Main Logo

Sunday 12 November 2017

මහින්ද තනිකිරීමක්

මහින්ද තනිකිරීමක්

ඔබේ ප්‍රතිචාරවලට පින්! ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ නැවත ලිපි පළ කිරීමටයි. එහෙත් ඔබ සියලු දෙනාම දෙසියකට අඩුයි. මෙරට ජනගහණය කෝටි දෙකක් පමණ. ඉන් හරි අඩක් පමණ යම් මට්ටමක උගතුන් කියා සිතමු. එවිට කෝටියක් පමණ උගතුන්ගෙන් මට ලිපි ලියන ලෙස කියන්නේ දෙසියයක් පමණයි.

පසුගිය දහවැනි දා මාතර දී රුහුණු රට භික්‍ෂු පෙරමුණ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම සඳහා රැස්වීමක් සංවිධානය කර තිබුණා. එහි දී මා කතාවක් කරමින් කියා සිටියේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අප මීළඟට ගත යුතු ක්‍රියා මාර්ගයයි. ජනවරමක් නැත්තා වූ ද, මහා සංඝයා වහන්සේ විසින් ප්‍රතිපෙක්‍ෂප කරනු ලැබුවා වු ද ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටවත් ඉඩ නොතබමු යන්න මගේ කතාවේ හරය වූවා. අප ජනමත විචාරණයකට සූදානම් විය යුතු නමුත් පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාව ගෙන ඒමට ඉඩ නොතබමු යන්නයි මා කියා සිටියේ. මා හරියට ම පැය බාගයක් කතා කළා. එහෙත් විද්‍යුත් ජනමාධ්‍ය මගේ කතාවට කිසිම ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ.

අද අනුරාධපුරයේ පොහොට්ටුවේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතයි. මේ දිනවල ඔබ නොදනිතත් ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් පිරිසක් මෛත්‍රීපාල සමග එකතු වී ඉදිරි පළාත් පාලන ආයතන තරග කිරීමට සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා මහින්ද තනිකිරීම සඳහායි. අවාසනාවකට එහි දී යොදා ගැනෙන්නේ ගෝඨාභය හා බැසිල්. ඔවුන් දෙදෙනා අතරත් තරගයක් තියෙනවා. අද රැස්වීමට බැසිල්වත් ගෝඨභයවත් සහභාගි වන්නේ ද යන්න පිළිබඳ සැකයක් තියෙනවා. අද කොළඹ ඊනියා වියතුන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙනවා. අනුරාධපුරයට ගොස් ඒ රාත්‍රී සමාගමට සහභාගි වීමට බැහැ.

මහින්ද තනිකිරීම පිටුපස අද ලංකාවේ ප්‍රබල ජනමාධ්‍යයක් ක්‍රියාත්මක වෙනවා. පසුගිය දා මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ගෙ ප්‍රකාශය මෙහි දී වැදගත්. මේ සියලු දෙනා ම එක් සහෝදරයකුගේ කණ්ඩායමක. තවත් අය අනෙක් සහෝදරයාගේ කණ්ඩායමේ. මහින්ද තනිකර ඔහු දුර්වල කළහොත් සහෝදරයන්ට ද යන එන මගක් නැති වේවි.

මහින්ද තනිකිරීමේ දේශපාලනය මට තේරෙනවා. මා මහින්දවාදියකු නො වෙයි. මහින්ද ජාතිකවාදියකු නො වෙයි. ඔහුටත් අපට වඩා දයාන් ජයතිලකලා චන්ද්‍රප්‍රේමලා වැදගත්. ඒත් රට ජාතිය ආගම වෙනුවෙන් අපට මහින්ද තනිකිරීමට දීමට බැහැ. අප ඔහු වඩාත් ජාතිකත්වයට නැඹුරු කර ගැනීමට උත්සාහ කළ යුතුයි. ඔහු තනි නොකිරීම සඳහා අප වැන්නනුත් කෙතරම් ප්‍රශ්න තිබියදීත් ඔහු සමග සිටින බව ප්‍රකාශ කිරීමට මා අනුරාධපුරයට යැමට තීරණය කළා. එහෙත් ඒ ප්‍රධාන වේදිකාවේ අසුනක් දෙන්නේ නම්. ඊනියා විද්වතුන්ගේ වේදිකාවේ අසුන් ගැනීමට මා විද්වතකු නො වෙයි. අනෙක් අතට එසේ අසුන් ගැනීමෙන් අප මහින්ද සමග සිටින බව දැනගන්නා අයකුත් නැහැ. අසුන පිළිබඳ මට ලැබුණු ප්‍රතිචාරය වූයේ ප්‍රධාන වේදිකාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පක්‍ෂ නායකයන්ට පමණක් බවයි. එහෙත් මීට පෙර පැවති රැස්වීම්වල නම් මටත් තවත් අයටත් ප්‍රධාන වේදිකාවේ අසුන් ලැබුණා. මෙය කියවන අයකු සිතන්න පුළුවන් මා ප්‍රසිද්ධියට ලැදි අයකු පමණක් කියා. එහෙත් මෙහි අරමුණ වූයේ අප මහින්ද සමග සිටින බව පෙන්වීමයි.

මේ සිද්ධි දෙකෙන් පෙන්නුම් කරන්නේ ඔබ දෙසීය දෙනා කෙසේ කීවත් මා වැදගත් දෙයක් කර නැති බවයි, වැදගත් දෙයක් නොකියන බවයි, වැදගත් දෙයක් නොකරන බවයි. ඔබ දෙසීය දෙනාට ඒ මතය වෙනස් කිරීමට බැහැ. මට ඔබ දෙසිය දෙනාගෙන් පිට සමාජයේ තැනක් නැහැ. මගේ කරුමයට චම්පකගේ සිට දර්ශන දක්වා චින්තන පර්ෂදයට ආ ගිය අය අති විශාල පිරිසක් අද එන්නේ නැහැ. ඔවුන් මා සමග නැහැ. සෝභිත හිමියන් ද අපවත් වීමට කලින් මගෙන් ඈත් වුණා. අද චින්තන පර්ෂදය නිසියාකාර ව රැස්වන්නේවත් නැහැ.

රටේ ඉරණම ගැන මට කණගාටුයි. එහෙත් ඔබටවත් මටවත් ඒ ඉරණම වෙනස් කරන්න බැහැ. මුහුණු පොතේ කොටා එය කිසි දිනෙක කරන්න බැහැ. අද මෛත්‍රිපාල රනිල් ගැටුම තරමක් උග්‍ර වෙලා. එහෙත් එය සමනය වන්න පුළුවන්. ඒකාබද්ධ විපක්‍ෂයේ අය මෛත්‍රිපාල සමග එකතු වනවාට මගේ මූලික විරුද්ධත්වයක් නැහැ. එහෙත් එය පළාත් පාලන ආයතන මැතිවරණ සම්බන්ධයෙන් නොවිය යුතුයි. එය මූලික වශයෙන් රනිල් අගමැති කමෙන් ඉවත් කිරීම සඳහා විය යුතුයි.

මා පළ කිරීම සඳහා ලිපි ලියන්නේ නැහැ. මෙය හුදෙක් ප්‍රතිචාරයක් පමණයි. එහෙත් මා මගේ අදහස් කිහිප දෙනකුට විටින් විට විද්‍යුත් තැපෑලෙන් යවනවා. ඔවුන් ඒ පළ කළාට මගේ විරුද්ධත්වයක් නැහැ. 
______________________ 
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-12