Main Logo

Friday 6 February 2015

මෛත්‍රිපාල හමුදාව කැඳවන්නේ යහපාලනයට ද ?

මෛත්‍රිපාල හමුදාව කැඳවන්නේ යහපාලනයට ද?


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙබරවාරි මස 02 වැනි දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මුළු රටට ම බලපාන පරිදි ත්‍රිවිධ හමුදා මහජන සාමය රැකීම සඳහා කැඳවා ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් ත්‍රිවිධ හමුදාවන්ට ලංකාවේ ඕනෑම භූමියක  පොලිස් බලතල හිමිවෙයි. මහජන සාමය රැකීම සාමාන්‍ය තත්ත්වයන් යටතේ පොලීසියට අයත් කාර්යයකි. 

අද රටේ සාමය පවතින්නේ යැයි ආණ්ඩුව කියයි. කෙතරම් හොඳින් සාමය පවතින්නේ ද යතහොත් මෙතෙක් වසා තිබූ කොළඹ ඇතැම් මාර්ග ද රථවාහන ගමනාගමනය සඳහා පසුගිය දා විවෘත කෙරිණි. එසේ නම් පොලීසියට පමණක් මහජන සාමය පවත්වාගෙන යෑමට නො හැකි ද? රටේ පවත්නා නීතියට අනුව ජනතාව ක්‍රියා කරන්නේ ද යන්න ගැන විමසිලිව සිට එසේ නොවන අවස්ථාවල දී අවශ්‍ය පරිදි නීතියට එකඟ ව අදාළ පියවර ගැනීම පොලීසියේ කාර්යභාරය වෙයි.

අද යාපනයේ හමුදාව බැරුක්කවලට සීමා වී ඇතැයි පැවසෙයි. දෙමළ එක්සත් සංධානයේ මෙන් ම ඊනියා මානව හිතවාදීන්ගේ ද බලවත් විරෝධයක් පසුගිය ආණ්ඩුවට එල්ල වූයේ හමුදාව පොලිස් කටයුතු සඳහා යෙදවීම නිසා ද බව එකල කියැවිණි. බිස්වාල්ලා සහ අනෙක් යටත්විජිතවාදීහු ද යාපනයේ හමුදා කඳවුරුවලට සීමාකිරීමට කටයුතු කරති. 

රටේ අනෙක් පළාත්වල තත්ත්වය කුමක් ද? මාදුළුවාවේ සෝභිත හිමියන් ඊනියා සාධාරණ සමාජය සඳහා හමුදාවට පොලිස් බලතල දීමට විරුද්ධ වන්නේ දැයි දැන ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු. උන්වහන්සේ පසුගිය දා පාරට බසින (වැඩම කරන) බව දේශනා කර තිබිණි. පාරට වැඩම කළහොත් හමුවනු ඇත්තේ හමුදාව ය.

රටේ ආරක්‍ෂාව වෙනුවෙන් හමුදාවට පොලිස් බලතල දීම ආනන්තරීය පාප කර්මයක් නො වේ. අපි එයට නිරපේක්‍ෂව විරුද්ධ නො වෙමු. සියල්ලට ම වඩා රටේ ආරක්‍ෂාව වැදගත් ය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතාට රටේ ආරක්‍ෂාව ප්‍රශ්නයක් විය නො හැකි ය. ඔහු ඒ පිළිබඳ ව තම ජනාධිපතිවරණ ප්‍රකාශයෙහි වචනයක්වත් සඳහන් නො කෙළේ ය. බලයට පත් වූ විගස මෙන් එතෙක් වසා තිබූ මහාමාර්ග විවෘත කළේ ය. එයින් පැහැදිලි වන්නේ අප කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ ආරක්‍ෂාව පිළිබඳ සෑහීමකට පත්ව තිබූ බව ය. බටහිරයන්ගේ අනුග්‍රහය ලබන දෙමළ ජාතිවාදය පරාජය වී නොමැති තාක් කල් අප ආරක්‍ෂාව පිළිබඳ කාර්යක්‍ෂම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව අපේ අදහස විය.  

එහෙත් අපට නොතේරෙන සාමයක් මෛත්‍රිපාල සිරිසේන මහතාට අනුව උදා වී තිබිණි. සමහර විට මෙරට සාමය උදාකරන්නට ඇත්තේ ද මෛත්‍රිපාල සිරිසේන මහතා විය යුතු ය. ඔහු කියා ඇති පරිදි මානුෂික මෙහෙයුම් ජයග්‍රහණය කර ඇත්තේ ඔහුගේ නායකත්වයෙනි. මෙහෙයුම්වල අවසාන සති දෙකේ දී ආරක්‍ෂක ඇමති ධුරයේ වැඩ බලා ඇත්තේ ඒ මහතා ය. (අර බටහිරයන්ගේ යුද්ධාපරධ චෝදනා එල්ල විය යුත්තේ ඒ මහතාට ද?) එවැන්නකු මේ හදිසියේ උතුරේ හමුදා බැරුක්කවලට සීමා කරන අතර  ත්‍රිවිධ හමුදාවලට පොලිස් බලතල ලබා දෙන්නේ ඉදිරියේ දී බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ගේ අවශ්‍යතාව පරිදි සිංහලයන් මැඩීමට ද?  

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 06