට සංධානයෙන් වෙන් වී වෙන ම තරග කර තම තරම තේරුම් ගත්තේ ය. ඔවුන්ට සංධානයෙන් පිට දේශපාලනයක් නැත. ජාතික හෙළ උරුමය ද තනියම තරග කළ දිනක තම තරම වටහා ගනු ඇත. සංධානයෙන් තරග කර ලබාගන්නා මනාප තම ඡන්ද යැයි පැවසීම තරම් විහිළුවක් තවත් නැත.

කලකට පෙර ජ වි පෙ මනාපවලින් මන්ත්‍රී ආසන තිස්ගණනක් හිමිකම් කීවේ ය. එහෙත් ඔවුන් තනිව තරග කළ විට හුළං බැස ඇති බව තේරුම් ගත්තේ ය. අද මේ පක්‍ෂ සියල්ල ම  පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සන්ධාන සොයමින් සිටියි. එහි දී සියල්ලන් ම බලන්නේ හැකිනම් අනෙක් පක්‍ෂ එළියට දමා ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයකින් තරග කිරීමට ය. එයට හේතුව එ ජා පක්‍ෂයට මෙන් නොව ශ්‍රී ල නි පක්‍ෂයට ජාතිකත්වයක් ගැන උරුමයක් තිබීම ය. 

ශ්‍රී ල න ි පක්‍ෂය ධනපති විරෝධී ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ. ශ්‍රී ල නි ප හා එ ජා ප අතර ඇති ප්‍රධාන වෙනස ඊනියා වම හා දකුණ අතර ඇති ප්‍රශ්නයක් නො වේ. ඊනියා වම තීරණය වන්නේ ධනපති ආර්ථික ක්‍රමයක් අනුගමනය කරන්නේ ද නැතහොත් සමාජවාදී යැයි කියාගන්නා ආර්ථික ක්‍රමයක් අනුගමනය කරන්නේ ද යන්න මත ය. එහෙත් අද වන විට මේ බෙදීම නැති වී ගොස් ය. අද චීනය ධනපති ආර්ථික ක්‍රමය අනුගමනය කරයි. එය පරිසර දූෂණයෙන් පමණක් නොව ආර්ථිකයේ සිදුවන  දූෂණවලින් ද ගහණ රටකි. සංස්කෘතික විප්ලවයෙන් පසු බලයෙන් පහකරනූ ලැබූවන්ගේ දරුවෝ අද එහි බලය හසුරවති. ඔවුන් ගන්නා කොමිස් ගැන චීන ජාතිකයෝ කතාකරති. ඔවුන් දෙන කොමිස් ගැන අන් රටවල කතා කෙරෙයි. චීනය අද ආර්ථික වශයෙන් බලවත් රටකි. චීන ණය මත ගොඩනැගෙන   කොළඹ  වරාය නගරය ගැන එ ජා ප, ජාතික හෙළ උරුමය රාජිත නඩය කී කතා අද අසන්නට නැත. වරාය නගරයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඡන්දදායකයන්ට බොරු කියා හෝ කරන්නට බැරි දේ කියා හෝ බලයට පැමිණි රනිල් මෛත්‍රී යුගලය දැන් ජනතාවට කියන්නේ කුමක් ද? චීනා හොඳ බව ද? 

අද ලෝකයේ ඇත්තේ එකම ආර්ථික ක්‍රියාවලියකි. ඒ අතින් නම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ජයග්‍රහණය කර ඇත. එ ජා පක්‍ෂය බලයට පැමිණියත් ශ්‍රී ල නි පක්‍ෂය බලයට පැමිණියත් එකම ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වෙයි. ඒ අතර දැනුම පිළිබඳ ව පක්‍ෂ දෙක අතර විශාල වෙනසක් නැත. ඇතැම් වෙනස්කම් නැතිවා නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය තවමත් සංස්කෘතික වශයෙන් එ ජා පක්‍ෂයට වඩා සිංහලත්වයට (ජාතිකත්වයට) බර ය. පක්‍ෂ අතර විශාල ම වෙනස ඇත්තේ යටත්විජිතවාදය සම්බන්ධයෙනි. ශ්‍රී ල නි ප මූලික වශයෙන් යටත්විජිතවාදයට විරුද්ධ වෙයි. එ ජා ප හා චන්ද්‍රිකා අණ්ඩුවලට නොව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට කොටින් පැරදවීමට ප්‍රධාන වශයෙන් ම හේතු වූයේ යටත්විජිතවාදයට වූ විරෝධතාවය ය. 

එසේ වුවත් ආර්ථිකයේ දී පක්‍ෂ දෙකම තම හිතවතුනට ධනය රැස්කිරීමට අවස්ථාව ලබා දෙයි. මේ නව ධනවතුනට සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් උරුම කෙරෙන පුන්‍ය සිතවත් නැත. ඔවුන් පන්සලකට රුපියල් ලක්‍ෂයක් දෙකක් දෙනවා විය හැකි ය. එහෙත් ඒ අවංකව යැයි කිව නො හැකි ය. අද කුඩු මුදලාලි ද පන්සල්වලට ආධාර කරන යුගයකි. හාමුදුරුවෝ ද කුඩු දායකයාගේ ආධාරය කැමැත්තෙන් ම ලබා ගනිති

එකල හෙන්රි ද සොයිසා වැනි ක්‍රිස්තියානි ධනවත්තු තම ධනයෙන් රෝහල් ගොඩනගා ආණ්ඩුවට භාර දුන්හ. ඔවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ආභාසය තිබිණි. අද සිංහල බෞද්ධයන් රෝහල් ගොඩනගන්නේ රෝගීන්ගේ අසරණ බව ගසා කමින් තව තවත් ධනය රැස්කිරීමට ය. මේ නව ධනවතුන් එ ජා පක්‍ෂයෙහි මෙන් ම ශ්‍රී  ල නි පක්‍ෂයෙහි ද දැකිය හැකි ය. අද එ ජා ප ආණ්ඩුව බදු පටවා ඇත්තේ පොදුවේ ධනය රැස්කළ අයට නො වේ. ඔවුන්ගේ බද්දට හසුවන්නේ ශ්‍රී ල නි පක්‍ෂයට හිතවත් ව ඒ ආන්ඩුවේ රැකවරණය යටතේ ධනය ඉපයූවන් ය. (අයවැයේ පදනම ලිපිය කියවන්න) 

රනිල්ලා රවිලා ධනපති විරෝධී නො වෙති. ඔවුහු ශ්‍රී ල නි පක්‍ෂයට හිතවත් ධනවතුනට පමණක් විරුද්ධ වෙති. තම හිතවත් ධනපතියනට ධනය රැස්කිරීමට උපකාර කරති. මෝටර් රථ ආනයනය කරන්නන්ට පණවා ඇති බද්දෙන් සිදුවන්නේ සුළු ව්‍යාපාරිකයන් නැතිකර තම හිතවතුනට ඒකාධිකාර පිහිටුවීමට අවස්ථාව ලබා දීම ය. අනෙක් අතට ඔවුන් ජනතාවට සහන දෙන්නේ මැතිවරණය ඉලක්ක කරගෙන මිස ඊනියා යහපාලනයකට එකඟ ව නො වේ. මේ අයවැය සූර සරදියෙල් අයවැයක් යැයි කීම සරදියෙල්ට කරන නිග්‍රහයකි. මෙය රවි කරුණානායක අයවැයක් පමණි. එහි ඇත්තේ පළිගැනීම, හිතවතුනට ධනය රැස්කිරීමට තල්ලුවක් දීම හා ජනතාව රැවටීම ය.      

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 05